ජයග්‍රාහී රාඕ

නොවැම්බර් 19, 2020

රාජ්කුමාර් රාඕ මේ වන විට බොලිවුඩයේ සම්මානනීය නළුවෙක්. ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන්නා සේම විචාරක පැසසුම්ද නොඅඩුව ලද නළුවෙක් ලෙස ඔහු කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට එකතුවට තවත් චිත්‍රපටයක් එකතුවීමට සූදානම්. එය නම් ප්‍රතිනිර්මාණය කෙරෙන 'චුප්කේ චුප්කේ' චිත්‍රපටයයි. ජනප්‍රිය ප්‍රහසන චිත්‍රපටයක් වන 'චුප්කේ චුප්කේ' චිත්‍රපටයේ රූගත කිරීම් 2021 මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත. 1975 දී තිරගත කළ 'චුප්කේ චුප්කේ' චිත්‍රපටයේ ධර්මේන්ද්‍ර, අමිතාබ් බච්චන්, ජයා බච්චන්, ෂර්මිලා තාගෝර් රංගනයෙන් දායක වූහ. රාජ්කුම්මාර් රාඕ පණ පොවන්නේ එදා ධර්මේන්ද්‍ර විසින් නිරූපිත චරිතයටයි. රාජ්කුම්මාර් රාඕගේ ඉදිරි වසර සඳහා චිත්‍රපට ලැයිස්තුව පිරී ඇති බව පෙනේ. ඔහු 'චුප්කේ චුප්කේ' චිත්‍රපටයට පෙර භූමි පද්නෙකර් සමඟ 'බඩායි ඩෝ' චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරනු ඇත. 'බඩායි ඩෝ' යනු ආයුෂ්මන් කුරාණා රංගනයෙන් දායක වූ 'බඩායි හෝ' හාස්‍යජනක චිත්‍රපටයේ මීළඟ නිර්මාණයයි.

කිසියම් නළුවෙකු කොරෝනා වෛරසය වෙනුවෙන් රට වසා දමා තිබියදීද ජයග්‍රාහී වී ඇත්නම්, ඒ රාජ්කුම්මාර් රාඕ ය. 2021දී පමණක් නොව ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ 'චලාන්ග්' සහ 'ලුඩෝ' මේ වසරේදීම නිකුත් කිරීමට නියමිතව ඇත. ප්‍රියංකා චොප්රා සමඟ 'වයිට් ටයිගර්' චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කර ඇති අතර ජාන්වී කපූර් සමඟ 'රූහි අෆ්සානා' නම් ත්‍රාසජනක ප්‍රහසන චිත්‍රපටය ද දායකවීමට නියමිතව ඇත.