අම්මාගේ ඇඳුම්

ජනවාරි 21, 2021

බොහෝ දෙනා පවසන්නේ ජාන්වි කපූර් ඇගේ මව ශ්‍රීදේවිගේ කැඩපතක් බවයි. ජාන්වි මේ වන විට බොලිවුඩයේ ඉදිරිපත් කළ රංගනයන් වෙත කාගේත් අවධානය යොමු වී ඇති අතර ශ්‍රීදේවි සේම නිළියක ලෙස සාර්ථක වනු ඇති බව ඔවුන්ගේ අදහසයි. 2018 වසරේදී ශ්‍රීදේවි මෙලොවින් සමුගෙන ගියේ සියලු දෙනාගේ හදවත් කම්පා කරමිනි. ඒ වන විට ජාන්වි බොලිවුඩයට පිවිස සිටියත් රිදි තිරයේ දියණියගේ රංගන නැරඹීමේ වාසනාව ඇයට හිමි වූයේ නැහැ. ශ්‍රීදේවි සමුගෙන ගියත් ඇයගේ මතක නිරන්තරයෙන් සිහිපත් කරන්නේ ජාන්වි.

බොලිවුඩයේ බොහොමයක් විශේෂ උත්සව අවස්ථාවලට ජාන්වි හැඩ වෙන්නේ මවගේ ඇඳුම් පැලඳුම් වලින්. මීට පෙර ජාන්වී කපූර් 2018 දී ජාතික සම්මාන උලෙළට සහභාගී වන විට ශ්‍රීදේවිගේ පෞද්ගලික එකතුවෙන් ගත් සාරියකින් සැරසී සිටියා. ඒ වන විට ශ්‍රීදේවි සමුගෙන තිබුණත් 'මම්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය සඳහා වූ ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇයයි. ජාන්වි මවගේ සාරියක් හැඳ තම පියා සමඟින් පැමිණ එම සම්මානය ලබා ගත්තා. මෑතකදීත් ඇය දකින්න ලැබුණේ ශ්‍රීදේවි නිතර භාවිත කළ මල් මෝස්තර පිරි අලංකාර සළුවක් සමඟින්. මව සේම ඇය එම සළුව සුදු පැහැ ඇඳුමකට භාවිත කර තිබුණා.

ජාන්වී කපූර් මෑතකදී ආනන්ද් එල් රායිගේ 'ගුඩ්ලක් ජෙරී' චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා. ඒ හැරුණු විට ඇය කරන් ජොහාර් විසින් නිෂ්පාදනය කරන ලද 'දෝස්තනා 2' චිත්‍රපටයේ කාර්තික් ආර්යන් සමඟ රංගනයේ යෙදෙන අතර 'තක්ට්'චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයකට අත්සන් තබා තිබේ. තවද ඇය රාජ්කුම්මාර් රාඕ සමඟ 'රූහි අෆ්සා' හිද රංගනයෙන් දායක වී ඇත.