කාජල් අගර්වාල් යුගදිවියට

ඔක්තෝබර් 15, 2020

කාජල් අගර්වාල් දෙමළ සහ තෙළිඟු සිනමාපටවල වැඩි වශයෙන් දකින්නට ලැබුණත් ඇය සිනමාවට පිවිසියේ ඓශ්වර්යා රායි සහ විවේක් ඔබ්රෝයි ප්‍රධාන චරිත නිරූපණය කළ ක්‍යුන් හෝ ගයා නා (2004) හින්දි චිත්‍රපටයෙන්. ඩාර්ලින් (2010), බිස්නස්මන් (2012), බාද්ෂා (2013), ටෙම්පර් (2015) වැනි තෙළිඟු චිත්‍රපට සේම මාට්රාන් (2012), තුප්පාකි (2012), මර්ෂල් (2017) වැනි දෙමළ චිත්‍රපට ඇයගේ රංගනයන් අතර සුවිශේෂ වේ. සිංහම් (2011) සහ ස්පෙෂල් 26 ඇය රංගනයෙන් දායක වූ ආදායම් වාර්තා ලද හින්දි චිත්‍රපට වේ.

මේ වන විට 35 වැනි වියේ පසුවන කාජල් අගර්වාල් ගැන සුබ ආරංචියක් ඇවිත්. එනම් ඇය යුගදිවියට පිවිසෙන පුවතයි. ඔක්තෝබර් 30 වැනි දින මුම්බායිහිදී කුඩා පෞද්ගලික උත්සවයක් ලෙසින් පැවැත්වෙන විවාහය පිළිබඳ නිවේදනය ඇය සිය ට්විටර් පිටුවට එක් කළේ විවාහයට පෙර පැවති තනිකඩ සාදයේ ඡායාරූපද සමඟින්. පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇගේ මිතුරන් සමඟ තනිකඩ සාදය පැවැත්වූයේ ඇයගේ නිවසේදීයි. මේ වන විට ඉන්දියාවේ පවතින තත්ත්වය හමුවේ විවාහ මංගල්‍යයක් සැලසුම් කිරීම විශාල අභියෝගයක් විය හැකි නමුත් කාජල් එය ජය ගෙන ඇති බව පෙනේ. කාජල්ගේ අත ගැනීමට සූදානම් වන්නේ ඇයගේ දිගුකාලීන පෙම්වතා වූ ගෞතම් කිච්ලු. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්.

“වසර ගණනාවක් තිස්සේ ඔබ මා කෙරෙහි දැක්වූ ප්‍රේමයට ස්තූතිවන්ත වෙමි. අප එක්ව මෙම ඇදහිය නොහැකි නව ගමන ආරම්භ කරන විට ඔබගේ ආශිර්වාදය සුවිශේෂි වේ. නව අරමුණක් සහ අර්ථයක් සමඟින් ආරම්භ කරන්නා වූ මේ ගමනේදී ඔබගේ සහයෝගයට ස්තූතියි ” යනුවෙන් ඇයගේ විවාහ නිවේදන සටහනේ සඳහන් විය.