ලතා වල්පොලගෙන් බුදු ගුණ ගීයක්

මාර්තු 4, 2021

ආදරණීය ලතා අක්කේ,

පෙර දිනෙක ඔබ කී පරිදි බුදු ගුණ ගීයත් මේ සමඟයි. ඔබේ උපන්දිනයට ඒ ඉල්ලීම ඉටු කරන්න ලැබීම මට සතුටකි. ඔබට දීර්ඝායු!

 

මෙසේ කුඩා සටහනක් තබමින් බොදු බැති ගීයක් ලියා අපේ ගීත කෝකිලාවිය ලතා වල්පොල වෙත යොමු කළේ ප්‍රවීණ ගීත රචකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සමන් චන්ද්‍රනාත් වීරසිංහයි. ඒ ලතා වල්පොල මහත්මියගේ 86 වැනි ජන්ම දිනය යෙදුණු 2020 වසරේ නොවැම්බර් 11 වැනිදාය. ලේක්හවුස් ආයතනයේ කලක් සේවය කළ බැවින් සමන් මහත්තයා ලෙස අපේ කටවහරට හුරු ඔහු සරසවියට මේ ගීපද නිර්මාණය පිළිබඳ පළමුවෙන්ම පැවසීමට තීරණය කර තිබුණි.

මොකක්ද සමන් මහත්තයා මේ අලුත් ගීය?

“ලතා අක්කා නිතර මට කීවා ඇගේ ගීතාවලියේ බොදු බැති ගීයක් නැහැ ‘මට සින්දුවක් ලියලා දෙන්නකෝ‘ කියලා. ඉතින් මම හිතුවා පසුගිය උපන්දිනය වෙනුවෙන් ඇයට බොදු බැතිගීයක් ලියා දෙන්න. ගීතය ලියලා මම මහින්ද බණ්ඩාරට (ලතා වල්පොල මහත්මියගේ බෑණනුවන්) දුන්නා ඇයට බාර දෙන්න කියලා. මොකද එහි තනුව අනිවාර්යයෙන්ම ඔහුට යොදන්න වන බව මම දැන සිටිය නිසා. ලතා අක්කා ඒ ගීතය ඉත සිතින් බාරගෙන බොහොම සතුටින් ගායනා කර තිබුණා. මට එය නව තාක්ෂණය ඔස්සේ මහින්ද බණ්ඩාර එවා තිබුණා.

ලතා අක්කා තමයි මම ලියූ මුල්ම චිත්‍රපට ගීතය ගායනා කළේත්. ශීලා චිත්‍රපටයේ මල්සර දෝතේ තුරුණු තොටිල්ලේ ගීතය. ඇය ගයන ආදරේ ගීතය ලියන්නත් ඇය ආරාධනා කළේ මටයි.“

එවන් වූ බැඳීයාවක් සමඟ ලියැවුණු බොදු බැති ගීයේ පද මෙසේ විය.

 

ගෙදර බුදුන් අම්මා යනු පැවසූ
අම්මාවරුනට කිරුළු පැලැන්දූ
අමා මෑණි බුදු පියාණනී
තුන් සිත පහදා කරමි වන්දනා
බුද්ධ රත්න සරණා

සිය පුතු රාහුල කුමරුට සමසේ
දිළිඳු ළමා සෝපාකට එකසේ
සම මෙත් මුදිතා දයාව පෑ
සම්බුදු කරුණා ගඟුල වාසනා
බුද්ධ රත්න සරණා

වනපස මල් පුද ලද සමිඳේ
දෙව්ලොව පරසතු මල් පුද ලබනේ
අටලෝ් දහමින් කම්පා නොවනා
බණ පද වරුණා නිවයි වේදනා
බුද්ධ රත්න සරණා

වියරුව පැන ආ නාලාගිරි ඇතු
හිමි පරදන්නට එදා අලව් යකු
දස මර සෙන් පලවා ලූ බුදු රජු
දෙපතුල් සිඹිනා පහන් චේතනා
බුද්ධ රත්න සරණා

සුවහස් සෑ බැඳුණත් මිහි දෙරණේ
දහසක් සෑ සැදුණත් සුර විමනේ
හිමි ගුණ කීමට නෑ සෑහෙන්නේ
හදවත රන්දවු දහම් කාරණා
බුද්ධ රත්න සරණා

මරණ බියෙන් සිත සසලව යාද්දෝ
තනිකම් දොසකට ගොදුරු වුණාදෝ
එසඳේ බුදුගුණ සිහිකොට නිබඳේ
කිව මැන නිරතුරු පින්බර සිතිනේ
බුද්ධ රත්න සරණා
බුද්ධ රත්න සරණා