දේශීය සිනමාව රැකගැනීම උදෙසා රජයෙන් දෙවසරකට සහන

ජනවාරි 14, 2021

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරයි.

ඒ අනුව දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා රජයේ මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබාදීමට තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණු අතර චිත්‍රපට නිෂ්පාදක සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක්විය.

කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් මෙම හමුවේ දී අගමැතිතුමාට පැහැදිලි කළේය. එහිදී 2021-2023 ජන ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කිරීම හා මෙම අභියෝගාත්මක කාලයේ දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙන්ම සිනමා ශාලාවල වර්තමාන තත්ත්වයත් අගමැතිතුමාට ඉදිරිපත් කෙරිණි.

සිනමා ශාලා හිමියන්ගේ විදුලි ගාස්තු ඒකක ගණනය කිරීමේ දී කර්මාන්ත ගණයට ගෙන එම අය කිරීම ඉදිරියට ගෙනයාම, විනෝද බද්ද වසර දෙකක කාලයක් සඳහා සියයට 05 දක්වා අඩුකිරීම, බෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම, මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂ කමිටුවක් යටතට පත්කිරීම, සිනමා පට නිෂ්පාදනය සඳහා සියයට 4 හෝ 6 පොලී අනුපාතයට රාජ්‍ය බැංකුවලින් ණය ලබාගැනීම, සහනදායී ලෙස රාජ්‍ය හා සියලු මාධ්‍යවල ප්‍රචාරක වැඩපිලිවෙළක් ඇති කිරීමට මෙම හමුවේ දී අවධානය යොමු විය.

මෙම යෝජනාවලට අදාළ තීන්දු ගැනීම සඳහා එක් එක් ආයතන හා අංශ වෙත යොමුවී සාකච්ඡා කරන ලෙස අගමැතිතුමා මෙහිදී දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ ආයතන හා අංශ දැනුවත් කරමින් ඉදිරියේ දී මෙම සහන ක්‍රියාත්මක කිරීමට අදාළ අවසන් තීන්දුවලට එළැඹීමට නියමිතව ඇත. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසත්, අමාත්‍ය සරත් වීරසේකර මහතා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් මෙම අවස්ථාව සඳහා සහභාගීවීම විශේෂත්වයකි.

රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, අගමැති ලේකම් ගාමිණි සෙනරත්, අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අගමැති මාධ්‍ය ලේකම් සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති රොහාන් වැලිවිට, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස යන මහත්වරු ඇතුළු චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, ශ්‍රී ලංකා සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව, ශ්‍රී ලංකා සිනමා නිෂ්පාදකයන්ගේ සංසදයේ සභාපති රසිත ජිනසේන මහත්වරු ඇතුළු ඒ ඒ සංගම් නියෝජනය කරමින් කලාකරුවන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් විනෝද බද්ද නිදහස් කෙරේ

සිනමාකරුවන්ගේ ඉල්ලීමට ඉක්මනින් පිළිතුරු

 

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබාදෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැළෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවට අදාළව සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට පසුගිය සඳුදා එනම් 2020.01.11 දින අදාළ අමාත්‍යංශවල අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් එක්ව මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව 2021-2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් වේ. 2023 වසරේ සිට සිනමා කර්මාන්තයට අදාළ විනෝද බද්ද සියයට 7.5ක් දක්වා අඩු කිරීමට ද එහිදී අනුමැතිය දී තිබේ.

මේ දක්වා සියයට 5 සිට සියයට 25 දක්වා විවිධ ප්‍රතිශත යටතේ රට පුරා පළාත් පාලන ආයතන විසින් විනෝද බද්ද අය කරනු ලැබීය. මෙම නව අනුමැතිය සමඟ මුළු රටටම එක් විනෝද බද්දක් හඳුන්වාදීම ද සිදුවේ.