වර්ෂ 2021 ක්වූ March 02 වැනිදා Tuesday
බිග් බී සමාව අයැදියි

අමිතාබ් බච්චන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙකු වන අතර බොහෝ විට සිත්ගන්නා සිතුවිලි සහ සුන්දර කවි ඔහුගේ ට්විටර් ගිණුමේ නිරන්තරයෙන් පළ කරයි. මෑතකදී ඔහුගේ ටිවිටර් ගිණුමේ සඳහන් වූ සටහන් අතුරින් එකක් 'තේ' පිළිබඳ සඳහනක් විය. එය පළ වූ පසු ඔහුගේ රසිකාවක විසින් මෙසේ සටහන් කර තිබුණි. "සර්, මගේ අදහසක් ඔබේ ට්විටර් ගිණුමේ තිබෙනු දුටුවෙමි. එසේ වීමට මම වාසනාවන්තයි. නමුත් ඒ සමඟ මගේ නමද තිබුණේ නම් මගේ සතුට හා ආඩම්බරය දෙගුණයක් වනු ඇත" යැයි ඇය සඳහන් කළාය.
ඇයට ප්‍රතිචාර දැක්වීමට බොලිවුඩයේ බිග් බී ප්‍රමාද වූයේ නැත. "මෙම සටහනේ ගෞරවය ටිෂා අගර්වාල් වෙත හිමි විය යුතුය. එහි මූලාරම්භය ගැන මා දැන සිටියේ නැත. කවුරුන් හෝ එය මට එව්වා. එය හොඳ යැයි සිතමින් පළ කළා. සිදු වූ අතපසුවීමට සමාව ඉල්ලා සිටිමි" බිග් බී එය නිවැරදි කළේය. "ඔබගේ ආශීර්වාදය අවැසියි. මම දැන් ආඩම්බර වෙමි." ටීෂා අගර්වාල් නම් වූ එම රසිකාව යළි සටහන් කළාය. නව වසර සමඟින් අමිතාබ්ගේ සිනමා නිර්මාණ කිහිපයක්ම තිරගත වීමට නියමිතව ඇත. 'බ්‍රහ්මස්ත්‍රා', 'චෙහ්රේ', 'මේඩේ' ඒ අතරින් කිහිපයකි.