අරුණ ජයවර්ධනගෙන් නිළියක් නැති චිත්‍රපටයක්

මාර්තු 4, 2021

සිනමාපටයක නිළියක් හෝ නිළියන් කිහිපදෙනෙකු රඟපෑම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් ඉන් පරිබාහිරව තැනෙන සිනමාපටයක් පිළිබඳ සරසවියට වාර්තා විය. මෙම සිනමාපටයේ කිසිදු නිළියක් රංගනයෙන් දායක නොවීම විශේෂත්වයකි. මෙසේ තැනෙන චිත්‍රපටය මාරියා නම් වේ. එය සම්මානනීය සිනමාකරු අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයකි. නිකිණි වැස්ස, 1970 ලව් ස්ටෝරි (තිරගත වීමට නියමිත),හැපි බර්ත් ඩේ(තිරගතවීමට නියමිත)ආදී සිනමාපටය අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ හතරවෙනි සිනමාපටය වන්නේ මෙම සිනමාපටයයි. මෙම සිනමාපටය සම්පූර්ණයෙන්ම දිගහැරෙන්නේ ධීවර බෝට්ටුවක් තුළ සිදුවන කතාපුවතක් සමඟය. සිනමා ප්‍රේක්ෂකයන්ට අමුතුම අත්දැකීමක් ලබා දෙමින් නිර්මාණය වන මාරියා සිනමාපටය ආරම්භ වන්නේ හෙට දිනයේ පැවැත්වෙන මුහුරත් උළෙලකින් අනතුරුවය. අරුණ ජයවර්ධන තිර පිටපත නිර්මාණය කොට ඇති මෙහි මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, දර්ශන ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක චරිත රංගනයේ යෙදෙති. මාරියා සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි, දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂවරයාය, ප්‍රියංකර රත්නායක අංග රචනයෙන් දායකවේ, සුනිල් ප්‍රේමරත්නගේ කලා අධ්‍යක්ෂණයකි, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි දායක වන අතර නිෂ්පාදන කළමනාකරණය ගිහාන් පෙරේරා ගෙනි. තව නොබෝ දිනකින් රූපගත කිරීම් ආරම්භ වන මෙහි නිෂ්පාදකවරයා වන්නේ ඉන්ද්‍රජිත් සිල්වාය. නිළියක් නොමැති චිත්‍රපට ද්විත්වයක් මින් පෙර සිංහල භාෂාවෙන් නිර්මාණය වූ අතර එනම් හාරලක්සය සහ සඳලුතලෙන් එහා ය.