සිනමා කර්මාන්තය වෙනුවෙන් තවත් බදු සහනයක්

ජනවාරි 21, 2021
පසුගිය යහපාලන රජය විසින් අහෝසි කොට තිබූ, දේශීය සිනමා කර්මාන්තයට අදාළ බදු සහන නැවත ලබාදීමට පසුගියදා තීරණය කරන ලදී. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් විසින් එම තීරණය ගෙන තිබේ. ඒ සිනමා කර්මාන්තයේ නියැළෙන වෘත්තිකයන් පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කළ ඉල්ලීමකට අනුවය. අග්‍රාමාත්‍ය කාර්ය ප්‍රධානි යෝෂිත රාජපක්ෂ, දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ සභාපති අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට යන මහත්වරුද මේ සාකච්ඡාවට සහභාගී වූහ. ඒ අනුව චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිත කරන උපකරණ ආනයනය කිරීමේදී තීරුබදු සහන ලබා දෙනු ඇත. එසේම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කළ මුදලට බදු සහන සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන ලබාදීමද මේ සාකච්ඡාවේදී සලකා බලා තිබේ. මෙම බදු සහන චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක වේ. ඒ අනුව දේශීය සිනමාකරුවන්ට සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ට චිත්‍රපට සංස්ථාව හරහා ඉල්ලුම් කිරීමෙන් රජය විසින් ලබාදෙන බදු සහනය ලබා ගැනීමට අවස්ථාව උදාවේ.