ප්‍රසන්න විතානගේ ඉන්දීය සිනමා උලෙළේ ජූරියට

ජනවාරි 21, 2021

ලොව පැරණිතම සහ විශාලතම සිනමා උලෙළක් වන ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජූරි සභිකයකු වශයෙන් සම්මානනීය ශ්‍රී ලාංකේය සිනමාකරු ප්‍රසන්න විතානගේ තෝරා ගෙන තිබේ.

උලෙළ ඉකුත් ජනවාරි 15 වැනිදා ඉන්දියාවේ ගෝව නගරයේදී ආරම්භ වූ අතර මෙවර පැවැත්වෙනුයේ එහි 51 වැනි අදියරයි. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් උලෙළ මෙවර පැවැත්වෙන්නේ දෙමුහුන් ආකාරයටයි. ඒ අනුව ඇතැම් සිනමාපට සජීවීව ප්‍රදර්ශනය වන අතර අනෙකුත් සිනමාපට ඔන්ලයින් ක්‍රමයට තිරගත කෙරෙනු ඇත. එකී දෙයාකාරයටම සිනමා ලෝලීන් වෙනුවෙන් උලෙළ විවෘතව පවතී.

ඉන්දීය ජාත්‍යන්තර සිනමා උලෙළ සඳහා මෙවර චිත්‍රපට 224 අන්තර්ගත වේ. ඉන් 15ක් තරගකාරී අංශය යටතේ රණ මයුර සහ රජත මයුර යන සම්මානයන්ට තරඟ වදිනු ඇත. ලෝ ප්‍රකට කැමරා අධ්‍යක්ෂවරයකු වන වික්ටෝරියෝ ස්ටොරාගේ මෙවර ඉන්දීය සිනමා උලෙළේ යාවජීව සම්මානයෙන් පිදුම් ලබන විශිෂ්ට නිර්මාණකරුවාය. මෙම උලෙළට සමගාමීව ඉන්දියානු මහා සිනමාවේදී සත්‍යජිත් රේගේ සියවැනි ශතක ජන්ම සංවත්සරයද සැමරීමට නියමිතය.

අප සිනමාකරු ප්‍රසන්න සමඟ ආජන්ටිනා සිනමාවේදී පැබ්ලෝ සීසර්, ඔස්ට්‍රියා සිනමාවේදී අබුබක් ස්වාකි ඉන්දීය සිනමාවේදී ප්‍රියදර්ශන් සහ බංගලදේශ සිනමාවේදී රුබෙයියාත් හොසෙන් උලෙළේ ජූරි සභාව නියෝජනය කරනු ඇත. මෙවර ඉන්දීය සිනමා උලෙළේ ලෝක අංශයේ ආරාධිත චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ඔහුගේ නවතම සිනමාපටය වන ගාඩි ප්‍රදර්ශනය වීමටද නියමිතය.