සිනහ කුසුම් තොල් පෙති අග දිලුනේ රෑන ගිරව්

දෙසැම්බර් 20, 2018

ගාමිණි ෆොන්සේකා, දිසා ලෙසත්, එච්.ඩී. කුලතුංග, තේගිරිස් ලෙසත් පියදාස ගුණසේකර කොළඹ හාමු ලෙසත්,චිත්‍රපටය කදිමට ජිවමාන කළේ කෙනෙකුට කෙනෙක් නොපරදින ලෙසය. ඔවුනගේ පෞරෂත්වය, ජවය, ආකර්ශනය හා රංගනය චිත්‍රපටය තුලට දැවැන්ත බවක් එක් කලහ. ඒවා සදාතනික චරිත කළහ.

'අයියලා සහ අක්කලා, නංගි මල්ලි එක්වෙලා,
කියන්න මේ පොඩි කථාව
එන්නකො මෙහි රොක්වෙලා
ගති ගුණ රැකි ආරිය
සුමනා හැඩ කාරිය
දිසා තරුණයා සිතුවා කර ගන්නට බාරිය"

දිසා ගමට හිටිය නාහෙට අහන්නැති දඩබ්බර දඩයක්කාරයෙකි. දිනක් ඔහුට එම ගමේ සිටින සුන්දර ගැමි තරුණියක් වූ සුමනා මුණ ගැසුනි. ඒ මුණ ගැසීම ආදරයකට පෙරළෙන්නට මහා කාලයක් ගියේ නැත.

තේගිරිස්ද, නාහෙට අහන්නැති තවත් දඩබ්බරයෙකි. ඔහුද විසුවේ එම ගමේය. තේගිරිස් හා දිසා අතර ලොකු කෝන්තරයක් පැසව පැසව තිබුනේ සෑහෙන කාලයක සිටය. කරුමෙට දිසා යහළු වුණු සුමනා ගේ සොහොයුරා වූයේද මේ තේගිරිස්ය.

විරුද්ධවාදියෙක් සිටියද, සුමනා ඒ ගැන නොතකා දිසාට ආදරය කළද, සුමනා හැකි හැම විටම දිසාට කියනුයේ හොඳ යහපත් මිනිසෙක් වෙන්නටත්, පව් පුරවා ගන්නා දඩයක්කාර කම අතහැර, ගොවිතැනක් බතක් කර ජීවත් වන්නට කියාය.

හැටේ දශකය තුළ බොහෝ චිත්‍රපට, ගම්මානවල එසේත් නොමැති නම් ගම්මානයන්ට යාබද කැලෑ ආශ්‍රිතව කථාන්තර හැදුණේ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගැන්මටය. කැලෑ තුළ තුවක්කුවකුත් රැගෙන ,සරම් කොටේ ඇඳගෙන, උඩු පපුව නිරුවත් කරගෙන කෑලෑව දෙවනත් කරගෙන චන්ඩි පාට් දාන චන්ඩියා ගාමිණී ෆොන්සේකා වන්නේ නම් ප්‍රේක්ෂකයා වඩාත් කැමතිය.

'මනාන' නම් දුෂ්කර ගම්මානයක, ගැමි තරුණයෙක්, ගැමි තරුණියකට පෙම් කළේය. මෙයට තරුණියගේ සොහොයුරා දැඩි ලෙස විරුද්ධ විය. ⁣ඔවුන් අතර ඇතිවූ කෝලහාලයකදී, අර ගැමි තරුණයා තරුණියගේ සොහොයුරාට වෙඩි තබා තරුණියවත් රැගෙන කැලයට පැන්නේය.

ඉන් පසු ඔවුන් ගැන ගම්මුන්ට කිසිම තොරතුරක් දැන ගන්නට නොලැබුණු අතර, ගම්මුන් නිගමනයට පැමිණියේ, කැලයට පැන්න ඒ තරුණ යුවල, හාමතේ, හෝ සතුන්ට අසුවී හෝ මිය යන්නට ඇති කියාය.

ධර්මශ්‍රී කල්දෙරා තම "රෑන ගිරව්" සිනමා පටයට, තේමා කර ගත්තේ මේ සත්‍ය සිද්ධියය. ඔහුට ලැබුණේ බිත්තරයකි. ඔහු ඒ බිත්තරය කඩා, එයට කුකුල් මස්, අමු මිරිස්, ලූණු, කරපිංචා, එකී නොකි ද්‍රව්‍ය දමා ප්‍රනීත 'චිකන් ඔම්ලට්' එකක් සෑදුවේය.

දිසා තම මවගේ මාර්ගයෙන් සුමනාගේ දෙමාපියන්ට සුමනා හා තමා අරබයා විවාහ යෝජනවක් ඉදිරිපත් කළේය. මනමාලයාගේ ජොබ් එක කැලෑවට ගොස් දඩයම් කිරීම වූවද, ඒ කාලේ, ගමේ හැටියට, ඒවා පිළිගත් රැකියාවන්ය.

