බූරු ඇඳක් අද්භූත දැක්මක්

නොවැම්බර් 8, 2018

මෙරට දී මුල් වරට චිත්‍රපටයක් තිර ගත වීම පිළිබද ඇති සටහන් කිහිපයකම ඇත්තේ පරස්පර විරෝධි සටහන්ය. ඩී.වී.සෙනෙවිරත්න විසින් සිය චිත්‍රපට කලාව ග්‍රන්ථයේ සඳහන් කරන 1901 යන්න එහි මුල් සටහනයි.මේ මතය පසුකලක බොහෝ ලිපි සදහා මූලාශ්‍ර කොට ගන්නා බව පෙනෙන්නකි.මෙරට ජීවත් වූ පැරණිතම සිනමා ලේඛකයෙකු මෙන්ම පුරෝගාමි මෙහෙවරක යෙදුණ සෙනෙවිරත්නයන් ගේ අත්දැකීම් විශාලය.තවත් මතයක ඇත්තේ එය 1903 වසර බවය.1901 වසරේ මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබඳ පවසන සටහන් වල ඇත්තේ එය මුල්වරට තිර ගත කරන ලද්දේ දියතලාවේ පැවැති යුධ කඳවුරේ යන්නය.මේ චිත්‍රපට ප්‍රදර්ශණය පවත්වා ඇත්තේ එවකට එහි සිරකර සිටි බෝයර් සිරකරුවන් සඳහාය.බෝයර් වරු ජීවත්වුයේ දකුණු අප්‍රිකාවේය.අප්‍රිකාව බ්‍රිතාන්‍ය කොළණියක් වන්නට පෙරාතුව එය අත්පත් කර ගෙන සිටි ඕලන්ද,ජර්මානු හා ස්වීඩන ජාතින් පසුකලක බෝයර් වරුන් ලෙස හැඳීන්වූහ.ඔවුන් අප්‍රිකාවේ පදිංචියට ආවේ බ්‍රිතාන්‍යන් එහි පැමිණෙන්නට පෙරාතුවය.

එනම් 1600 වසරේ පමණය. පසුව 1806 වසරේ දී දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ පසු සෙසු සුදු ජාතිකයන් මැඩ ලන ලද්දේ ඔවුන් ප්‍රාන්තයන්ට සීමා කරමිනි.එයින් ප සු දෙවරක්ම සුද්දන් අතර සුළු ජන කොට්ඨාසයක් බවට පත් වූ බෝයර් වරු දෙවරක්ම ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කළහ.දෙවැනි වර බෝයර් සටන පැවැත්වූයේ 1899 වසරේ සිට 1902 දක්වාය.එම සටන බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පරද වන ලද්දේ ඉතා තිරශ්චීන ආකාරයටය.දහස් ගණනින් බෝයර් වරු මරා දමනු ලැබිණ.යටත් වූ ඇතැම් බෝයර් වරු කිරීටයේ ඇතැම් රාජ්‍යයන් වෙත සිර කරුවන් ලෙස ගෙන යන ලදී.මෙලෙස ලංකාවට ගෙන ආ පිරිස පන් දහසක් පමණ විය.ඔවුන් දියතලාවේ මෙන්ම ඇල්පිටියේ ඌර ගස් මංහන්දිය,ගල්කිස්ස,රාගම, සහ හම්බන්තොට ද යුද සිරකරුවන් ලෙස රඳවන ලදී.බෝයර් යුද්ධය 1902 වසරේ දී නිම වූ අතර එයින් පසු ඔවුන් යළි අරගල නොකරන කොන්දේසිය මත ආපසු සිය රට වෙත ගෙන ගියහ.බ්‍රිතාන්‍ය කිරිටයේ අණ බාර ගැන්මට අකමැති වූ බෝයර් වරුන් පස් දෙනෙකු හැර සෙස්සෝ සිය මව්රට ගියහ.බෝයර් වරුන් සිර ගත කොට තැබූ මෙම තෙවසර ඇතුළත අපේ සමාජයට කාරණා කිහිපයක් එකතු විය.එයින් එක් කාරණයක් වූයේ ඔවුන් වෙනුවෙන් දියතලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය වීමය.

