සරසවිය සම්මාන දිනූ නිෂ්පාදක නොයෙල් එදිරිසිංහ මියයයි

ජනවාරි 21, 2021

සිනමා නිෂ්පාදක නොයෙල් එදිරිසිංහ අභාවප්‍රාප්ත විය. ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී සිනමාකරු නැසීගිය ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ “යස ඉසුරු” සිනමාපටය නිෂ්පාදනය කළ හෙතෙම එය වෙනුවෙන් එම වසරේ ජනප්‍රියම නිෂ්පාදකවරයා ලෙස සරසවිය සම්මානයටද පාත්‍ර විය. පොඩි මල්ලි සිනමාපටයට නොයෙල් සම නිෂ්පාදනයෙන් දායක විය.

 

අනුර ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ අනුර ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි. සන්සුන් නොසන්සුන්, රජෙක් වගේ පුතෙක් යන සිනමාපට නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඔහු විසිනි.

අනුර 2015 ජනාධිපතිවරණයටද තරඟවැඳුණු අපේක්ෂකයකු ද විය.

 

සිනමා සමාරම්භය සැමරුමට ප්‍රදර්ශනයක්

මෙරට කථානාද සිනමා වංශකතාවේ සමාරම්භය සනිටුහන් කළ කඩවුණු පොරොන්දුව සිනමාපටය තිරගතවී වසර හැත්තෑ හතරක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උලෙළක් මෙම මස 21 වැනිදා එනම් අද උදෑසන 10ට ගිරිඋල්ල, මත්තේගම, පලාගල පිහිටි සිනමා කෞතුකාගාරයේදි පැවැත්වීමට නියමිතය. එදින 74 වසරක් පුරා අපේ සිංහල සිනමාවට දායකත්වය ලබාදුන් සිනමා ශබ්ද උපකරණ, චිත්‍රපට පෝස්ටර්, පැරණි චිත්‍රපට ගීත පොත්, සිංහල, හින්දි, ඉංග්‍රීසි කාටුන්, වෘත්තාන්ත, වාර්තා චිත්‍රපට තැටි ඇතුළු උපකරණ රැසක් මෙදින ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව මෙදින විශේෂ සිනමා දැක්මක්ද සංවිධානය කිරීමට මේ කෞතුකාගාරය පවත්වාගෙන යන ජේ.ආර්. රංජිත් මහතා කටයුතු යොදා ඇත. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා, පන්නල ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපතිවරයා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සිනමා රසිකයන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.