ඛාන්ලාගේ කෑම

සැප්තැම්බර් 23, 2021

 

මේ වනවිට බොහෝ දෙනෙක් තම තමන් වෙනුවෙන් ආහාර පුරුදු ඇති කරගෙන සිටින අතර සෞඛ්‍ය සම්පන්නව සිරුර පවත්වා ගැනීම වෙනුවෙන් විශේෂ ආහාර රටාවන් අනුගමනය කරන්නෝද වෙති. නළු නිළියන් යනු ඒ අතර විශේෂ වන පිරිසක් වේ. අනිල් කපූර් මෑතකදී ආහාර ප්‍රදර්ශනයකට පෙනී සිටි අතර ඔහු සමඟ ඔහුගේ අමුත්තන් ලෙස ෆාරා ඛාන්, අර්බාස් ඛාන් සහ මහීප් කපූර් ද එයට සහභාගී වූහ. රසවත් කෑම පිළියෙල කෙරෙමින් සිටියදී අනිල් සහ ෆාරා සාකච්ඡාවට ගත්තේ ශාරුක් ඛාන්ගේ සහ සල්මන් ඛාන්ගේ ආහාර පුරුදු ගැනයි.

එහිදී අනිල්, ෆාරා ඛාන්ගෙන් ඉල්ලා සිටියේ ආහාර සමඟ සල්මන් ගැන විස්තරයක් කරන ලෙසයි. ඇය හෙළි කර සිටියේ, සෑම දෙයක්ම කන එකම තරුව ඔහු පමණක් බවයි. තමා ශාරුක් සමඟ වැඩ කළ කාලයේදී හඳුනා ගත්තේ ඔහු ප්‍රිය කරන්නේ තන්දූරි කුකුළු මස් පමණක් බවද ඇය පැවසුවාය. තවද ඔහු බත්, චපාති හෝ පාන් ආහාරයට නොගන්නා බවත් එහිදී හෙළි කළාය.

ප්‍රදර්ශනය අතරතුර, ෆාරා කියා සිටියේ අනිල් කිසිවක් පිසින බව ඇය කිසි දිනෙක දැක නැති හෙයින් තමාගේ බලාපොරොත්තු සුන් වූ බවයි. එයට එකඟ වූ මහීප් හෙළි කළේ, ඇය වසර 26 ක් කපූර් පවුලේ කොටසක් වූ නමුත් ඔහු කිසි විටෙකත් කුස්සියට ඇතුළු වන බව ඇය දැක නැති බවයි. අනිල් මෙම වැඩසටහනේදී ෆාරා, අර්බාස් සහ මහීප් සඳහා විවිධ ආහාර පිළියෙල කළේය.