බොලිවුඩයේ අලුත් වැඩ

නොවැම්බර් 19, 2020

පසුගිය මාස අටක පමණ කාලයක් පුරා බොලිවුඩය නතර වූවා මෙනි. කාර්මික ශිල්පීන්, අධ්‍යක්ෂවරුන් සමඟ නිවසේ සිට පශ්චාත් නිෂ්පාදන කටයුතු සඳහා වැඩ කළ අතර තිර රචකයෝ තම ඉදිරි නිර්මාණ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළහ. නළු නිළියන් තම තමන්ගේ නිවෙස්වලට වී රංගන ජීවිතයේ වෙනදා නොලද විශාල වූ විවේකයක් ගත කරනු දකින්නට ලැබුණි. ඒ අතර වගා කටයුතු, ඉවුම් පිහුම්, ගේ දොර සුද්ද පවිත්‍ර කිරීම් ඔවුනොවුන් විසින්ම ඉටු කළ වගත් අන්තර්ජාලය ඔස්සේ දැකගත හැකි විය. පසුගිය අගෝස්තු මාසය වන විට නව චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කළ පළමු බොලිවුඩ් නළුවා වූයේ අක්ෂේ කුමාර්ය. ඔහු ස්කොට්ලන්තයේදී ත්‍රාසජනක චිත්‍රපටයක් වන 'බෙල් බොටම්' හි රූගත කිරීම් වෙනුවෙන් සහභාගි විය. දීපවාලි උත්සව සමය නිමවීම සමඟ සල්මාන් ඛාන්, ශාරුක් ඛාන්, රන්වීර් සිං සහ රන්බීර් කපූර් ද දර්ශන තලයට පිවිසීමට සූදානමින් සිටින බව බොලිවුඩ් පුවත් ගෙන එයි.

තිස්වසරක රංගන දිවියේ ලද දීර්ඝතම විවේකයෙන් පසු පසුගිය ඔක්තෝබර් 02 වැනිදා 'රාධේ' චිත්‍රපටයේ ඉතිරි රූගත කිරීම් ආරම්භ කළ අතර නොවැම්බර් 16 සිට මහේෂ් මංජේකර් අධ්‍යක්ෂණය කරන 'ඇන්ටිම්' චිත්‍රපටයට දායක විය. රෝහිත් ෂෙට්ටි තවමත් 'සූර්යවන්ෂි' එළිදැක්වීමට බලා සිටියත් ඔහු සිය ඊළඟ චිත්‍රපටය වන 'සර්කස්' ආරම්භ කිරීමට සූදානම්ව සිටී. රන්වීර් සිං සහ වරුන් ශර්මා, ජැකලින් ෆර්නැන්ඩස් සහ පූජා හෙජ් එහි ප්‍රධාන චරිත නිරූපණය කරති. විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍යයක් ඇසුරෙන් නිර්මාණය කෙරෙන එහි රූගත කිරීම් ලබන සතියේ මුම්බායි හිදී ආරම්භ වන අතර පසුව ඌටි සහ ගෝවාහි දි රූගත කිරීමට නියමිතව ඇත. එම චිත්‍රපටය තිරගත කිරීමට සූදානම් වන්නේ 2022 වසරේදීය.

2018 දී 'සංජු' චිත්‍රපටයෙන් පසු රන්බීර් කපූර් රිදී තිරයේ දැකගත හැකි වූයේ නැත. පසුගිය වසර තුන ඔහු කැප කළේ 'ශම්ෂෙරා' සහ 'බ්‍රහ්මස්ත‍්‍රා' රූගත කිරීම් වෙනුවෙනි. මේ වසර අවසානයට පෙර ඔහු ශ්‍රද්ධා කපූර් සමඟ පළමු වරට රංගනයට දායක වෙමින් අලුත් චිත්‍රපටයකට දායකවීමට සූදානම් බව බොලිවුඩ් ආරංචි ගෙන එයි.