චිත්‍රපට නැරඹීමේ අවස්ථාව ලැබුණේ සිරකරුවන් අතරින් දියතලාවේ සිරකරුවන්ට පමණක් ද යන කාරණය මෙහිදි පැන නගියි. මේ චිත්‍රපට දැක්ම පවත්වා ඇත්තේ එවකට කොළඹ ඡායාරූප ශිල්පියෙකු වූ ඒ.ඩබ්ලිව්.ඇන්ඩෘ විසිනි.1880 වසරේ මෙරට ඇරඹි ඇමේචර් ෆොටෝග්‍රැෆික් සොසයිටි සාමාජිකයකු වන ඇන්ඩෘ සතුව කොළඹ යූනියන් පෙදෙසේ අංක 40 දරන තැන හෝප්ටන් ස්ටුඩියෝ නමින් ඡායාරූපාගාරයක් ද විය.ඇන්ඩෘ ගේ ඡායාරූප කලාව හරහා අත් පොත් තැබූවකු වනුයේ විසි වන සියවසේ මෙරට කලාවන් උදෙසා විශිෂ්ට සේවාවක් කළ ලයනල් වෙන්ඩ්ට් ය.(ඇන්ඩෘ පිළිබද තවත් තොරතුරු මතු බලාපොරොත්තුවන්න) බෝයර්වරුන් විසින් මෙරට ට ඉතිරි කළ සෙසු දායාදයන්අතරින් එකක් වනුයේ හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් පිළිබඳ පුරාවෘත්තාන්තයයි.සෙසු බෝයර්වරුන් මෙන් එංගලන්තයේ කොන්දේසි සහිත සමාව පිළිගැන්මට අකමැති වූ එංගල්බ්‍රෙෂ්ට් හම්බන්තොට ට වී දුක්ඛිත ව කාලය ගත කළේය.පසු කලක යාල වනෝද්‍යානයේ මුල්ම පාලකවරයා ද වූයේ එංගල්බ්‍රෙෂ්ට්ය.

ඔහුගේ ජීවන පුවත සුප්‍රකට ලේඛක කපිල කුමාර කාලිංග විසින් වනබිමේ සිරකරු නමින් එළි දක්වන ලදී.එය පසුව ටෙලි වෘතාන්තයක් බවට ද පත්විය.එමෙන්ම සුප්‍රකට ඉතිහාසඥයකු ලේඛකයකු හා මිනින්දෝරුවක ව සිටි ආර්.එල්.බ්‍රෝහියර් ද සිය seeing ceylon  ග්‍රන්ථයේ ද බ්‍රෝහියර් ගැන පරිච්ඡේදයක්ම වෙන් කරයි. බෝයර්වරුන් අතින් ලාංකික සමාජයට ලැබුණු අනිත් කාරණය නම් පහසුවෙන් ඇකිලිය හැකි බූරු ඇඳය.ගෝනි දෙකක් එක් කොට ඕනෑම තැනක තබා ගත හැකි ඇඳ මෙරට ගම් නියම්ගම් පුරා පැතිරුණේ බෝයර් සිරකරුවන් හරහාය.බෝයර් වරුන්ගේ බෝයර් ඇඳ සිංහල ජනවහරේ දී වඩා පහසු ලෙස බූරු ඇඳ ලෙසට පරිවර්තනය විය.

බෝයර්වරුන් විසින් බූරු ඇඳමත වාඩි වී චිත්‍රපට නරඹන්නට පෙරාතුව මෙරට චිත්‍රපට දැක්මක් සිදුවූ ආකාරය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධම්මික දිසානයක ගෙන හැර පාන්නේ සාධක සහිතවය.ඒ එකල පළ වූ දිනපතා ප්‍රවෘත්ති පුවත්පතේ 1898 ජනවාරි 8 වැනි දින සඳහන් වනුයේ සිනෙමටෝග්‍රාෆ් නම් යන්ත්‍රය භාවිතා කරමින් පවත් වනු ලබන චලන චිත්‍ර දැක්ම ගැනය.දැන්වීමට අනුව ඇඩිව්න් ග්‍රිච් මහතාගේ නිගමනය පිට මෙම චලන චිත්‍ර දැක්ම පවත්වනුයේ කාල් හර්ට්ස් විසිනි.කාල් හර්ට්ස් 1859 වසරේ දී සැන් ෆ්‍රැන්සිස්කකො නගරයේ ලුවී මෝගන්ස්ටයින් නමින් උපත ලබන්නෙකි. ඔහු පසුකලක මැජික් ශිල්පියේ කෙළ පැමිණියෙකු වනුයේ කාල් හර්ට්ස් නමිනි.ලෝක සිනමාවේ පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ ප්‍රංශයේ ජෝර්ජ් මේලියර් මෙන්ම හර්ට්ස් ද මැජික් ශිල්පියකු විය.ඔහු ද මේලියර් මෙන්ම සිය දර්ශන අතරතුර මැජික් දර්ශන පෙන්වීය.1898 ජනවාරි 8 වැනි දින දිනපතා ප්‍රවෘත්ති පත්‍රය පළ කරන දැන්වීමේ සඳහන් වනුයේ ද එම කරුණමය.කොළඹ හුනුපිටියේ පබ්ලික් හෝල් නම් ශාලාවේ දී ලෝක ප්‍රසිද්ධ විජ්ජාකාර කාර්ල් හර්ට්ස් මහතා විසින් ඉදිරිපත් කරන ලද ඉතා අද්භූත දේවල් දැක්මට ජල ගැල්මෙන් පසු නෝවාගේ නැව ඉතා පුදුමාකාරයට දැක්වීම,ග්‍රීක් ඔත්තු කාරයන්ගෙකු වෙතින් වෙඩි තැබීම,තුර්ක යුද නැව, ආදි දර්ශන පෙළක් ඇතුළත් බවත් ඒවා සිනෙමැටෝග්‍රාෆ් යන්ත්‍රයෙන් පෙන්වන බවට එම දැන්වීම මගින් කියා තිබිණ.