ගැහැණියකට, කන්න අඳීන්න දීමට ශක්තියක් පිරිමියෙකුට තිබෙනවාදැයි බැලීම හැරෙන්නට වෙන යම් දෙයක්, එකල මනමාලියගෙ පැත්තෙන් බලන්නේ නැත. දිසාට ඒ සුදුසු කම් ඉහටත් උඩින් තිබුණි. එහෙයින් සුමනාගේ දෙමාපියෝ මෙම විවාහයට කැමති වූවත්, කේන්දර ගැළපෙනවාදැයි බැලීමට අවශ්‍යයයි කියා එම කේන්දර දෙක ගමේ ගුරන්වහන්සේ ලඟට ගෙන ගියහ.

"මගෙ පොඩි සුමනෝ දයා, දුක් වන්නෙ ඇයි ඔයා
හොඳ මිනිහෙක් වෙන්නම් මම කසාද බැඳගෙන ඔයා"

කේන්දර දෙක නියමෙට ගැළපෙන බවක් ගුරුන්නාන්සේ විසින් සුමනාගේ පියා වූ සීදරංට කිවේය. එහෙත් මේ විවාහයට සුමනාගේ සොහොයුරා තේගිරිස් එකහෙලාම විරුද්ධවූ හෙයින් සීදරං දිසාගේ මවට කියා සිටියේ කේන්දර දෙක නොගැළපෙන බවත්, ඒහෙයින් මේ විවාහය කිරීමට නොහැකි බවත්ය.

ගාමිණි ෆොන්සේකා සහ එච්.ඩී.කුලතුංග හැටේ දශකයේ සිට හැත්තෑ දශකය දක්වා හැප්පෙන දෙදෙනෙකි. චන්ඩියා,සූර චෞරයා, ආත්ම පූජා, රත්තරන් අම්මා, වැනි තව බොහෝ චිත්‍රපටවල මොවුන් දෙදෙනා හැප්පුනහ. මට හිතෙන්නේත් ගාමිණී ෆොන්සේකාට තම සිනමා ජීවිතයේදි ලැබුනු හොඳම එමෙන්ම දරුණුම ප්‍රතිවාදයා එච්.ඩී.කුලතුංග බවය. ඔහු ගාමිණී මෙන්ම වේගවත්ය. ඇතැම් අවස්ථාවන් හී ගාමිණීටත් වඩා වේගවත්ය. ගාමිණිගේ ඉහත කී චිත්‍රපට හොදහැටි 'බැලන්ස්' වූයේ එච්.ඩී.කුලතුංග නිසාය. ඔවුන් දෙදෙනා හැප්පෙන විට හැප්පෙන්නේ හෙන ගෙඩි දෙකක් හැප්පෙන ලෙසටය.

කේන්දර නොගැළපෙන බව, කිසිසේත් දිසා පිළි ගත්තේ නැත. එහෙයින් ඔහු ගුරුන්වහන්සේගේ ගෙදරට ගොස් මෙහි ඇත්ත නැත්ත විමසූ විට, කීවේ, මේ තරම් හොඳට ගැළපෙන කේන්දර දෙකක්, ඔහු සෑහෙන කාලයකට නොදුටු බවය.

මෙහී 'ගේම්' එකක් යන බවක් දිසාට වැටහුණි. 'ගේම් නම් ගේම්' කියා දිසා සුමනාගෙ නිවසට ගියේය. ඒ යන විට සුමනාගේ අයියා තේගිරිස්ද ගෙදර සිටියේය.

ධර්මශ්‍රී කල්දෙරා "රෑන ගිරව්" චිත්‍රපටයට ත්‍රාසය ගෙන ආවේ එම ජවනිකා පෙළ තුළිනි. ගාමිණී ෆොන්සේකාගේ තාරුණ්‍යයේ ජවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට, කල්දෙරා උත්සුක විය. එම ජවනිකාව පමණක් ගත් කල, එය 'රෑන ගිරව්' චිත්‍රපටයේ උච්චතම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙය පුංචි යුද්ධයක් ලෙසය කල්දෙරා මෙහෙයවා තිබුනේ.

දිසා සුමනාගේ ගේ ඇතුළට විත් මේ කේන්දර හුටපටේ විමසන විට, තේගිරිස් කීවේ කේන්දර ගැළපුණත්, නොගැළපුණත් සුමනාව, දිසාට නොදෙන බවය. එයට 'මල' පැන්න දිසා තේගිරිස්ට 'චැලේන්ජ්' කරමින් ගෝරියකට පැටලුනි.

