හොලිවුඩ්-බොලිවුඩ් තරු ගොවි ගැටලුව සමඟ

පෙබරවාරි 11, 2021

ඉන්දීය ගොවියන් විසින් සම්මත වී තිබෙන ගොවි පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුවට විරෝධය පළ කරමින් විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය වසර අගභාගයේදීයි. එහිදී ගොවීන්ට සහයෝගය දැක්වීමට බොලිවුඩයේ ප්‍රවීණයන් රැසක්ද ඉදිරිපත් වී සිටිනු දැකගත හැකි විය. ඒ අතරින් දිල්ජිත් දොසන්ජ් දිල්ලි හි සිංගු දේශ සීමාවේදී පැවති ගොවීන්ගේ විරෝධතාවයකට එක් වී කතා කළේය.

මෑතදී ඒ වෙනුවෙන් බටහිර තරු ද එක් වී සිටිනු දැකගත හැකි විය. ඇමරිකානු පොප් තරුවක් වන රිහානා, ලිලී සිං, ගායක ජේ ෂෝන්, සහ වොල්ගර් අමන්ඩා චර්නි ඇතුළු පිරිසක් ඒ අතර ප්‍රමුඛ විය. ගායක ජේ ෂෝන් ගොවීන්ගේ විරෝධතාවයේ ඡායාරූපයක් සමඟ එය "ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම විරෝධතා වලින් එකක්" ලෙස නම් කළේය. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාලය අක්‍රිය කර ඇති බව සඳහන් කරමින් රිහානා ට්විටර්හි විමසා සිටියේ "ඇයි අපි මේ ගැන කතා නොකරන්නේ?" යනුවෙනි. "ලෝකය බලා සිටියි. ගැටලුව තේරුම් ගැනීමට ඔබට ඉන්දියානු හෝ පන්ජාබි හෝ දකුණු ආසියානු විය යුතු නැත. ඔබ කළ යුත්තේ මනුෂ්‍යත්වය ගැන සැලකිලිමත් වීමයි. සෑම විටම කතා කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, මූලික මානව හා සිවිල් අයිතිවාසිකම්, කම්කරුවන්ට සමානාත්මතාවය සහ ගෞරවය ඉල්ලා සිටින්න" යනුවෙන් ඇයගේ සටහනේ වැඩිදුරටත් සඳහන් විය.

නමුත් මෙම තත්ත්වය බොලිවුඩ් තරු රැසකගේ නොමනාපයට හේතු වී ඇත.

පොප් ගායිකා රිහානා සහ පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තුන්බර්ග් ගොවීන්ගේ විරෝධතාවයට සහයෝගය දැක්වීමෙන් පසුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ජනප්‍රිය බොලිවුඩ් තරු රැසක්ද මේ සම්බන්ධව නිවේදන නිකුත් කර ඇත. අක්ෂේ කුමාර් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ, ගොවීන් අපේ රටේ අතිශය වැදගත් කොටසක් බවත් ඔවුන්ගේ ගැටලු විසඳීමට ගන්නා උත්සාහයන් පැහැදිලි බවත්ය. වෙනස්කම් ඇති කරන ඕනෑම කෙනෙකුට අවධානය යොමු කරනවාට වඩා මිත්‍රශීලී යෝජනාවකට අපි සහාය දෙමු යනුවෙනි.

අජේ දේව්ගන්ගේ ට්විටර් පණිවුඩයේ සටහන් වී තිබෙන්නේ "ඉන්දියාවට හෝ ඉන්දියානු ප්‍රතිපත්තිවලට එරෙහි කිසිදු අසත්‍ය ප්‍රචාරයකට හසු නොවන්න"යනුවෙනි. "අර්ධ සත්‍යයට වඩා භයානක දෙයක් නොමැති බැවින් අප සැමවිටම පුළුල් දෘෂ්ටියකින් කටයුතු කළ යුතුය" යනුවෙන් සුනිල් ෂෙට්ටි සඳහන් කළේය. කරන් ජොහාර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "අප ජීවත් වන්නේ කැලඹිලි සහිත කාලයක වන අතර අවශ්‍ය වන්නේ සෑම අවස්ථාවකදීම විචක්ෂණශීලීභාවය සහ ඉවසීමයි. සෑම කෙනෙකුටම ගැළපෙන විසඳුම් සෙවීමට අපට හැකි සෑම උත්සාහයක් ගනිමු. අපේ ගොවීන් රටේ කොඳු නාරටියයි. කිසිවෙකුට අපව බෙදීමට ඉඩ නොදෙමු" යනුවෙනි.

