අවුරුදු දහයක් ළඟ තිබුණ ගී එකතුවක් පේ‍්‍රමය තරුණයි

මාර්තු 11, 2021

 

මේ ගී එකතුවට මගේ පැරැණි ගීත වන ‘ කුල ගෙදරින්, රිදී නිම්නය, සමුගන්න මොහොතකට, පුංචි කාලේ අපි, දෝත පුරා මුතු , දෙපා නඟන්නට, වැනි ගීත සමඟ අලුත් ගීත කිහිපයකුත් ඇතුළත් කරලා තියෙනවා. ඔක්කොම ගීත 17 ක් මේ ගීත එකතුවට ඇතුළත් වෙනවා. මේ සඳහා අලුත්ම ගීත කුලරත්න ආරියවංශ, බණ්ඩාර ඇහැලියගොඩ, කුමාර කවිරාජ්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ඇතුළු පිරිසක් රචනා කරලා තිබෙනවා.

 

ඔහු හඳුන්වා දීමට අමුතුවෙන් අටුවා ටීකා උවමනා නොවේ. කලක් මෙරට සංගීත ක්ෂේත්ත්‍රෙයේ ජනපි‍්‍රයම ගායකයෙකු , සංගීතඥයෙකු වශයෙන් ඔහු දිනාගත් ජනතා ආදරය අති විශාලය . ඔහු බන්දුල විජේවීරය.

මගේ බුදු මාමණ්ඩිට

බුද්ධං සරණේ සරණයි

මගේ සුදු බෑණණ්ඩිට

ධම්මං සරණේ සරණයි.

මගේ සුදු මාමාණ්ඩිට

සංඝං සර‍ණේ සරණයි

අනේ ඉතිං අපි දෙන්නට

මේ තුන් සරණේ සරණයි

මාමගෙයි බෑණගෙයි මේ සංවාදය අදටත් අපේ සංගීත රසිකයින්ගේ සිත් වලින් තුරන් වි නොමැත්තේ මේ අපූරු ගායක යුවලගේ ගායන හැකියාව මෙන්ම ඉදිරිපත් කිරීමේ ශෛලියද එක්තරා ආකාරයකට අපේ ප්‍රේක්ෂක සිත් සතන් තුළ නැවුම් ආස්වාදයක් ජනිත කරන්නට සමත් වූ නිසාය. අද අපේ කතා නායකයා වන්නේ මෙහි බෑණා ගේ චරිතයෙන් අපි හමුවට පැමිණි බන්දුල විජේවීරයන්ය.

ගායකයෙකු වශයෙන් ඔහු අපේ ගීත කලාවට අගනා නිර්මාණ රැසක් තිළිණ කළ ගායකයෙකි.70 -80 දශකයන්හි ගුවන් විදුලියෙන් ඇසුණු ඔහුගේ ගීත තවමත් අපේ සංගීත ලෝලීන්ගේ සිත් තුළ අමරණීය මතකයන් වශයෙන් තැන්පත් වී ඇති බව නොරහසක්. ඒ තරමටම ඒවා ආදරණීයය. ඒවා ගීතාත්මකය. නිදහසේ, නිස්කලංකව රස විඳීය හැකි කුමක්දෝ සංවේදි ස්වරයක් ඒවායේ ගැබ් වී තිබුණි.

රිදී නිම්නය කඳුළු නිම්නය

ඔබය මගේ ජීවිතේ...නොදුටු නිම්නය

ඔබය මගේ ජීවිතේ......

වැනි ගීතයක් ගත්තද

‘ සමුගන්නට මොහොතකට

පෙර එක වතාවක්

හිනැහෙන්න පෙරදා වගේ .... වැනි ගීතයක් ගත්තද ආදරය , ප්‍රේමය , විරහව වැනි සංවේදනා සංයමයකින් ශ්‍රාවක සවනට යොමු කරමින් ශ්‍රාවකයින් එකී සංවේදනා තුළ ගිල්වන්නට තිබුණු හැකියාව ගැන අදද මතකයට නැගේ. අදටත් මේ ගීත නොමියෙන මතකයන්ව හදතුළ තැන්පත්ව තිබෙන්නට හේතුව මෙකී සංවේදි නාද මාලාව මෙන්ම බන්දුල විජේවීරයන්ගේ සංවේදී ගැයුම විය යුතුය.

