තරු ප්‍රේක්ෂකයා

නොවැම්බර් 26, 2020

කොරෝනා වෛරසයේ බලපෑම තවමත් තුරන් වී නැත. අප රට සේම ලොව අනෙකුත් රටවල් ඒ සමඟ දැඩි සටනකය. මාස ගණනාවකට පසු ඉන්දියාවේ ද සිනමාහල් සති කිහිපයකට පෙර සියයට 50 ක ධාරිතාවයකින් විවෘත කෙරුණේ දැඩි නීතිරීති රැසක් මධ්‍යයේය. කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ බොහෝ දෙනෙක් සිනමා ශාලා වෙත යාමට කිහිප වරක් සිතමින් සිටින බව පෙනේ. සිනමා ශාලාවලට පිටත්ව යෑම පිළිබඳව තවමත් සැකයෙන් සිටින බොහෝ දෙනෙකුට මඟ පෙන්වමින් අමීර් ඛාන් පසුගිය දිනක සිනමා ශාලාවක් වෙත ගොස් කාලයකට පසු පුළුල් තිරයේ සිනමා අත්දැකීමක් විඳ ගත්තේය.

අමීර් මෙලෙස සිනමා ශාලාවකට ගොස් තිබුණේ 'සුරාජ් පෙ මංගල් භාරි' සිනමාපටය නැරඹීම වෙනුවෙනි. 'සුරාජ් පෙ මංගල් භාරි' චිත්‍රපටයේ දිල්ජිත් දොසන්ජ්, මනෝජ් බජ්පායි, ෆාතිමා සනා ෂෙයික් ඇතුළු නළු නිළියන් රංගනයෙන් දායක වී තිබේ. අභිෂේක් ෂර්මා විසින් අධ්‍යක්ෂණය කළ එය නොවැම්බර් 13 වැනිදා සිට සිනමාහල් වල තිරගත වේ.