 

 

තක්ට් ප්‍රමාදයි

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ලොව සිනමා ක්ෂේත්‍රය අඩාල වූවේ කිසිදු කටයුත්තකට ඉඩ නොතබමිනි. ඒ වනවිට තිරගත කිරීමට නියමිත වූ දැවැන්ත නිර්මාණ රැසක් කල්දැමුණු අතර රූගත කිරීම් ද නතර කෙරුණි. මේ වන විට වසංගත තත්ත්වය පහව නොගියද හොලිවුඩ් සහ බොලිවුඩ් නිර්මාණ වැඩ කටයුතු ආරම්භ කරමින් පවතින බවත් පුවත් නිවේදනය වේ. මේ අතර පසුගියදා බොලිවුඩයෙන් අසන්න ලැබුණේ ජනප්‍රිය තරු රැසක් දායක වන කරන් ජොහාර්ගේ තක්ට් චිත්‍රපටය අත්හිටුවා ඇති බවට වන පුවතයි.

කරන් ජොහාර් 2019 අගෝස්තු මාසයේදී දැවැන්ත චිත්‍රපටයක් ලෙස තක්ට් ප්‍රකාශයට පත් කළ අතර රන්වීර් සිං, විකී කෞෂාල්, කරීනා කපූර් ඛාන්, ආලියා භාත්, අනිල් කපූර්, භූමි පද්නෙකර් සහ ජාන්වි කපූර් ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වන බවට නිවේදනය කළේය. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අධ්‍යක්ෂවරයා පවසා තිබුණේ චිත්‍රපටය මාර්තු මාසයේදී රූගත කරන බවයි. කෙසේ වෙතත්, කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් චිත්‍රපටයේ නිෂ්පාදනය නතර විය. මේ සම්බන්ධව අදහස් දක්වමින් කරන් ජොහාර් පවසා සිටියේ "තක්ට් අත්හිටුවා නැත. එය ප්‍රමාදයි" යනුවෙනි.

මේ වන විට චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් නැවත ආරම්භ වී ඇති අතර, ධර්මා ප්‍රොඩක්ෂන් හි අපේක්ෂිත 'ජග් ජග් ජෙයෝ', 'බ්‍රහමාස්ත්‍රා' සහ 'ලිගර්' වැනි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය දී ඇත. මෙම ව්‍යාපෘති අවසන් වූ පසු තක්ට්හි වැඩ නැවත ආරම්භ කරනු ඇත.

 

 

ආදරණිය නැන්දා

රංගීලා චිත්‍රපටය හරහා දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයකට ලක්වූ උර්මිලා මතෝන්ද්කාර් වැඩි කලක් ගත වීමට පෙර බොලිවුඩයේ සරාගී නිළියක් බවට පත් වූවාය. 'භූත්', 'සත්‍යා', 'ප්‍යාර් තූනේ ක්‍යා කියා' වැනි හින්දි චිත්‍රපට රැසකට දායක වූ ඇයගේ රංගනයන් මරාති, දෙමළ, තෙළිඟු මෙන්ම මලයාලම් චිත්‍රපට වලින්ද දැකගත හැකි විය. ඉන්දීය ජාතික සම්මේලනයට එක් වූ ඇය 2019 ලෝක් සභා මැතිවරණයේදී මුම්බායි උතුරු මැතිවරණ කොට්ඨාසයෙන් තරඟ කළ නමුත් පරාජයට පත්විය. පසුගිය වැනිදා ඇය 47 වැනි වියට පා තැබුවාය.

උර්මිලා පවසන්නේ දැන් කිසිවෙකු තමාට නැන්දා යැයි ආමන්ත්‍රණය කිරීම තම ජීවිතයට වැඩි යමක් ගෙන දෙන බවයි. ඇත්තවශයෙන්ම එය තේජාන්විතයි.

