රජිනිගේ දේශපාලන තීරණය

ජනවාරි 7, 2021

 
 අධිරුධිර පීඩනය හා වෙහෙස හේතුවෙන් රෝහල් ගත කළ දකුණු ඉන්දීය සුපිරි තරුව රජිනිකාන්ත් දින තුනක් ප්‍රතිකාර ලබා පසුගිය සතියේ නිවෙසට පැමිණියා. ඒ සමඟ ඔහු විශේෂ නිවේදනයකුත් නිකුත් කළා. ඒ අනුව රජිනිකාන්ත් දේශපාලන පක්ෂයක් ආරම්භ නොකිරීමේ තීරණයට පැමිණ සිටී. පිටු තුනක දීර්ඝ නිල ප්‍රකාශයකින් එය නිවේදනය කළ ඔහු සිය ට්විටර් ගිණුම වෙත ගොස් "කනගාටුවෙන් යුතුව, දේශපාලන පක්ෂය ආරම්භ කිරීමට මට නොහැකි බව කියමි" යනුවෙන් සටහනක් තැබීය.


 එවැනි තීරණයක් ගැනීමේ වේදනාව තමාට පමණක් තේරුම් ගත හැකි බව සඳහන් කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය. "නමුත් මගේ අනුගාමිකයන් අන් අයගේ මතයන්ට ගොදුරු කර දීමට මට අවශ්‍ය නැත. මේ පිළිබඳව කලකිරීමට පත්වන බැවින් මට සමාව දෙන ලෙස මම මගේ ආධාරකරුවන්ගෙන් සහ රජිනී මක්කල් මන්ඩ්‍රම් සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමි. වසංගත කාලය තුළ පවා මගේ අනුගාමිකයන් වසර තුන තුළ ගත් සියලු උත්සාහයන් අපතේ නොයනු ඇත. රජිනී මක්කල් සෑම විටම ක්‍රියාත්මක වනු ඇත. මම දේශපාලනයට පිවිසීමෙන් තොරව මගේ ජනතාවට සේවය කර අසාධාරණයක් සිදු වුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමි" යැයි ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.