වැවුරුකන්නල මැජික් ලන්තෑරුම

නොවැම්බර් 15, 2018

මාතර සිට බෙලිඅත්ත පාරේ කිලෝමීටර් 22 ක් යන විට හමුවන වැවුරුකන්නල විහාරස්ථානය මෙරට මෙන්ම විදේශිකයන්ගේ ද අවධානයට පාත්‍ර වූ බෞද්ධ සිද්ධස්ථානයකි.ඒ එහි ඇති අඩි 160 ක් උස බුදු පිළිමය හා එහි ඇති අපාය විදහා දක්වන ප්‍රතිමා ගෘහය ත් සමගය.මේ විහාරස්ථානයේ ඇති අගනා වස්තු අතර අපේ සිනමා වංශයේ අමතක නොකළ යුත භාණ්ඩයක් ද ඇති වග බොහෝ දෙනා නොදන්නා කරුණකි.ඒ එහි ඇති මැජික් ලන්තෑරුමයි.මැජික් ලන්තෑරුම ලොව කල එළි බසින්නේ 17 වන සියවසේ මැද භාගයේය.එය විසි වන සියවසේදී පවා විවිධ අධ්‍යාපන කටයුතු සදහා භාවිතා කෙරින.වීදුරු වල අදින ලද චිත්‍ර හා ඡායාරූප එමගින් ප්‍රක්ෂේපණය කෙරිණ.වර්තමානයේ ස්ලයිඩ් ප්‍රොජෙක්ටරය දක්වා දුව යන්නේ එහි කතාවය. සිනමා ප්‍රක්ෂේපණයේ මුල් පියවරක් සේ සැලකිය යුතු මේ මැජික් ලන්තෑරුම වැවුරුකන්නල පන්සලට පැමිණයේ කොහොමද ?අපේ සිනමා ඉතිහාසයේ ආරම්භක යුගය සොයා යන අප.වැවුරු කන්නල පන්සලට ද එළැඹිය යුතුය.මේ දික්වැල්ල ලේක් හවුස් වාර්තාකරු ජී.සිරිසේන මහතා වැවුරුකන්නල මැජික් ලන්තෑරුම පිළබද පළ කළ කරුණුය..

වැවුරුකන්නල යන නම කියූ පමණින් එය දෙස් විදෙස්හි පතල මහා පින් බිමක් ලෙසට වත්මන්හි ජනතාව දැන සිටින නමුත් එම පින්බිම ආරම්භ කළ වකවානුව වූ (ක්‍රි. ව. 1899 - 1914) කාලයේ අඩු තරමින් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවවත් හරි හැටි දැන සිටියාදැයි සැක සහිතය.

දික්වැල්ල (සියඹලාගස් වැව) ඉවුරේ වූ දර්ශනීය කුඩා කඳුවැටිය ඉස්මත්තේ වූ විහාරස්ථානයේ වැඩ විසූ අති පූජ්‍ය බජ්ජම සිරි සද්ධාතිස්ස නා හිමියන් විසින් ඉදි කර වූ විස්මජනනක විහාර මන්දිරය හඳුන්වන ලද්දේ 'සුජත කත්ත පටිමාලය' ලෙසය.

එම විහාර මන්දිරයේ අයස්කාන්ත බව හා නිර්මාණශීලිත්වයේ අපූරුව වන්නේ එහි ඇති කිසිදු මූර්තියක් ඉදිකිරීමේදී යකඩ කූරු යෙදීමෙන් තොරව තනිකරම හුණු බදාම පමණක් උපයෝගී කරගත් එකල වූ පාරම්පරික තාක්ෂණ ක්‍රමයක් අනුගමනය කර තිබීමය.

මෙම විහාර මන්දිරය කර වූ බජ්ජම නා හිමියන් අපවත්වීමෙන් පසු එම ආදාහනය දා (1955. 07. 14) ලංකාදීප පුවත්පතේ 'වගතුග' තීරු ලිපිය ලියූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා දක්වා ඇත්තේ 'පොළොන්නරු යුගයෙන් මෙපිට මේ රටේ ගොඩ නැගුණු මහ බුදු මැදුර ලෙස එය සැලකිය හැකි බවය.

ඉදි කිරීමේ විය පැහැදම් හැටියට රුපියල් හාර ලක්ෂයක් මෙම බුදු මැදුර තැනීම සඳහා වියදම් වී ඇති අතර නා හිමියන් මේ නිසා විශාල ලෙස රටට ණය වී ඇත. ඒ නිසා රට පුරා සිටින බොදු බැතිමතුන් අතර විහාරය පිළිබඳ ප්‍රචාරයක් කර ජනතාව දැනුම්වත් කිරීම කළ යුතු යැයි තීරණය කර ඇති උන් වහන්සේ ඒ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ විහාර මන්දිරයේ අපූර්වත්වය හා දර්ශනීය බව දිවයින පුරා විවිධ විහාරස්ථානයන් හරහා මැජික් ලන්තෑරුම මඟින් ප්‍රචාරයක් ලබාදීමය.

