වර්ෂ 2017 ක්වූ අගෝස්තු 19 වැනිදා සෙනසුරාදා




ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි
පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා
තාරකා -මාලනී අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා
රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ
සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට
සොනාලිගේ සිතුවම් දැක්ම
සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සුභාවිත 17 දා
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් . . .
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ

අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ආනන්ද ගමගේ ගේ සංගීත දිවියට වසර 50 ක් සම්පූර්ණ වේ. ඒ නිමිතිකොට ගෙන ඔහු විසින් රචනා කරන ලද 'මියැසි මතක' ග්‍රන්ථය දොරට වැඩීම සහ ආනන්ද හරසර ප්‍රසාද ප්‍රණාම උලෙළ මෙම මස 03 වැනිදා අද සවස 3.ටට ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

මෙරට ටෙලි නාට්‍ය සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහනක් තැබූ 'අඹ යහළුවෝ' ටෙලි නාට්‍යය සහ එහි සංගීත අධ්‍යක්ෂවරයා වූ ආනන්ද ගමගේ සුවිශේෂී සුසංයෝගයකි. අඹ යහළුවෝ ටෙලි නාට්‍යය වෙනුවෙන් ඔහු නිර්මාණය කළ ගීත ත්‍රිත්වයම අදටත් මෙරට ළමා පරපුර අතර අතිශයින්ම ජනප්‍රියය.

කටු අකුලේ මල් ඇහැරේ

රළු අහසේ තරු හිනැහේ . . .

මේ ආනන්ද ගමගේ ගේ සංගීතයෙන් හැඩ වූවකි.

ආනන්ද ගමගේ කළුතර ප්‍රදේශයේ ජන්මලාභය ලැබූවෙකි. එහෙත් ඔහුගේ පියාත් මවත් පසු කලෙක සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් හලාවත මාදම්පේ ප්‍රදේශයට සංක්‍රමණය වූයේය. එබැවින් ඔහුගේ ළමා කාලය ගෙවී ගියේ මාදම්පේ ප්‍රදේශයේය. ආනන්ද පවුලේ වැඩිමලාය. ඔහුට බාල නංගිලා තුන් දෙනෙක් සහ මල්ලී කෙනෙක් ද විය. මාදම්පේ සුගතානන්ද මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ කුඩා ආනන්ද සිසු අවදියේ සිටම සංගීතයට වැඩි නැඹුරුවක් දැක්වීය. පාසල් මට්ටමින් පවා යම් යම් ප්‍රසංග හා තරග සඳහා ඔහු ඉදිරිපත් වූයේ ඉමහත් ආශාවකිනි. ආනන්ද ගමගේ ගායන විෂය කෙරේ දැක් වූ උනන්දුව නිසා එකල බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ සංගීත පන්තියක් පවත්වාගෙන ගිය ඩබ්ලිව්. එෆ්. විමලසිරි ගුරුවරයාගෙන් ශාස්ත්‍රීය ගායනය ඉගෙන ගන්නට මාදම්පේ සිට බොරැල්ලට පැමිණියේය. ඒ අතරම ඔහු මාදම්පේ සිටි දක්ෂ වයලීන් වාදකයෙකු වූ එලාරිස් වර්ණකුලසූරියගෙන් වයලීන් වාදනය ඉගෙන ගත්තේය.

එලාරිස් වර්ණකුලසූරිය යනු එවකට ගුවන් විදුලියේ සරල ගී ගායකයෙකි. ඒ අතරම ඔහු විවිධ උත්සව අවස්ථා සඳහා වයලීන් වාදකයකු වශයෙන් සම්බන්ධ විය. ඔහුගේ මාර්ගයෙන් ආනන්ද ද කුඩා කුඩා සංගීත ප්‍රසංග සඳහා වයලීන් වාදකයකු වශයෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලද්දේය. ඒ අතරින් පල්ලියේ පූජාවට වයලීන් ගැසීමට ආනන්දට ලැබුණු අවස්ථාව සුවිශේෂී විය. දේවස්ථාන සංගීතය ආනන්දගේ ජීවිතය සුවිශේෂී වෙනසකට බඳුන් කළේය.