එමෙන්ම ජනවාරි මස 10 වැනි දින එම පුවත්පතේ වාර්තාකරුවෙකු විසින් සපයනු ලබන සටහනක් පළවෙයි.එහි දී සිනෙමටෝග්‍රාෆ් යන්ත්‍රෙයන් ග්‍රීක තුර්කි යුද්ධය,පර්සිකාරයෙක් අමනුෂ්‍යයන්ට භයවීම. ඉතාම මවිතාකාරව පෙන්වූ වග සදහන් කරයි.එමෙන්ම අශ්ව හමුදා,පාබල හමුදා,මහා රාජිනියන්ගේ රථය පිරිවරා යන ආරක්ෂාකාර හමුදා,බෑන්ඩ් හමුදා,රජ සිටු ඇමැති පවුල් දහස් ගණනින් පුදුම සැරසිලි එංගලන්තයට ගොස් බැලුවා මෙන් දැකීමට තිබුණා බව එහි සදහන් වෙයි.එමෙන්ම මේ දැක්වීම පමණක් බැලීමට රුපියල් සියයක් දුන්නත් කිසි කනගාටුවක් නැති වග එහි වාර්තාකරු සටහන් කර තිබිණ. එය නැරඹීමට සිංහල පවුල් දෙක තුනකට වඩා නොසිටීම ගැන කනගාටුවන අදාළ ලේඛකයා එමගින් නොයෙක් රටවල පවතින සිරිත් විරිත් ආදිය දැන ගැනීමෙන් මහත් ප්‍රෙයාජනයක් අත් පත් කර ගති හැකි වග ද එහි සඳහන් කරන්නේය.

කාල් හර්ට්ස් මුල් වරට චලන චිත්‍ර දැක්වීමක යෙදෙන්නේ 1892 වසෙර්ය.එවර ඔහු අමෙරිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරනුයේ ආර්.එම්.එස් (අධරචත ථචඪත ඵඩඪන) නෝමන් නෞකාවෙනි.එහිදී ඔහු සිනෙමටෝග්‍රාෆ් යන්ත්‍රයට පෙරාතුව රොබට් ඩබ්ලිව්.පෝල් නිපද වූ තියටොග්‍රාෆ් යන්ත්‍රය උපයෝගි කොට ගෙන චලන චිත්‍ර දක්වා ඇත.ඔහු සිනෙමටෝග්‍රාෆ් යන්ත්‍රයෙන් චලන චිත්‍ර දැක්වීමට එක්වනුයේ එයින් පසුවය.මේ ගමනේ දී දකුණු අප්‍රිකාව.චීනය,‍ශ්‍රී ලංකාව,ජපානය ෆීජි දූපත් වල ද චලන චිත්‍ර දර්ශනයන් පැවැත්වීමට හර්ට්ස් සමත් වි තිබිණ.හර්ට්ස් ගේ චලන චිත්‍රයට වසඟවූවන් අතර ඉන්දියනු සිනමාවේ පියාණන් වන දාදා සහාබ් පාල්කේ ද සිටි වග පාල්කේ ගේ ජීවිත කතාව ඇතළත් ද සයිලන්ට් ෆිල්ම් ග්‍රන්ථයේ සඳහන් වෙයි.