මේ පිළිබඳව වත්මන් විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනු නායක, ආචාර්ය දික්වැල්ලේ තිස්ස නා හිමියන් හෙළිදරව් කළේ මෙවන් විස්තරයකි.

වත්මන්හි දිවයිනේ නන් දෙසින් මෙන්ම විදෙස් සංචාරකයින් පවා පැමිණ වන්දනාමාන කරන මහා බුද්ධ මන්දිරය තනවන ලද්දේ අප විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ බජ්ජම සිරි සද්ධාතිස්ස නා හිමියෝයි. උන් වහන්සේගේ සංකල්පයක් අනුව හා සැලැස්ම අනුවයි (ක්‍රි. ව. 1899 - 1914) වකවානුවේ වැඩ නිමවා 1914 දී තමයි නේත්‍රා පිංකම ඇතුළුව විවෘත කිරිමත්, මහ පිළිම වහන්සේගේ දෙවන ධාතු නිධානෝත්සවයත් සිදු කර තිබෙන්නේ.

මේ බුද්ධ මන්දිරය තැනීම නිසා උන් වහන්සේ විවිධ පුද්ගලයන්ට හා ආයතනවලට ණය වී තිබෙනවා. ඒවායින් නිදහස්වීමටත්, සැදැහැවතුන් ගෙන්වා ගැනීමටත් ප්‍රචාරයක් දීමට එම යන්ත්‍රයත් රැගෙන ගමින් ගමට ගොස් තිබෙනවා. උන් වහන්සේ සමඟ ඒ කාලයේ සිටි දක්ෂ විරිදු ගායකයින්, කවියන් හා විදේශිකයින් කැටිව ගොස් තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි දිවයින පුරා වැවුරුකන්නල නම ප්‍රචාරය වී ඇත්තේ.

මෙහි තවත් රසවත් කතාවක් වන්නේ එකල දැන් මෙන් මාර්ග පහසුව සහ ප්‍රවාහන පහසුකම් නොතිබූ නිසා පන්සලට එන ගමන් මඟ දක්වා ඇති ආකාරයයි.

වැවුරුකන්නල විද්‍යාතුංග මහ පිරිවෙන්පති පණ්ඩිත කරතොට පඤ්ඤාශීල හිමියන් පෙන්වා දුන්නේ 1914 ක් වූ අප්‍රේල් මස 11 වන සෙනසුරාදා ලක්මිණි පහණ පත්‍රයේ 'ගමන් මඟ දක්වා ඇත්තේ . . .' මෙම විහාරස්ථානය මාතර දුම්රිය ස්ථානයෙන් බැස හම්බන්තොට යන මහා මාර්ගයේ . . . අශ්ව රථ, ගොන් කරත්ත ආදියෙන් ගමන් කොට හැතැක්ම 112 සහ 113 ටත් අතර මහා මාර්ගයට යාව පිහිටි බැවින් ගමනාගමනයට ද ඉතා පහසු බව සැලකිය යුතුය' ලෙස සඳහන්ව ඇති බවය.

මුළුමනින්ම යකඩ තහඩුවෙන් නිර්මාණය කර ඇති මෙම මැජික් ලන්තෑරුම (ප්‍රොජැක්ටරය) මඟින් රූප රාමු තිරයක් මතට ගෙන යාමට යොදා ගෙන ඇත්තේ ගෑස් ලැම්පුවකින් නිකුත් වන ආලෝක ධාරාවන්ය. ගෑස් ලාම්පුවෙන් නිකුත් වන රශ්මිය පිටතට යැවීමට ඇති සිලින්ඩරාකාර චිමිනිය ඇතුළුව යන්ත්‍රයේ උස අඩි 1 අඟල් 08 කි. පළිඟු කාච 2 ක් සහිත සිලින්ඩරාකාර කොට ඉදිරියට නෙරා ඇති අතර එම කාච අඟල් 3 1/2 ක හා අඟල් 1 1/2 ක විශ්කම්භයකින් යුත් ඒවාය.

කාච සවි කර ඇති සිලින්ඩරාකාර බටය එහා මෙහා (ජ්ධජභඵ) කළ හැකි ලෙස තනා ඇත. අඟල් 1 1/2 විශ්කම්භය ඇති වීදුරු තහඩුවල චිත්‍රනය කර ඇති විහාර මන්දිරයේ බිතු සිතුවම් හා මූර්ති අඟල් 6 3/4ඔ4" ලී රාමුවලට වද්දා (ස්ලයිඩ්) නිපදවා ඇත. මේවා ඇතුළු කිරීමට යන්ත්‍රයේ එක් කොටසක් නිර්මාණය කර තිබේ. මෙම යන්ත්‍රය කවර රටක තැනුවේද යන්න එහි සඳහන් නොවෙයි.

මේ වන විට අවුරුදු 108 ක් වූ ඉතිහාසයක් ඇති රසවත් කථා පුවතක් වූ දිවයින පුරා රැගෙන ගිය අපූරු මැජික් යන්ත්‍රය වැවුරුකන්නල පන්සලේ කෞතුකාගාරය තුළ මේ වන විටත් සුරැකිව ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.