කිං ඛාන්ට 55යි

නොවැම්බර් 12, 2020

පසුගිය නොවැම්බර් 02 වැනිදා බොලිවුඩයේ කිං ඛාන් ලෙසින් නම් ලද ශාරුක් ඛාන් සිය දිවියේ 55 වැනි කඩඉම පසු කළා. පවතින තත්ත්වය හේතුවෙන් සිය උපන්දිනය සැමරීම සඳහා මුම්බායිහි තදාසන්න නගරයක් වන මන්නාත් නගරයෙන් පිටත රැස් නොවන ලෙස ද ඔහු සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටියා. මීට වසර 28 කට පෙර ශාරුක්‌ ඛාන් සිනමා ජීවිතය ආරම්භ කළේ දිවානා චිත්‍රපටයෙනි. බොලිවුඩ් සිනමාවේ සාර්ථක රංගන ශිල්පියෙකු බවට පත් වූ ඔහු මේ වන විට ව්‍යාපාරිකයෙකු බවටද පත් වී අවසන්. රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් නම් චිත්‍රපට නිෂ්පාදන ආයතනය සේම ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 'කොල්කටා නයිට් රයිඩර්ස්' කණ්ඩායමේ හිමිකරු වන්නේත් ඔහුයි.

ශාරුක්ගේ රංගනයක් ප්‍රේක්ෂකයන් දුටුවේ 2018 වසරේ 'සීරෝ' චිත්‍රපටයෙන්. 'සීරෝ' මෙන්ම 2017 වසරේ දී ශාරුක් රඟපෑ 'ජබ් හැරී මෙට් සෙජල්' චිත්‍රපටයටත් ආදායම් වාර්තා අතරට පැමිණීමට හැකි වූයේ නැහැ. 'සීරෝ' චිත්‍රපටයෙන් පසු තවත් චිත්‍රපටයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් නොකළ ඔහු වරෙක පවසා සිටියේ මීළඟ පියවර දැඩි අවධානයෙන් තබන්නට සූදානම් බවයි. පසුගිය දිනෙක ට්විටර් ඔස්සේ රසිකයෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ තම මීළඟ චිත්‍රපටය වසරකින් පැමිණෙනු ඇති බවයි.