තිරය පිටුපස තරු දරුවන්

ඔක්තෝබර් 15, 2020

මේ වන විට බොලිවුඩයේ තරු දරුවන් සතු වන්නේ සුවිශේෂ ජනප්‍රියත්වයක්. ශාරුක් ඛාන්ගේ දියණිය සුහානා සහ පුතුන් වන ආර්යන් සහ අබ්රාම්, සයිෆ් සහ කරීනා යුවළගේ කුඩා පුතු තයිමූර්, කාජල්ගේ දියණිය නෙයිසා ඒ අතරින් කිහිප දෙනෙක්. අමීර් ඛාන් සහ ඔහුගේ පළමු බිරිඳ වන රීනා දත්තාගේ දියණිය වන අයිරා ඛාන් මේ වන විටත් කලා ලෝකයට පිවිස ඇති නමුත් කැමරාව ඉදිරිපිට ඇය දකින්නට ලැබෙන්නේ නැති තරම්.

පසුගිය 2019 වසරේදී අයිරා අධ්‍යක්ෂවරියක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසයේ යූරිපිඩීස්ගේ මේඩියා නම් නාට්‍යය අනුවර්තනය සමඟින්. එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ අමීර් සහ රීනාගේ වැඩිමහල් පුතු ජුනයිඩ් ඛාන් සමඟින් හේසල් කීච් විසින්. අයිරා නාට්‍ය අධ්‍යක්ෂවරියක වීමට පෙර සිටම පවසා තිබුණේ කැමරාව පිටුපස රැඳී සිටීමට තමා කැමති බවත්, විශේෂයෙන් රඟපෑමට නැඹුරු නොවන බවත්ය.ඇය වරෙක හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පැවසූයේ කැමරාව ඉදිරිපිට සිටීම වෙනුවට වේදිකාවෙන් පිටත හෝ කැමරාව පිටුපස වැඩ කිරීමෙන් සෑම විටම වඩාත් පහසුවක් සහ උද්යෝගයක් දැනුණු බවයි. ක්‍රියාදාම චිත්‍රපටයක හැරෙන්නට තමාට කිසි විටෙකත් රඟපෑමේ නැඹුරුවක් දැනුණේ නැති බවත් අයිරා එහිදී පැවසුවාය. මේ වන විට ඇය තවත් විකල්ප වෘත්තියක් සොයාගෙන අවසන්. එනම් ටැටු කලාවයි. ඒ හැකියාව පෙන්වමින් පළමු පච්චය ඇය සිය අතේම නිර්මාණය කරන අයුරු වීඩියෝවක් සිය ට්විටර් පිටුවට එක් කළා.