සුනිල් ටී 60 සමරමින් නිවෙසට සිනමාව ගෙන එයි

දෙසැම්බර් 24, 2020

සිනමා ශාලාවට නොගොස් නවතම සිනමාපටය ආලින්දයේ සිට නැරඹීමේ ක්‍රමෝපායන් අන්තර්ජාතික සිනමාව තුළ භාවිත වනු ඕනෑ තරම් අප දැක තිබේ. එය අප රටට තරමක් ආගන්තුකය. පසුගියදා අපට වාර්තා වූයේ මෙරට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එවන් වූ නවමු අත්දැකීමක් ගෙන එන වෙබ් අඩවියක් මුදා හැරුණු බවයි. දේශීය සිනමාවේ වැඩිම සිනමාපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ සුනිල් ටී ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් rickyflicks නමින් එය මේ වනවිට ආරම්භවී තිබේ. ඔහුගේ ජන්ම දිනය දා එනම් පසුගිය විසි එක් වැනි දා කලා සහෘදයන් රැසක් මධ්‍යයේ පිලියන්දල වයිට් හවුස් හෝටලයේ දී සුනිල් ටී උපන්දිනය සමරන අතරතුරදී එය එළිදක්වන ලදි. මේ ක්‍රමෝපාය භාවිත කරමින් සිනමා ලෝලීන්ටන්ට නවතම සිනමාපට නිවෙසේ සිට හෝ ලොව ඕනෑම ස්ථානයක සිට නැරඹීමට අවස්ථාව උදා වනු ඇත. ඒ අනුව චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ ප්‍රීති ඇන්ඩ් ජෝයි rickyflicks හරහා නිකුත් වූ පළමු සිංහල සිනමාපටයයි. මෙයට අමතරව තවත් සිනමාපට රැසක් මෙමගින් සිංහල සිනමාලෝලීන්ට රස විඳීමට හැකිය. සිනමාශාලා වසා ඇති ඕනෑම අවස්ථාවකදී rickyflicks හා සම්බන්ධ වී ඕනෑ ම මොහොතක සිනමාපට නැරඹීමේ හැකියාව තිබීම විශේෂත්වයකි.