වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
ගවේෂණාත්මක රංගනය

ජාන්වී කපූර්ට උදා වූ 2021 වසර කාර්යබහුල වසරක් වී ඇත. 'ගුන්ජන් සක්සේනා: ද කාර්ගිල් ගර්ල්' චිත්‍රපටය තිරගත වීමෙන් පසු ඇය පන්ජාබයේ 'ගුඩ් ලක් ජෙරී' චිත්‍රපටයේ රූගත කිරීම්වල යෙදී සිටී. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිද්ධාර්ත් සෙන්ගුප්තා විසිනි. ඉදිරි මාස දෙකක කාලය ජාන්වී වෙන් කර තිබෙන්නේ මෙම චිත්‍රපටය වෙනුවෙනි. ඒ හැරුණු විට ඇය 'දොස්තනා 2' සහ 'රූහි අෆ්සානා' චිත්‍රපට වෙනුවෙන් ද රංගනයෙන් දායකවීමට සූදානම් වී සිටී. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ විවේකයකින් පසුව ඇය රූගත කිරීම් ආරම්භ කළේ මීට මාස කිහිපයකට පෙරදීය.
මෑතකදී ඇය ඉන්ස්ටග්‍රෑම් සටහනක් මගින් හෙළිකර සිටියේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට හා ගවේෂණය කිරීමට ඇති කැමැත්ත ගැනයි. තවද ඇය චිත්‍රපට වෙනුවෙන් සිය හොඳම රංගනයන් ඉදිරිපත් කිරීම සහ විවිධ චරිත නිරූපණය කිරීමට අවස්ථා සොයන ආකාරය ගැන ද කතා කළාය. තමා මෙතෙක් සිත්ගන්නාසුලු ගමනක් ගොස් ඇති බවත්, තමාට අත්හදා බැලීමට හා අභියෝග කිරීමට ඉඩ සලසන චිත්‍රපට සඳහා ක්‍රියාකාරීව සොයා බලන බවත් ඇය පැවසුවාය. ඇයගේ පළමු චිත්‍රපටය වන 'දඩක්' චිත්‍රපටය ඒ ගමනේ සාර්ථක ආරම්භයක් බවත්, තමාට කළ හැකි දේ හරියටම මිනිසුන්ට වැටහී ඇත්දැයි අවධානයෙන් පසුවන බවත් ඇය සඳහන් කළාය.