නිතුනැවතත්

නොවැම්බර් 26, 2020

කාලයකට පසු පැරණි තරුවක් නැවතත් බොලිඩුයට පා තැබීමට සූදානම්. වසර ගණනාවකට පසු නැවතත් රංගන දිවියට පා තබන්නේ නීතු කපූර්ය. මීට මාස කිහිපයකට පෙර දිවි රඟමඬලින් සමුගත් රිෂී කපූර්ගේ ආදරණීය බිරිය ලෙසින් ජනප්‍රිය වුවත් නිතූ විවාහයට පෙර සිටම ජනප්‍රිය බොලිවුඩ් නිළියක වූවාය. බේබි සෝනියා ලෙසින් කුඩා වියේ සිටම රංගනයට පිවිසි ඇය 1983 වසරේදී 'ගංගා මේරි මා' චිත්‍රපටයනේ පසු රංගනයෙන් දුරස් වූවාය. නීතු කපූර් අවසන් වරට රිෂි කපූර් සමඟ 2013 දී තිරගත වූ 'බෙෂාරම්' චිත්‍රපටයට රංගනයෙන් දායක වූවාය. එය ඔවුන්ගේ පුත් රන්බීර් ප්‍රධාන චරිතය නිරූපිත චිත්‍රපටයක් වීමත් විශේෂය.

නීතූ සිං බොලිවුඩ් සිනමාවේදී පළමුවරට රිෂීගේ පෙම්වතිය වූයේ 'සහීර්ලා ඉන්සාන්' (1974) චිත්‍රපටයෙනි. 'ඛේල් ඛේලි මේන්' (1975), 'කබී කබී' (1976), 'දෝස්රා ආදම්' (1976) ඇතුළු චිත්‍රපට 12ක පෙම්වතුන් වූ රිෂී සහ නීතූ සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වී 1980 වසරේදී විවාහ දිවියට පිවිසියහ. රිෂී සහ නීතු බොලිවුඩයේ ජීවිත කාලයේ හොඳම යුවල ලෙසින් සම්මානයට පවා පාත්‍ර වූහ. නීතු නැවතත් රිදී තිරයට කැඳවාගෙන එන්නේ කරන් ජොහාර් විසිනි. ඔහුගේ නව චිත්‍රපටය වන 'ජග් ජග් ජෙයෝ' චිත්‍රපටයේ නිතු සමඟින් අනිල් කපූර්, වරුන් ධවාන්, කියාරා අද්වානි රංගනයෙන් දායක වෙති. රූගත කිරීම්වල පළමු දිනයේදී නීතු කපූර් සටහන් කළේ වසර ගණනාවකට පසු දර්ශනතලයේ වැඩ කිරීම ගැන මදක් බිය දැනෙන බවයි. "භයානක කාලයක මගේ පළමු ගුවන් ගමන. ඔබ මෙහි මගේ අත අල්ලාගෙන නොසිටින බව මම දනිමි. ඔබ මා සමඟ සිටින බව මම දනිමි" ඉන්ස්ටග්‍රම් සටහනක ඇය සිය අභාවප්‍රාප්ත සැමියා රිෂි කපූර්ව සිහිපත් කරමින් සටහන් කළාය. නිතු නැවතත් සිනමාවට කැඳවාගෙන ඒම සහ ඇය දිරි ගැන්වීම පිටුපස කරන් ජොහාර් සමඟ සිටින්නේ පුතු රන්බීර්, දියණිය රිද්දිමා, ආලියා භාත්ගේ මව සෝනි රාස්දාන්.