රූගත කිරීම් අතරට පොත්

ඔක්තෝබර් 29, 2020

දර්ශනතලයක් යනු නළු නිළියක් කාර්යබහුල ස්ථායකි. රූගත කිරීම් අතර ලැබෙන විවේකයේදී බොහෝ දෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකථන සමඟ කාර්යබහුල වෙති. මේ අතර පොත් වෙත හැරෙන කිහිප දෙනෙක් ද සිටිති. දර්ශනතලයේ විවේක කාලය ඇති විට පොත් කියවීමට කැමති අයෙකුගෙන් කෙනෙකු නම් ස්වාරා භාස්කර් ය. සමාජීය වශයෙන් වැදගත් කාරණා පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ තම මතය ප්‍රකාශ කරන ස්වාරා, කාර්යබහුල වුවද, සියලු වැඩ අතරවාරයේ ලබන විවේකයේදි ළං කර ගන්නේ පොතකි.

විශ්‍රාමික නාවික කොමදෝරු සී. උදය භාස්කර්ගේ දියණිය වන ස්වාරා උපන්නේ හා හැදී වැඩුණේ දිල්ලියේ ය. ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලැබීමෙන් පසු ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. මේ වන විට බොලිවුඩය තුළ තමාටම නමක් දිනාගෙන සිටින ස්වාරා සිනමා දිවියට පිවිසියේ 2009 දී 'මධෝලාල් කීප් වෝකිං' චිත්‍රපටයෙනි. එය වාණිජමය අතින් අසාර්ථක වු අතර 2011 වසරේදී 'තනු වෙඩ්ස් මනූ' චිත්‍රපටයේ මනාලියකගේ චරිතයට පණ පොවමින් ප්‍රසිද්ධියක් ලබා ගත්තාය. එම රංගනය විචාරකයන්ගේ පිළිගැනීමට ලක් වූ අතර හොඳම සහය නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය ඇය දිනා ගත්තාය.