'දේවස්ථාන සංගීතය මට හුඟාක් රහ වැටුණා. ඊට පස්සේ මම මාරවිල හිටපු ජේ. කේ. එස්. පෙරේරා නම් ප්‍රසිද්ධ ගුරුවරයා ළඟට ගියා. ඔහු කතෝලික ගීත සාහිත්‍යයට ලොකු මෙහෙයක් කරපු කෙනෙක්. 'ඔබට විශේෂ ගී' කියලා පල්ලියේ පූජාවල කියන ගීතිකා බටහිර ප්‍රස්තාර ගත කළේත් ඔහු. ඔහු පාස්කු නාට්‍ය කෙරෙහිත් වැඩි අවධානයකින් කටයුතු කළ අයෙක්. සාමාන්‍යයෙන් අපි දන්නා දූවේ පාස්කු වලට වඩා වෙනස් නාට්‍ය ක්‍රමයක් ඔහු හඳුන්වා දුන්නා 'ගොල්ගොනා' කියලා. මම ඒවායේ වයලීන් වාදනය කළා. ඔහු නිර්මාණ දායකත්වය දුන්න බොහෝ දේවල්වලට මාවත් සම්බන්ධ කර ගත්තා.

ආනන්ද ගමගේ විවිධ නිර්මාණ කටයුතු සඳහා හඳුන්වා දුන්නේ ඔහුගේ ගුරුවරයකු වූ එලාරිස් වර්ණකුලසූරිය විසිනි. එයින් කිසියම් මුදලක් ද ඔහුගේ අතට ලැබිණි. එකල ඔහු සමඟ ප්‍රියා සූරියසේන ද එකට ඉගෙන ගත්තේය. ගාන්ධර්ව ප්‍රථම, මධ්‍යම, අවසාන විභාග සඳහා ඔවුන් දෙදෙනාම ඉදිරිපත් වූයේ එකටය. ආනන්ද ඉස් ඉස්සරලාම සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ වේදිකා නාට්‍යයක සංගීත නිර්මාණය කිරීමෙනි.

'මම ඉස්සරලම සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණේ 1972 දී. 'හිම කබාය' කියන වේදිකා නාටකයට සංගීතය නිර්මාණය කරමින්. ඊට පස්සේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරගේ 'පෙරහැර' කියන වේදිකා නාට්‍යයට සංගීත නිර්මාණය කළා. ඒකේ රඟපෑවේ විමල් කුමාර ද කොස්තා. ඒ කාලේ ඒක හරියට ජනප්‍රිය වුණා. 1975 දී මට ගුරු පත්විමක් ලැබුණා ගල්මුරුව මහා විද්‍යාලයට. දැන් ඒක හඳුන්වන්නේ ගල්මුරුව හේරත් ගුණරත්න මහා විද්‍යාලය කියලා. ඒ ඉස්කෝලේ පළවෙනි සංගීත ගුරුවරයා මම. ප්‍රියා සූරියසේනටත් මාත් එක්කම ගුරු පත්වීමක් ලැබුණා කටුනේරියට. ඒ දවස්වල අපි දෙන්නම උත්සාහ කළේ කොළඹට මාරුවක් ගන්න. ඒත් 1977 මහ මැතිවරණයෙන් පස්සේ දඬුවම් මාරුවක් විදියට මාව අනුරාධපුරයේ රත්මලේ තිස්ස මහා විද්‍යාලයට මාරු කළා. මට මතකයි මම දඬුවම් ලබලා තිස්ස මහා විද්‍යාලයට යනකොට සරත් දසනායක දඬුවම් ඉවර වෙලා ඒ ඉස්කෝලෙන් කොළඹට ආවා.'

ආනන්ද දඬුවම් මාරු ලබා අනුරාධපුරයට ගියේ සිතේ වේදනාවෙන් වුව ද එහි ගිය පසු ඒ දඬුවම සුන්දර කර ගැනීමට හේතු ඔහුට එහි ඕනෑ තරම් විය. එකල අනුරාධපුරයේ මධ්‍යස්ථාන කොට ගනිමින් ඇරඹි කලා සංවිධාන දෙකක් විය. එකක් 'නිර්මාණ සේනා' නම් වූ අතර අනෙක 'ජන නළු කැල' විය. නිර්මාණ සේනා කණ්ඩායම රෝහණ දන්දෙනිය, සුසිල් ගුණරත්න, භද්‍රා නන්දනී, උපාලි ජයලත් ඇතුළු පිරිසක් එක් වී සිටියහ. ජන නළු කැල සංවිධානය සඳහා මහින්ද පතිරගේ, සේන නානායක්කාර, සුනන්ද සිල්වා, උපාලි බණ්ඩාර වීරසේකර, කුමුදුනී ගුණවර්ධන වැනි පිරිසක් එක් වී සිටියා. මෙ දෙපාර්ශවයම ටික කලකින් ආනන්දගේ මිතුරන් බවට පත් විය. එකල කුමුදුනි ගුණවර්ධන කළ ඒක පුද්ගල ප්‍රසංගය සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ආනන්දය. මේ පිරිසත් සමඟ එක්ව නිර්මාණ කාර්යයේ යෙදුණු ආනන්දගේ හිත් පීඩා නොබෝ කලකින්ම තුරන් වී ගියේය.

