දැහැමි චරිතය

සැප්තැම්බර් 23, 2021

මේ දිනවල කන්ගනා රනවුත් ඇගේ නවතම චිත්‍රපටය වූ 'තලෙයිවි' චිත්‍රපටයේ සාර්ථකත්වයේ අත්විඳීමින් සිටී. 'තලෙයිවි' චිත්‍රපටයේ ගෙන එන්නේ අභාවප්‍රාප්ත, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ චරිතාපදානයයි. නුදුරේදී නිර්මාණය කිරීමට නියමිත පුරාවෘත්තයක චරිතයක් වෙනුවෙන් පණ පෙවීමට සූදානම් බව ඇය මෑතකදී නිවේදනය කළාය. එනම් නම් සීතා දේවියගේ චරිතයයි. "මිරිඟුවක් වූ දේ දැන් පැහැදිලි යි. කිසි දිනෙක ගවේෂණය නොකළ දැහැමි චරිතයක් පිළිබඳ සිහිනය දැන් යථාර්තයක් වී ඇත. කන්ගනා රනවුත් ලෙස මම සීතා නම් චරිතය ගෙන ඒමට මහත් සේ සතුටු වෙමි. මේ දැහැමි ගමන අපගේ පුරාවෘත්තය අප දකින ආකාරය වෙනස් කරනු ඇත. ඔබේ අතිමහත් සහයෝගය හා විශ්වාසයට ස්තූතියි" එම නිවේදනයේ සඳහන් වේ.

එම චිත්‍රපටය නම් කර තිබෙන්නේ 'දි ඉන්කානේෂන් - සීතා' නමිනි. එයට අමතරව කන්ගනා 'තේජාස්' වෙනුවෙන්ද රංගන දායකත්වය ලබා දී ඇත. සර්වේෂ් මේවාරා විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටයෙහි කන්ගනා ගුවන් හමුදා නියමුවරියකගේ චරිතය නිරූපණය කරයි. ඇය 'ධකාඩ්' කණ්ඩායම සමඟ පසුගියදා බුඩාපෙස්ට් හිදී චිත්‍රපටයේ ක්‍රියාදාම කාලසටහන අවසන් කළාය.