මියන්මාරයේ බොදු පුදබිම් කරා

නොවැම්බර් 1, 2018

ධර්මදාස පණ්ඩිතරත්න රචනා කරන ලද නවතම කෘතිය සුන්දර මියන්මාරයේ රමණීය බොදු පුද බිමයි.

යක්කල විශ්ව පොත් මැදුර සහ ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම කෘතිය පසුගිය දින ජනගත කෙරිණි.

මියන්මාරයේ සිදු කළ සංචාරයකින් අනතුරුව මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර යැන්ගොන්, බාගෝ, මැන්ඩලේ, ක්වයිටියෝ, නෙපිඩෝ, බැගෑන්, පින්ඩයා යන නගරවල බොදු පුදබිම්වල තොරතුරු මෙම කෘතියට ඇතුළත්ය.


රතු දත්ත පොතේ සතුන් හා ශාක

සුජීව නිශාන්ත ජෝශප්ගේ නවතම කෘති දෙකක් පසුගිය දින එළි දැක්විණි. ඒ 'වඳවීයාමේ අවදානමක් ඇති ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සහ ලෝකයේ වඳ වී යාමේ අවදානමක් ඇති ශාක' යන ග්‍රන්ථ දෙකයි.


රැජනගේ නෑයන්ගේ ඉරණම

1815 වසරේ පෙබරවාරි මස මැද භාගයේ දවසක ලක්දිව අවසන් රජු පලා යන්නේ ඉංග්‍රීසින් තම මාලිගය වට කරමින් සිටි මොහොතේය. රජුගේ අග මෙහෙසිය වූ වෙන්කත රෙංග ජෙම්මාල් බිසව කරකියාගත හැකි දෙයක් නොවූ තැන මලබාර් වීදියේ ජීවත් වූ තම ඥාති පිරිස රැක බලා ගන්නැයි භාර දෙන්නේ ඒ අවස්ථාවේ මාලිගයේ කිලිටි වස්ත්‍ර ගෙන යාමට පැමිණ සිටි සිංහල මිනිසුන් කිහිප දෙනෙකුටය. කිලිටි සේදූ ජන කොටසේ රැකවරණය මැද රහසිගතව ජීවත් වූ මෙම මලබාර් ඥාතීන්ගේ ඉරණම කුමක් වීදැයි 'මලබාර් නෑයෝ' කෘතියෙන් ගෙනහැර දක්වයි.

මෙම කෘතිය 2018 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන දෙවැනි වටය සඳහා නිර්දේශිත වූ අවසාන නින්දගම ඇතුළු නවකතා රැසක් රචනා කළ ප්‍රවීණ ලේඛක හා මාධ්‍යවේදී ප්‍රේමකීර්ති රණතුංග මහතා ලියූ අලුත්ම නවකතාව 'මලබාර් නෑයෝ' පසුගියදා කොළඹ මරදානේ, පුජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්නාගාරයේදී ජනගත කෙරිණි.


මානව රූ ඇඳීම

චිත්‍ර කලා ගුරු උපදේශිකා සන්ධ්‍යා තේනුවරගේ නවතම ග්‍රන්ථය 'ඉංග්‍රීසි අක්ෂර භාවිතයෙන් මිනිස් රූ හැඩ ඇඳීමේ හැකියා වර්ධනය' මානව රූ කෘතිය ඇඳීමේ කෘතිය පසුගිය දින ජනගත කෙරිණි.


තැටියක් සමඟ පොතක්

6 වසරේ සිට 11 වසර දක්වා 'ප්‍රස්ථාර සහිත උඩරට වන්නම්' නමින් කෘති සම්පාදනය කළ තිළිණි රණසිංහගේ නවතම කෘතිය පසුගිය දින එළිදැක්විණි. ප්‍රායෝගික කොටස් ඇතුළත් ඩී. වී. ඩී. තැටියක් සමඟ උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්වල විෂය නිර්දේශයට අදාළ ප්‍රායෝගික කොටස් ඇතුළත් ඩී. වී. ඩී. තැටියක් ඇයගේ නවතම කෘතිය වන 'නව විෂය නිර්දේශයට අදාළ 7 වන ශ්‍රේණියේ නර්තනය' කෘතිය සමඟ පාඨකයන්ට නොමිලේ ලබා දෙනු ඇත.


කුසුම්සිරිගෙන් ෆැන්ටසියාව 6 වැනිදා

පුරාවිද්‍යා ශාස්ත්‍රපති කුසුම්සිරි විජයවර්ධන මහතා ලියූ අලුත්ම නවකතාව 'ෆැන්ටසියාව' එළඹෙන 06 වැනිදා අඟහරුවාදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී ජනගත කෙරේ.


වැදි ජනයාගේ තුන්කල් යුගය

පුවත්පත් ලිපි රචිකාවියක් හා කෙටි කතා, කාව්‍ය, ළමා හා නවකතා ග්‍රන්ථ රැසක් රචනා කළ රම්‍යා බස්නායකගේ නවතම කෘතිය 'වැදි ජනයා එදා අද සහ හෙට' යන නමින් පසුගියදා එළි දක්විණි. ආදිවාසී ජනයා සම්බන්ධයෙන් දිගු කලක සිට පර්යේෂණයේ නියැලි ඇය ආදිවාසීන් සම්බන්ධයෙන්, ආදීවාසී සමාජය, හෙන්නානිගල වැද්දෝ කෘති එළි දැක්වීමෙන් පසු මෙම නවතම කෘතිය එළිදක්වා ඇත. ආදිවාසී ජනයාගේ වර්තමාන තත්ත්වය සහ ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් කරුණු මෙහි අනාවරණය කර ඇත.