බොනී රංගනයට

ජනවාරි 21, 2021

දැවැන්ත බොලිවුඩ් නිර්මාණ සමඟින් වසර ගණනාවක් තිස්සේ බොනී කපූර් දැකගත හැකි වූයේ නිෂ්පාදකයකු ලෙසින්. නමුත් 2021 ආරම්භයේදී සිනමා කර්මාන්තයේ ඔහුගේ වෘත්තියේ නව පෙරළියක් කිරීමට සූදානම්ව සිටී. එනම් රන්බීර් කපූර් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන ලුව් රන්ජන්ගේ ඉදිරි චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමිනි. ඒ පිළිබඳ බොනී පවසන්නේ මෙවැන්නක්. "රඟපෑම කිසි විටෙකත් මගේ මනසේ තිබුණේ නැහැ. නිෂ්පාදකයකු ලෙස මගේ දෑත් පිරී තිබුණා. ඔව්. දැන් මම නළුවෙක් වෙන්න සූදානම්. මම චිත්‍රපටයේ රන්බීර් කපූර්ගේ පියා ලෙස රඟපානවා. ඔහු අප කවුරුත් දන්නා පරිදි භයානක නළුවෙක්. මම ආධුනිකයෙක්. නමුත් එය කෙසේ සිදුවන්නේ දැයි බලමු".

මෙම කටයුත්තේ තමා දිරි ගැන්වූවන් ද බොනී සිහිපත් කරන්නේය. මුල්ම දිරි ගැන්වීම ලැබුණේ සොයුරු අනිල් කපූර් ගෙනි. දෙවැන්නා පුතු අර්ජුන් කපූර්ය. අර්ජුන්ගේ අදහස නම් මෙය හොඳ වෙනසක් සේම නිෂ්පාදන ආතතියෙන් මඳක් ඉවත්ව සිටීමටද අවස්ථාවක් බවයි. රන්ජන් විසින් මෙම චරිතය මුලින්ම ඉදිරිපත් කළ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළ අයුරුත් පසුව ඔහු තම දියණියන් තිදෙනා (අන්ෂුලා, ජාන්වි සහ කුෂි) ඔස්සේ මෙම යෝජනාව නැවත ඉදිරිපත් කළ අයුරුත් සිහිපත් කරන්නේය.

බොහෝ දෙනෙක් නොදන්නා නමුත් බොනීහට ප්‍රථම වරට නළුවකු ලෙස පැමිණීමට ආරාධනා කර තිබෙන්නේ යෂ් චොප්රා විසිනි. එනම් ලම්හේ (ශ්‍රීදේවි සහ අනිල් කපූර් රඟපෑ) චිත්‍රපටයටයි. ඊට පෙර බොනී සහ අනිල් ශාන්ත සේවියර් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී අනිල්ගේ පියා ලෙස වේදිකා නාට්‍යයක රඟ දැක්වූ අයුරැත් ඔහුගේ සොඳුරු මතක අතර විශේෂ වේ.