බොලිවුඩ් සුපිරි වීරවරිය

ඔක්තෝබර් 29, 2020

බොහෝ කලකට පසු කත්‍රිනා කයිෆ් නැවත වැඩ ආරම්භ කර ඇති බව බොලිවුඩ් ආරංචි ගෙන එයි. ඒ අලි අබ්බාස් සාෆර්ගේ නවතම චිත්‍රපටය සමඟිනි. සුපිරිවීර චිත්‍රපටයක් වන එය රටවල් හතරක රූගත කිරීමට නියමිතව ඇත. මෑතකදී සම්මුඛ සාකච්ඡාවකදී සාෆර් හෙළි කර සිටියේ චිත්‍රපට කණ්ඩායම දැනටමත් ඩුබායි සහ අබුඩාබිහි රූගත කිරීම් සිදු කෙරෙමින් සිටින බවත් ඉතා ඉක්මනින් ජෝර්ජියාව සහ පෝලන්තය බලා පිටත්ව යාමට නියමිත බවයි. මේ චිත්‍රපටය සමඟ බොලිවුඩයට ප්‍රථම කාන්තා සුපිරි වීර චරිතයක් එක්වීමට නියමිතයි.

අධ්‍යක්ෂ අලි අබ්බාස් සාෆර් පවසන්නේ රූගත කිරීම් මේ වන විට අති දුෂ්කර ක්‍රියාවලියක් වී ඇති බවයි. සෑම ස්ථානයකටම කෝවිඩ් පරීක්ෂණයක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් වැඩි කාලයක් ගතවන බවද ඔහු පැවසීය. සිය කාන්තා සුපිරි වීරවරිය ගැන කතා කරමින් සාෆර් කියා සිටියේ කත්‍රිනා එම චරිතයට ක්‍රියාශීලීව පණ පොවමින් සිටින බවයි. තවද 'ෆෝන් භූත්' සහ 'ටයිගර් 3' චිත්‍රපටවලද රූගත කිරීම් නුදුරේදී ආරම්භ කිරීමට සූදානම් බවත් ඔහු පැවසීය.