'ඊට පස්සේ මම දිගින් දිගටම වේදිකා නාට්‍ය සදහා සංගීත නිර්මාණයෙන් දායක වුණා. සුනිල් හොරේෂස් කරපු 'ඇගේ නම රතී' වේදිකා නාට්‍යයට කෝරස් කියන්න අපි හේවුඩ් එකේ ඉගෙන ගන්න තරුණ ළමයෙක් ගෙනාවා. එයා තමයි එඩ්වඩ් ජයකොඩි. ඊට පස්සේ දයාරත්න රටගෙදර කරපු 'ගරුලිසී' වේදිකා නාට්‍යයේ සංගීතය නිර්මාණය කළා. දර්ශන වාර 70 - 80 ක් විතර අපි ඒක කළා. එතැනදි තමයි ඉස්සරල මට ක්ලැරන්ස් විජේවර්ධන මුණ ගැසෙන්නේ. ඔහු මට කිව්වා අලුුතින් කැසට් නිෂ්පාදන ආයතනයක් පටන් ගන්නවා. ඒකට සම්බන්ධ වෙන්න එන්න කියලා ආරාධන කළා. මම රැකියාවෙන් අයින් වෙලා ඒකට සම්බන්ධ වෙන්න ඉන්න කොට ක්ලැරන්ස් ඒකෙන් අයින් වුණා.

ක්ලැරන්ස්ගේ ඉවත්වීමත් සමඟම ආනන්ද ද සිය සුපුරුදු ගුරු වෘත්තියේම රැඳී සිටි අතර පසුව ඔහු ගිරාගම ගුරු විද්‍යාලයට ඇතුළත් විය. ඒ කාලය ඇතුළත ඔහු සිය පළමු කැසට් පටයට සංගීත නිර්මාණය කළේය. ඒ සම්පත් තෙන්නකෝන්ගේ 'රත්තරන් හෙලේනා'ය. ගිරාගම ගුරු විද්‍යාලයෙන් සමත් වී ආනන්ද කොළඹ නාලන්දා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙසින් පත්ව එන්නේය. ඒ 1983 දීය. මේ කාලය තුළ ජැක්සන් ඇන්තනි හඳුනා ගන්නා ඔහු ජැක්සන් විසින් පිටපත රචනා කළ 'මල් වාගේ පුංචි ළමයි' ඒකාංගික ටෙලි නාට්‍යයේ සංගීතය නිර්මාණය කරන්නේය. ඒ අතරම ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට ද බැඳුණේය.

'තාර පාර දිග - පාට පාට කඩ

සල්පිල් හෙවනැල්ලේ . . .

විශාරද මාලිනී බුලත්සිංහල ගයන මෙම ගීතයේ සංගීත නිර්මාණකරු වන්නේ ද ආනන්දය. ගුවන් විදුලි වාදක මණ්ඩලයට බැඳුණු පසු ඔහු විවිධ ගායක ගායිකාවන්ගේ ගීත සඳහා සංගීත නිර්මාණය කිරීමට අවස්ථාව සැලසිණ. පුන්සිරි සොයිසා ගායනා කරන 'එකම මඟක පියවර මැන යන්නයි' ගීතයේ ගී තනු නිර්මාණය ද ඔහුගේය. මේ අතරම රූපවාහිනී වැඩසටහන් සඳහා සංගීත නිර්මාණයට ද ඔහුට අවස්ථාව හිමි විය. ශ්‍රීමති ලියනගේ නිෂ්පාදනය කළ 'පිය සටහන්' කතන්දර පිටුව වැනි වැඩ සටහන් ඒ අතර විය.

'රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වෙත්දී සුදත් දේවප්‍රිය තමයි ඒ වැඩසටහන්වල සහාය නිෂ්පාදකවරයා විදියට වැඩ කළේ. ඔහු අඹ යහළුවෝ ටෙලි නාට්‍යය කරත්දී සංගීත නිර්මාණය කරන්න මට ආරාධනා කළා. මගේ ටෙලි නාට්‍ය සංගීත දිවියේ සුවිශේෂී සංධිස්ථානය තමයි 'අඹ යාළුවෝ'. ඉන් පස්සේ මේ වෙන කොට ටෙලි නාට්‍ය එකසිය පණහක් සංගීත අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. චිත්‍රපට නම් දෙකක විතරයි සංගීත අධ්‍යක්ෂණය කළේ. ඒ ප්‍රියන්ත කොළඹගේ 'දැහැන' සහ සුමිත් කුමාරගේ 'කුරුලු පිහාටු'.