හර්ට්ස්ගේ ලාංකික චිත්‍රපට දැක්ම පැවත්වූ හුණුපිටියේ පබ්ලික් හෝල් අපේ සිනමාවේ වැදගත් තැනකි.මුල්ම ලාංකික වේදිකා නාට්‍ය වූ බැස්ටියන් ජයවීරගේ රොලිනා නාට්‍ය රඟ දැක්වූ කයිසර් වීදියේ අංක 51 දරන තැන මෙන්ම වැදගත්ය.එමෙන්ම ධම්මික දිසානායක සිය පර්යේෂණයේ දී තවත් වැදගත් කරුණක් හෙළිදරව් කරයි.ඒ ඉන්දියාවට ලුමියර් ගේ චලන චිත්‍රය හඳුන්වා දුන් මොරිස් සෙස්ටිසර් පිළිබදවය.සිනෙමටෝග්‍රාෆ් යන්ත්‍රෙය් නිල වෙළඳාමේ යෙදෙන සෙස්ට්සර් ප්‍රංශයේ සිට ඕස්ට්‍රේලියාවට යන අතරතුර ඉන්දියාවේ සිනමාව ස්ථාපිත කළ ආකාරයටම ලංකාවට ද පැමිණි වගය.ඕස්ට්‍රේලියාවේ ද සිඩ්නි හෙරල්ඩ් පුවත්පතේ 1898 සැප්තැම්බර් 17 වැනි දින හතරවන පිටුවේ ඇති නාවික ගමන් පිළිබඳ සටහනේ පරිදි මොරිස් හා ඔහුගේ භාර්යාව මාරි ලුයිස් සිඩ්නි බලා එන්නේ බොම්බායේ සිට නොව කොළඹ සිටය.1896 ජූනි මස 11 වැනි දින ප්‍රංශයේ මාසෙල්ස් වරායෙන් නැව් නගින සෙස්ටිසර් ජූනි මස 30 වැනි දින බොම්බායට පැමිණෙයි.බොම්බායේ චලන චිත්‍ර දැක්ම ආරම්භ කරනුයේ ජූලි මස 7 වැනි දිනය.ඔවුනගේ මුල් ඉලක්කය වූයේ ඕස්ට්‍රේලියාව ට පැමිණීම බවත් බොම්බායේ නවාතැන් ගනුයේ කාලගුණය අයහපත්වීම නිසා නාවික ගමනට අවහිර වීම නිසා බවත් ඉන්දියානු සිනමා ඉතිහාසයේ සඳහන් කරුණකි.

එහෙත් ඉන්දියාවේ චිත්‍රපට දැක්ම සාර්ථක වීමත් සමග ඕස්ට්‍රේලියානු ගමන කල් දමන ඔවුන් එහි සති පහක කාලයක් එනම් අගෝස්තු මාසයේ 16 වැනි දින දක්වා බොම්බායේ වොට්සන් හෝටලයේ පළමුව ද නවල්ටි රඟහලේ දෙවැනිව ද චිත්‍රපට ප්‍රදර්ශණය කරති.ඔහු ලංකාවට පැමිණෙන්නේ එයින් පසුවය.සෙස්ටිසර් ගේ අරමුණ චලන චිත්‍රය ව්‍යාප්ත කිරීම බැවින් ඔහු කොළඹ දී ද සිය ව්‍යාප්තිය ඉටු කළ යුතුය.ඒ වන විට කොළඹ එබඳු ව්‍යාපාරයකට බෙහෙවින් ඉඩ කඩ තිබුණ වග පැහැදිලිය.ඔහු ලංකාවෙන් පිටත්ව යන්නේ එයින් පසුවය.එබැවින් මේ කාලය ඇතුළත ලංකාවේ දී ද සෙස්ටිසර් සිය චිත්‍රපට ප්‍රදර්ශනය නොකළේ යැයි සිතීම අපහසුය.එය සැලකීමේ දී හර්ට්ස්ට පළමුව සෙස්ටිසර් මෙරට දී චලන චිත්‍ර දැක්මක් පවත්වා ඇති වග අනුමාන කිරීම යුක්ති සහගතය.1898 ජනවාරි 8 වැනි දින අපේ සිනමා ඉතිහාසයේ වැදගත් දිනයක් වනුයේ හර්ට්ස් මුල් වරට චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සදහා තැබීමේ සාධක සහිත දිනය හෙයින්ය. මේ සමග අවධානයට පාත්‍ර වන කරුණ නම් සිනෙමටෝග්‍රාෆ් යන්තුයට පෙරාතුව පැවැති චලන චිත්‍ර මෙරට රසිකයන්ට අත් විඳීන්නට නොහැකි වීද යන්නය.ලුමියෙර්ලාගේ සිනෙමටෝග්‍රාෆ් යනු වසර ගණනාවක් මුළුල්ලේ එකිනෙකා අත වැඩි දියුණු වූ ප්‍රක්ෂේපණ යන්ත්‍රයකි.එබැවින් චලන චිත්‍රයේ ප්‍රාථමික අවධියේ රූප දර්ශන මෙරට ප්‍රේක්ෂකයන් දැක ගත් අයුරු මීළඟට විමසා බැලිය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.