ලාංකේය සිනමාවේ තවත් ගිනි සිළුවක් නිවී ගියාය

ජූලි 29, 2021
ඡායාරූපය - දයාන් විතාරණ

'සුරතලී' චිත්‍රපටයෙන් සිනමාවට පිවිස මෙරට චිත්‍රපට රාශියක් නර්ථනයෙන් ඔපවත් කළ ප්‍රමිලා කුරුප්පු අභාවප්‍රාප්ත වූවාය. 'චන්ද්‍රලේඛා' නම් ජනප්‍රිය දෙමළ චිත්‍රපටයේ නර්ථන අධ්‍යක්ෂණය කළ ප්‍රවීන නර්ථනවේදිනියක වන නෙරංජලා දේවිගේ දියණියක වන ප්‍රමිලා බොහෝ විට සිනමාවේ කැපී පෙනුණේ දඟකාර කෙළිලොල් බටහිර පන්නයේ තරුණියක ලෙසටය.

සුරතලී චිත්‍රපටයේ ඇය රඟපෑ ක්ලැරිස් නම් චරිතයෙන් ඇය කාගේත් අවධානයට පාත්‍ර වූවාය. සුභද්‍රා, සුහද දිවි පිදුම, දරුවා කගෙද, සසරක හැටි වැනි චිත්‍රපට රැසක චරිත මැවූ ඇය විවාහයෙන් පසු කලක් සිනමාවෙන් ඈත්ව සිටි අතර නැවත රංගනයට පිවිසියේ ආදර රත්නේ චිත්‍රපටයෙනි.

තමාට විරුද්ධව අපහාසාත්මක පුවතක් පළ කිරිමට එරෙහිව නෛතික පියවර ගත් ඇය එසේ කළ මෙරට පළමු රංගන ශිල්පිනිය ද වූවාය. යශෝරාවය, දූදරුවෝ, මැණික් නදිය ගලා බසී, ඉංගම්මාරුව, කන්දේ ගෙදර වැනි ටෙලි නාට්‍ය රැසකටද ඇය රංගනයෙන් දායක වූවාය. ලබන වසරේ ඇය සිය අසූ පස් වැනි ජන්ම දිනය සැමරීමට සූදානම්ව සිටියාය.