වසර ගණනාවක් ගත වන විට සෑම දෙයක්ම අගය කිරීමට යමෙකු ඉගෙන ගන්නා බව ඇය තවදුරටත් පවසන්නීය. අවංකවම, මම හිතන්නේ ජීවිතය මා ඉදිරියේ තබා ඇති දෙයින් උපරිම ප්‍රයෝජන ගැනීමට මම කාර්යබහුලයි."

අන් අයගේ උපන් දින සහ ඔවුන් වෙනුවෙන් සැලසුම් සකස් කිරීම ගැන තමා ඉතා සතුටට පත්වන බවත් කුඩා කල සිටම සමාජ කටයුතු වෙනුවෙන් උනන්දු වූ බවත් උපන්දිනය වෙනුවෙන් ලද මුදල් පරිත්‍යාග කරන ලෙස ලද මාපිය උපදෙස් ද ඇය සිහිපත් කරන්නීය.

 

කැමැති අකමැති

 

මේ වන විට බොලිවුඩ් තරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය භාවිතය වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර ඇති බව පෙනේ. බොහොමයක් තරු සජීව ලෙස තම රසික රසිකවන් සමඟ සම්බන්ධ වෙමින් සිය අදහස් බෙදා ගන්නා අයුරු දැකිය හැකිය. පසුගියදා මේ විදියට ඉන්ස්ටග්‍රම් වෙත පැමිණියේ ආලියා භාත්. ඇයගේ රසික රසිකාවන් විසින් ආහාර වේල, වේශ නිරූපණය, ප්‍රියතම ආහාර සහ තවත් බොහෝ දේ ගැන ඇයගෙන් ප්‍රශ්න ඇසීය.

නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය දැයි රසිකයෙක් ඇයගෙන් විමසූ විට, ආලියා කියා සිටියේ තමා නිවාඩුවක් ගත කිරීමට කැමැති නමුත් එය තනිවම නොවන බවයි. ඇය සාප්පු යෑමට කැමති දැයි ඇසූ විට ආලියා පැවසුවේ, "මම සාප්පු සවාරි යෑමට කැමති නැහැ. ඔබ මාව වෙළෙඳ සංකීර්ණයකට කැඳවා ගෙන ගියොත් මම ඉතා ඉක්මනින් එළියට එනවා" යනුවෙනි. මීළඟට සංජේ ලීලා බන්සාලිගේ 'ගංගුබායි කතියාවඩි' චිත්‍රපටයෙන් සහ රන්බීර් කපූර්, අමිතාබ් බච්චන් සමඟ අයාන් මුකර්ජිගේ 'බ්‍රහ්මස්ත්‍රා' චිත්‍රපටයේ ඇයගේ රංගනයන් දැකගත හැකි වන අතර එස්.එස්. රාජමෞලිගේ 'ආර්.ආර්.ආර්' චිත්‍රපටයටද ආලියා රංගනයෙන් දායක වී සිටින්නීය.

 

 

විවේකයට ක්‍රිකට්

රාජ්කුමාර් රාඕ මේ වන විට බොලිවුඩයේ කාර්යබහුල නළුවෙක් බවට පත් වී අවසන්. සම්මානීය නළුවකු වන ඔහු මේ දිනවල 'බධායි දෝ' චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරත වී සිටී. මේ අතර ලැබෙන විවේක කාලයේ රාජ්කුමාර් තවත් විශේෂ කටයුත්තක නියැළි සිටින්නේය. එනම් 'බධායි දෝ' කණ්ඩායම සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමයි. ඒ නිසා රූගත කිරීම් අතර ක්‍රිකට් තරගද විශේෂ වී ඇත.

හර්ෂ්වර්ධන් කුල්කර්නිගේ 'බධායි දෝ' චිත්‍රපටයේ භූමි පද්නෙකර් ද රංගනයෙන් දායක වී සිටී. රාජ්කුමාර් පොලිස් නිලධාරියෙකුගේ චරිතයට පණ පොවන අතර භූමි ගුරුවරියක ලෙස චරිත මවයි. 'බධායි දෝ' චිත්‍රපටයට අමතරව, රාජ්කුමාර් 'රූහි අෆ්සානා' චිත්‍රපටයේ ජාන්වී කපූර් සමඟ රංගනයෙන් දායක වීමට නියමිතය. ප්‍රියංකා චොප්රා සමඟ දායක වූ 'වයිට් ටයිගර්' චිත්‍රපටය පසුගියදා නිකුත් විය.