ග්‍රේෂන්ගේ දියණි දුලාංජලී නිදහසේ ගෙන එයි

ඔක්තෝබර් 15, 2020

ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීත අධ්‍යක්ෂ නැසී ගිය ග්‍රේෂන් ආනන්දයන්ගේ ආදරණීය දියණිය දුලාංජලී ආනන්ද ඇයගේ කුලුඳුල් ගීතය "නිදහසේ " රූප රචනය සමග නොබෝ දිනකින් ඇයගේ යූ ටියුබ් ගිණුම  YOUTUBE / DULANJALI ANANDA ABEYKOON ඔස්සේ එළිදැක්වීමට නියමිතයි. ඇය තරුණ ජනප්‍රිය ගායන ශිල්පී සහ සංගීත අධ්‍යක්ෂක මරියො ආනන්දගේ වැඩිමහල් සහෝදරියයි.

මෙම ගීතයේ පදරචනය සහ තනුව ප්‍රවීණ පද රචක සහ සංගීත අධ්‍යක්ෂක අචල සොලමන්ස් විසිනි. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය, නාද ශික්ෂණය දුලාංජලීගේ සහෝදර මරියො ආනන්ද විසින් නිර්මාණය කර ඇත. රුප රචනය අධ්‍යක්ෂණය, තිර රචනය, නිර්මාණාත්මක සංස්කරණය ද අචල සොලමන්ස් විසින් ඉටු කර ඇත.

මෙම නිර්මාණය මරියො ආනන්ද ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදනයකි. කැමරාකරණය නෙවින්ද ජයසේන සහ අංගරචනය යෝගිතා රත්නායක විසිනි. පටිගත කිරිම ගයාන් බෙන්තරගේ සී එජ් ශබ්දාගාරය.

වර්තමානයේ ගීත බොහොමයක කියවෙනුයේ විරහව සහ එහි වන රසවත් වූ වේදනාවන් පිළිබඳව වේ. හැරයාම්, හිත වේදනා, දරාගත් නොහැකිව දුකින් කල් ගෙවන තරුණියන් හට නව මානයක් දෙමින් 'නිදහසේ ' ගීතය තමන්ගේ සැහැල්ලු, ලස්සන ජීවිතයේ, සතුට, නිදහස සහ වටිනාකම සිහිපත් කර දෙයි.