රාජා මහේන්ද්‍රන් දිවිගමනට සමු දෙයි

ජූලි 29, 2021

පසුගිය සරසවිය සම්මාන උලෙළේ හොදම චිත්‍රපටය වූ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය ඉදිරිපත් කළ හා එම වසරේ ජනප්‍රියම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනා ගත් 'ධර්ම යුද්ධය' නිෂ්පාදනය කළ රාජේන්ද්‍ර රාජාමහේන්ද්‍රන් පසුගිය 25 වැනි දා අභාවප්‍රාප්ත විය. සිරස මාධ්‍ය ජාලය ඇතුළු සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති වූ ඔහු මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයකු ද විය. සිනමා රසිකයකු වූ ඒ මහතා මුලින්ම චිත්‍රපට නිෂ්පාදනයට දායක වූයේ ශ්‍රී ලංකා ඉන්දියා හවුල් නිෂ්පාදනයක් වූ 'තී' චිත්‍රපටය නිපදවමින්ය. රජිනි කාන්ත් එහි ප්‍රධාන චරිතය රඟපෑ අතර එය එකල අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් විය. මෙරට ටෙලිවිෂන් නාලිකා මඟින් මුල්වරට දැන්වීම් ප්‍රචාරය කරවන ලද්දේ ද ‘තී’ චිත්‍රපටය වෙනුවෙනි. පසුව ඔහු 'සුර දූතියෝ' චිත්‍රපටය සඳහා ද නිෂ්පාදනයෙන් දායක විය. එයින් පසු රාජා මහේන්ද්‍රන් යළි චිත්‍රපට නිෂ්පාදනයට පිවිසියේ 'ඩාන්සින් ස්ටාර්' චිත්‍රපටය සමඟය. තිරගත වීමට නියමිතව තිබූ මෝටර් බයිසිකල් චිත්‍රපටය තිර ගත කරවමින් එයට දායක වූ ඔහු ධර්ම යුද්ධය, යූ ටර්න්, ගෝල්, උදුම්බරා මෙන්ම ලාංකික දෙමළ චිත්‍රපටයක් වූ කෝමාලි කිං සඳහා ද දායක විය. ගාමිණී ෆොන්සේකාගේ සමීපතම හිතවතෙකු වූ ඒ මහතා ගාමිණී රඟ පෑ බොහෝ චිත්‍රපට එක් රැස් කෙරූවෙකි. ගාමිණී නිර්මාණය කිරිමට සූදානම් වූ 'අතුරු මැතිවරණය' චිත්‍රපටය නිපදවන්නට සැලසුම් කරන ලද්දේ රාජා මහේන්ද්‍රන් විසින්ය. එමෙන්ම මෙරට බොහෝ චිත්‍ර ශිල්පින්ගේ අගනා චිත්‍ර රාශියක් ද ඒ මහතා සතු විය. මිය යන විට ඔහු අලුත් සිංහල චිත්‍රපට දෙකක් සඳහා සැලසුම් කරමින් සිටියේය. චිත්‍රපට කර්මාන්තයට කෙතරම් දායක වුව ද රාජාමහේන්ද්‍රන් මහතා කිසිවිටෙකත් නිෂ්පාදක ලෙසින් සිය නාමය සඳහන් කළේ නැත.

ව්‍යාපාර ලෝකයේ කිලී මහරාජා නම් සුරතල් නාමයකින් හැදින් වුණ ඔහුට එම නම පාසැල් වියේ දී පටබඳීන ලද්දේ රාජකීය විදුහලේ ඔහුගේ පන්ති මිතුරෙකු වූ අභාවප්‍රාප්ත සම්මානනීය සිනමාකරු ටී.අර්ජුන විසින් බැව් පැවසේ.