චන්නගේ අධ්‍යක්ෂ දිවියේ දශක දෙක සමරමින් සඳදිය සළු ගෙන එයි

ජනවාරි 21, 2021

ජනප්‍රිය සිනමා නළු චන්න පෙරේරාගේ අධ්‍යක්ෂ දිවියට විසි වසරක් සපිරීම සමරමින් නිර්මාණය කරනු ලබන අලුත් සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා පවත්වනු ලැබිණ. සඳදිය සළු යනුවෙන් නම් කොට ඇති එය චන්නගේ සිනමාදිවියේ පස්වැනි සිනමා අධ්‍යක්ෂණයයි. අංජලිකා, කල්පාන්තේ සිහිනයක්, එකයි දෙකයි තුනයි, සහ යුගත්‍රා ඔහු මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ සිනමාපටය වේ. සඳදිය සළු සිනමාපටය මුහුරත් උලෙළ නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර ඒ සඳහා චන්නට ළෙංගතු කලාලොව සහෘදයෝ රැසක් සහභාගිවී සිටියහ. මෙම සිනමා සිනමාපටය සමඟින්ද චන්න පෙර සිනමාපටයන්හී සේම නවක නිළියක් සිනමාවට හඳුන්වා දෙන අතර ඇය නිම්හාරා සේනානායකයි.

සඳදිය සළුහි චන්න පෙරේරා සමඟ නිම්හාරා ප්‍රධාන චරිත රංගනයේ යෙදෙන අතර නිළි රැජින මාලිනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, ශේෂාද්‍රි ප්‍රියසාද්, මොරින් චාරුණී, කුසුම් රේණු, ලාල් වීරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, අජිත් වීරසිංහ, අතුල අධිකාරි, ලියානා කුමාරගේ (ළමා) ආදී හු ද රංගනයෙන් දායක වෙති.

කතාව දෙබස් තිර රචනය චන්න පෙරේරාගෙනි. ජනක යහම්පත් කැමරා අධ්‍යක්ෂවරයාය. අංග රචනයෙන් සමීර මධු කිඳෙල්පිටිය දායක වන අතර ඇඳුම් නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය සංජීව කරුණාරත්තගෙනි. නිමේෂ් කුලසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. දේවිකා කුමාරිගේ සහාය අධ්‍යක්ෂණයකි. හිරාන් අභයවික්‍රම නිෂ්පාදන කළමනාකරු ලෙස දායක වන අතර ගයාන් ශ්‍රීමාල් නර්තන අධ්‍යක්ෂවරයාය. කේ. එස්. ඇනිමේෂන් විශේෂ ප්‍රයෝග නිර්මාණයෙන් දායකවේ. සංස්කරණය, වර්ණ සංයෝජනය සහ ශබ්ද පරිපාලනය ඩිලාන් ගුණවර්ධන විසින් සිදුකරයි. සඳදිය සළු ජනක එදිරිසූරිය, ෆයාස් නජිමුඩීන්, ෆසාල් අහමඩ්, ප්‍රසාද් වෙල්ලාලගේ, ප්‍රසාද් ප්‍රනාන්දු සහ ධනුක ගමගේගේ නිෂ්පාදනයකි.