ශාරුක්ගේ අසෝක 11 වරක්

නොවැම්බර් 19, 2020

ආයුෂ්මාන් කුරාණා සහ ටහිරා කාශ්‍යප් බොලිවුඩයේ සවිමත් විවාහයකට හිමිකම් කියන යුවළකි. ඔවුන් විවාහ වී වසර 12 ක් ගත වී ඇති අතර මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මව්පියන්ය. පසුගිය කාලයේ ටහිරා පිළිකාවක් සමඟ පොරබදමින් සිටියදී අයුෂ්මාන් ඇයගේ සවිය විය. ඇය ලේඛිකාවක් වන අතර මේ වන විට සිනමාවට ද සම්බන්ධ වී සිටී. මෑතකදී ඇය එළිදැක්වූ කෘතිය The 12 Commandments Of Being A Woman නම් වේ. එයට ඇයගේ දිවියේ වූ අත්දැකීම් ද එක් කර තිබේ.

තමා සිනමා පවුලක නොවන බැවින් අයුෂ්මාන් සිනමාවට එක වූ මුල් කාලය අවබෝධ කර ගැනීමට පහසු නොවූ බව ටහිරා පවසන්නීය. ඒ පිළිබඳ බොහෝ දේ තමාට ඉගෙනීමට සිදු බවත් සිනමා කර්මාන්තයේ සමස්ත සංකල්පය වැලඳ ගැනීම අපහසු වූ බවත් ඇය මෙම කෘතියේද පවසා ඇත. අයුෂ්මාන් සහ ටහිරාගේ ආදර කතාව ඇරඹෙන්නේ පාසල් කාලයේදීයි. චන්දිගාර් නගරයේ ඔවුන්ගේ විද්‍යාලය ඉදිරිපිට නිර්මාන් නම් රඟහලෙහි මුල්වරට ශාරුක් ඛාන්ගේ 'අසෝක' චිත්‍රපටය නැරඹු අයුරුත් පසුව එය එකොළාස්වරක් නැරඹු අයුරුත් ඇය පවසන්නීය.

ටහිරා වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීමට නියමිත ව සිටින්නේ තනුජ් ගාග් සහ අතුල් කස්බෙකර් විසින් නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයක් සමඟිනි. මුම්බායි හි දී රූගත කිරීමට නියමිත එය ගැහැනු ළමයින් පස් දෙනෙකු ගැන කියවෙන්නකි. ඒ අතර ටහිරා වැනි කෙනෙකුත් ඇති? සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයකු ඇසූ ප්‍රශ්නයකට ඇය පවසා සිටියේ පස්දෙනා තුළම ටහිරා සිටී යනුවෙනුයි.