ඈෂ්ලි සිල්ක් රෝඩ් ජූරියට

ඔක්තෝබර් 22, 2020

ඔක්තෝබර් 11 සිට 16 දක්වා චීනයේ ෂියෑන් නගරයේ පැවති 07 වෙනි සිල්ක් රෝඩ් අන්තර්ජාතික සිනමා උළෙලේ(Silk Road International Film Festival) අන්තර්ගත අන්තර්ජාතික ජූරි සභාව  (International Jury)  නියෝජනය කිරීමට සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණට හිමිව තිබේ. වාර්ෂිකව ලොව සුපතළ සිනමා වෘත්තිකයින්ගේන් සමන්විත වන මෙම ජූරිය සඳහා මෙවර ඈෂ්ලි සමඟ ද්විත්ව ඔස්කාර් සම්මානලාභී ඉරාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ අස්ගාර් ෆහාඩි, ඉතාලි ජාතික චිත්‍රපට නිෂ්පාදක පාවුලෝ ඩෙල් බ්‍රොකෝ, ඊශ්‍රායල් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ අමෝස් ගීතායි, පෝලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකා මල්ගෝර්සාටා සුමොව්ස්කා, චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ලූ චුආන් සහ ජනප්‍රිය චීන ජාතික සිනමා නිළි ෂියා සෝන්ග් ජියේ යන පිරිස සහභාගී වී ඇත.

චීන රජයේ පූර්ණ අනුග්‍රහයෙන් පළමු වරට 2014 වර්ෂයේදී ඇරඹි මෙම උළෙල, මේ වනවිට චීනයේ ක්‍රියාත්මක සුවිසල්ම අන්තර්ජාතික සිනමා උළෙල කිහිපය අතුරින් එකක් වේ. කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් උළෙලට විදේශිකයන් සහභාගී කරවාගැනීම මෙවර සීමා කර තිබූ අතර, ඒ හේතුවෙන් චීනය නියෝජනය කරන ජූරි සභිකයින් දෙදෙනා හැර අනෙක් ජූරි සභිකයින් සියලු දෙනා අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කොටගෙන චිත්‍රපට විනිශ්චයට එක්වීම මෙවර විශේෂත්වයකි.