බන්දුල විජේවීරයන්ගේ මෙකී පෙර ගැයුම් පිළිබඳ මතකයන් අවුස්සන්ට මේ මොහොතේ සුවිශේෂි හේතුව වූයේ ඔහුගේ පැරැණි ගීත මෙන්ම අලුත් ගීත කිහිපයකින්ද යුත් සංයුක්ත තැටියක් නොබෝදා වෙළෙඳපොළට පැමිණි බැවිනි. වර්තමානය වනවිට බොහෝ ගායක ගායිකාවන් ගීත එකතු වශයෙන් ගීත නිකුත් කිරීමේ කලාවෙන් බැහැරව සිටියදී ඔහු වැන්නකුගේ ‍මේ ප්‍රයත්නය පැසසුම් සහගතය.

‘ ඇත්තටම මේ සීඩී එක කරලා දැන් අවුරුදු 10 ටත් වැඩියි. මේක එළි දක්වන්න මට උවමනාවක් තිබුණේ නෑ. මම එය පිටරට සංදර්ශනවලට යත්දි කීපයක් අරන් ගියා . ඒ ඇරුණම මට ඒක වෙළෙඳපළට දාන්න තරම් උනන්දුවක් තිබුණෙ නෑ. දවසක් කුලරත්න ආරියවංශ මේ සීඩි ටික දැකලා අපරාදෙනේ මේවා මෙහෙම තියාගෙන ඉන්නේ. මට දෙන්න මම ඒක ඩිස්ට්‍රිබියුට් කරන්නම් කියලා ඉල්ලා ගත්තා. ඔහු තමයි ඒක ප්‍රචාරය කරලා ඒකට මිලක් නියම කළේ. ඔහු නැත්නම් මේ ටික තවමත් මගේ ගෙදර මුල්ලක තියේවි.‘‘

බන්දුල විජේවීර සහ කුලරත්න ආරියවංශයන් කලකට පෙර සිටම සමිප මිතුරන්ය. පසුගිය කාලයේ කුලරත්න ආරියවංශයන්ගේ පුතුන් දෙදෙනා වන කල්පන හා වින්දන විසින් නිර්මාණය කරන ලද ‘ රූකඩ පැංචි‘ චිත්‍රපටය සඳහාත් බන්දුල දායක වූයේය.

‘කල්පන සහ වින්දන කරපු රූකඩ පැංචි චිත්‍රපටයේ කානිවල් එකේ සිටින ප්‍රධාන ගායකයා වෙන්නේ මම. මම මේකෙ ගීත ගායනා කරමින් රඟපෑවා. මේ ගීත රෝහණ වීරසිංහ තමයි ලියලා සංගීතවත් කළේ. මෑත කාලයේ මම දුටු ඉතාමත් ප්‍රබල කතා තේමාවක් මේක.

බන්දුලගේ මෙම නවතම ගීත එකතුව නම්කොට ඇත්තේ ‘ ප්‍රේමය තරුණයි‘ නමිනි. මේ සඳහා ඔහුගේ පැරැණි ගීත කිහිපයක් හා නවතම ගීත කිහිපයක්ද ඇතුළත් වේ. මේ ගී එකතුවට මගේ පැරැණි ගීත වන ‘ කුල ගෙදරින්, රිදී නිම්නය, සමුගන්න මොහොතකට, පුංචි කාලේ අපි, දෝත පුරා මුතු , දෙපා නඟන්නට, වැනි ගීත සමඟ අලුත් ගීත කිහිපයකුත් ඇතුළත් කරලා තියෙනවා. ඔක්කොම ගීත 17 ක් මේ ගීත එකතුවට ඇතුළත් වෙනවා. මේ සඳහා අලුත්ම ගීත කුලරත්න ආරියවංශ, බණ්ඩාර ඇහැලියගොඩ, කුමාර කවිරාජ්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ඇතුළු පිරිසක් රචනා කරලා තිබෙනවා. රෝහණ වීරසිංහ , කලණි පෙරේරා සහ වික්ටර් රත්නායකත් මමත් සංගීතය නිර්මාණය කර තිබෙනවා. යුග ගායනා සඳහා දිස්නා අතපත්තුත් , රෝහණ වීරසිංහත් එකතු වෙනවා.

වර්තමානයේ ගීතයක් අසා රසවිඳීන්න අවස්ථාව හමුවනුයේ ඉතාමත් කලාතුරකිනි. හේතුව බොහෝවිට අද ගීතයක් නිකුත් වනුයේ රූප රචනාවක්ද සමඟ වීමයි. දශක කිහිපයක් ක්ෂේත්‍රයේ රැඳී සිටින බන්දුල වැනි කලාකරුවෙකු මේ තත්ත්වය පිළිබඳ දරන්නේ මෙවන් මතයකි.

