ඒකෙන් අපි අයින් වුණා

පෙබරවාරි 25, 2021

කලාකරුවන් වෙනුවෙන් ටෙලිසිනේ ක්ලබ් නැමැති ආයතනයක් ආරම්භ කිරීමට පසුගියදා කලාකරුවෝ කිහිපදෙනෙකු එකතු වූහ. ඔවුනගේ අරමුණ වූයේ කලාකරුවන් එකිනෙකා හමුවීමට, සුහද සාද පැවැත්වීමට මුහුරත් උලෙළ සංවිධානය කිරීමට තමන්ගේම කියා ස්ථානයක් ස්ථාපනය කර ගැනීමය. ආචාර්ය ජයන්ත ධර්මදාස, චන්ද්‍රන් රත්නම් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ කලාකරුවෝ රැසක් මේ හා අත්වැල් බැඳ සිටියෝය. එහෙත් හදිසියේම මෙම ටෙලිසිනේ ක්ලබ් නැමැති සංවිධානය නොවැලැක්විය හැකි හේතුවක් මත විසුරුවා දමා ඇති බව අපට දැන ගන්නට ලැබිණ. මෙයට සිදු වූයේ කුමක්ද කියා අදහස් දැක්වීමට එහි හිටපු ලේකම් රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මෙසේ අප හා එකතු විය.

අපේ දන්න කෙනෙක් තමයි මෙහෙම වැඩක් කරමු කියලා ඔය යෝජනාව ගෙනාවේ. මට මෙහි ලේකම් විදිහට තනතුර භාරගන්න කිව්වා. මේක ඇත්තටම ඉතා හොඳ වැඩක්. වෙනත් වෘත්තිකයන්ට ක්ලබ්ස් තිබුණට කලාකරුවන්ට එහෙම එකක් නැහැ. ඒක නිසා අපි හැමෝම වෙනුවෙන් මම ඒ තනතුර භාර ගත්තා. සභාපති හැටියට ප්‍රවීණ සිනමාකරු චන්ද්‍රන් රත්නම්, උප සභාපති නිලන්ති ඩයස්, භාණ්ඩාගාරික ජගත් ගලප්පත්ති, අනුශාසකවරු ලෙසට ආචාර්ය ජයන්ත ධර්මදාස, කේ. ඩී. දයානන්ද, දිනේෂ් ප්‍රියසාද්, ලාල් මතඟවීර යන පිරිස පත් වුණා. චිත්‍රපට සංස්ථාවේ මධුර මහත්මයා හා එක්ව අපි ව්‍යවස්ථාවකුත් හැදුවා. ආරම්භක උත්සවයකුත් තිබ්බා. ක්‍රමයෙන් වැඩකටයුතු සාර්ථක වෙමින් යද්දි අර මුලින්ම එකතු වුණ කලාකරුවා අපිට නොයෙක් ඕඩර්ස් දෙන්න ගත්තා. ඔහු කිව්වා සමහර අයව මෙයින් අයින් කරන්න කියලා. අපිට එහෙම කරන්න අමාරුයි. අනික එයාට එහෙම විධිවිධාන දෙන්න අයිතියකුත් නැහැ. ඔහු ෆේස්බුක් පේජස් හදාගෙන මඩ ප්‍රචාරයක් ගෙනිච්චා. බැරිම තැන අපි අයින් වෙන්න තීරණය කළා. අප ඒ බව සභාපතිතුමාට ලිඛිතව දැන්වූවා. ඇත්තටම මේ කරන්න හැදුවේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒත් ඒක කරගන්න බැරි වුණා. හැමෝටම ඒකෙන් අසාධාරණයක් වුණේ.