‘ ඉස්සර අපි ගීත කරන කොට අපිට මේ තරම් ගීත ප්‍රචාරය කරගන්න නාළිකා තිබුණේ නෑ. අපට තිබුණේ ගුවන් විදුලිය විතරයි. අද වගේ රූපරචනා කලාවක් තිබුණෙත් නෑ. හැබැයි අපි ගුවන් විදුලියෙන් ගීතය අහලා අපටම අනන්‍ය වූ රූප රචනාවක් අපේ හිත් තුළ තිබුණා. දැන් ඉතින් අපිට රූප රචනාවක් නිර්මාණය කරලම දෙනවානේ. කොහොම වුණත් අද ගීතය තියෙන්නේ මහා ඛේදජනක තත්වයක. අද හැම දෙයක්ම සිද්ධ වෙන්නේ තාක්ෂණය පදනම් කරගෙනනේ . කොහොම වුණත් තරුණ පරපුර වැරැදි මාර්ගයක යනවා නම් ඒ අය නිවැරැදි කරන එක අපේ යුතුකම.

වර්තමාන තරුණ පරපුර අතර ඉතාම හොඳ දක්ෂ නිර්මාණ කරුවෝ ඉන්නවා. හොඳ කටහඬවල් තියෙන තරුණ දරුවෝ ඉන්නවා. හැබැයි අපට නිතරම ඇහෙන්නෙ බටහිර නාද රටා වලින් යුත් ගීත තමයි. දේශීය නාද රටා පැත්තෙන් නිර්මාණ ඇහෙනවා අඩුයි.නමුත් අපිට ඒ පැත්තෙනුත් බොහෝ දේවල් කරන්න පුළුවන් . ඒ කාලේ මතක ඇතිනේ මාමයි බෑණයි කොච්චර ජනපි‍්‍රය වුණාද කියලා. ‘

සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් වසර ගණනාවක් කටයුතු කළ ඔහු දැන් විශ්‍රම දිවියක් ගත කරමින් නිර්මාණකරණයේ යෙදෙයි.

දැන් මම හුඟාක් වෙලාවට සංගීත නිර්මාණ පැත්තට යොමු වෙලා ඉන්නේ පහුගිය දවස්වල පාතේගම ඥාණිස්සර හාමුදුරුවන්ගේ පද රචනාවකට ගී තනුවක් නිර්මාණය කළා. ඒත් එක්කම මම අවුරුදු පහ හයක ඉඳලා අපේ රටේ විවිධ ජන ගීත එකතු කරමින් ඉන්නවා. ඉතින් දැන් මට හිතිලා තිබෙනවා මේ ජන ගී එකතු කරලා පොතක් කරන්න. ඒ සඳහා සැලසුම් සකස් කරමින් ඉන්නවා. මේ සඳහා මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි උදව් කරමින් සිටිනවා.‘

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි

පැංචියේ මට මතකයි

පුංචි පැටික්කිට වෙච්ච පොරොන්දුව

ඉරහඳ වගේ මතකයි....

බන්දුල ගායනා කළ මෙවන් ගීත රස වින්ද රසික රසිකාවන් තවමත් මේ රටේ සිටී. කලකින් ඔහුගේ නැවුම් ගීතයක් රස නොවිඳී මේ රසික රසිකාවන්ට මෙය ඉතා සුබදායි ආරංචියක් වනු ඇත. එසේම ඔහුගේ පැරැණි ගීතයක් වුවත් නිතර ප්‍රචාරය නොවන යුගයක මෙවන් සංයුක්ත තැටියකින් එය රසවිඳීන්නට අවස්ථාව සලසා දීමද සුවිශේෂී කාරණාවකි. විශේෂයෙන් මෙම සංයුක්ත තැටිය එළි දැක්වීම සඳහා බන්දුලව උනන්දු කළ මිතුරන් දෙදෙනෙකු ගැන ඔහු ආදරයෙන් මතක් කළේය. ඒ එම්.ඩී. බන්දුසේන සහ ශෂී වෙල්ගමය. මේ සියලු දෙනාගේ උත්සාහය අවසානයේ ළඟා කරවූයේ නිහඬව සිටි කලාකරුවෙකු ගේ හඬ යළි අපට අසන්නට මං පෙත් විවර කිරීමය.