"ආවා සුමනා සොයා, අයියත් එතැනට ගියා,
තක්කිට, තරිකිට තක දොං අලි ගුටි කෙළියක් ගියා
ඇගේ අයියා කිණිසැරේ, තිසාට පහරක් වැරේ
දුන්නලු රුංදත් තරිකිට, දෙන්නා එකට ගුටි පොරේ"

⁣දෙදෙනා ගුටි කෙලිය යන අතර, සුමනාගේ පියා සීදරං ගේ ඇතුළේ තිබූ තුවක්කුව ගෙන දිසාට වෙඩි තිබ්බද, එය වැදුනේ තේගිරිස්ටය. එයින් තේගිරිස් ගේ අතට තුවාල විය. ඒ ඇසිල්ලෙන් තේගිරිස් එතන තිබූ පුටුවකින් දිසාට පහරක් එල්ල කළද, එය ⁣වැරදීමකින් ගොස් වැදුනේ තේගිරිස්ගෙ පියාවූ සීදරන්ටය. එම පහර තරමක් වේගවත්ව, සීදරන්ට වැදුණු හෙයින් එය වයසක සීදරන්ට ඔරොත්තු දුන්නේ නැත. ඔහු එතැනම ජීවිතක්ෂයට පත් විය. මේ දුටු සුමනා සිහිනැතිවිය. දිසා සුමනාවත් උස්සා ගෙන කැලෑවට පැන ගත්තේය.

"සුමනට සිහි නැහැ බොලේ, අප්පච්චිත් ලේ විලේ,
වෙඩි උන්ඩය වැදී අතට, අයියගෙ බිඳුණා බලේ
එළි වෙන්නට පෙර හොරේ
සිහි නැති සුමනා කරේ,
තියා ගත්ත තිසා දුවපි,
මහ වනයට එක සැරේ"

කල්දෙරා, චිත්‍රපටයේ එක ආරෙකට ගිය කථාසාරය බිඳ දමා වෙන පැත්තකට අවධානය යොමු කරවන්නේ කොළඹ හාමු හා ඔහුගේ පිරිවර මඟින්ය. ඔවුන් එන්නේ ගමේ කැලෑව ඇතුළත කංසා වැවීමටය. කොළඹින් එන හැම ගැහැනියක්ම සිටියේ සංකර ඇඳුම් පැලඳුම් ඇඳ අව් කන්නාඩි දමාගෙනය. කොළඹ හාමු සියලු දුසරිතෙන් පිරී, ගැහැනුන් දෙතුන් දෙනා තියාගෙන සිටින සල්ලාල චරිතයකි. කල්දෙරාද, කොළඹ මිනිස්සුන්, ගැහැණුන් යනු දුෂ්ඨ, දූෂිත,අසංවර, නරක යනුවෙන්ද, ගමේ මිනිසුන්, ගැහැණුන් විනීත, සංවර, අහිංසක, අය ලෙස වෙන්කිරීමට උත්සාහ කළේ කොළඹ හාමු හා ඔහුගේ පිරිවර හරහාය.

මේ අතර දිසා හා සුමනා, කැලෑව තුළ, ස්වභාධර්මයාගෙ අසිරිය මැද ඉමහත් සෙනෙහසකින් කුරුලු ජෝඩුවක් මෙන් පවුල් කන්නට විය.

"රෑන ගිරා ජෝඩුවයි, හාද වෙලා ආදරෙයි, රෑන ගිරා ජෝඩුවයි
වනන්තරේ වෙනසක් නැහැ පෙම් සිතුවිලි පෑදේ,
හිත ගිය තැන ආදර රජ මාළිගාව පෑ⁣දේ"

ගාමිණි ෆොන්සේකා එකල බොහෝ විට අයිති වූයේ ජීවරාණි කුරුකුලසුරියටත්, සන්ධ්‍යා කුමාරිට, හා අනුලා කරුණාතිලකටත්ය. ගාමිණී හා විජිත මල්ලිකාගේ සුසංයෝගය තරමක් නුහුරු විය. විජිත මල්ලිකා බොහෝ චිත්‍රපටවල හිටියේ දෙවැනි, තුන්වෙනි, චරිතවලටය. කොමික් කාරයන්ගෙ ⁣පෙම්වතියටත් බොහෝ විට ගැනුණේ විජිත මල්ලිකාවය. ඇයගේ රඟපෑම් හා කටහඩ හැසිරවීමේ පොඩි පොඩි ප්‍රශ්න තිබුනත්, ඇය සුන්දර ආකර්ෂණීය නිළියකි. ගාමිණි, විජිතාව එක්කරමින් නැවුම් ආකර්ෂණයක් දීමට "රෑන ගිරව්"තුළින් කල්දෙරා උත්සහයක් ගත්තෙ නම් එය බොහෝ දුරට සාර්ථක වී තිබුණි. පියදාස ගුණසේකර යනු ඒවන විටත් අතීවිශිෂ්ට රංගන ශිල්පියෙක් විය. කල්දෙරාගේ රෑන ගිරව් තුළට කොළඹ හාමු හරහා ප්‍රබල ජීවයක් රැගෙන දුන්නේ මේ පියදාස ගුණසේකරය.

කොළඹ හාමුගේ කංසා හේන තිබුනේ ඔය කැලය තුලය. එහෙත් ඒ වන විට කොළඹ හාමු තම ධන බලයෙන්, මැර බලයෙන් ⁣මුළු ගමම අල්ලා ගෙන තිබුණි. ඔහුට අවනත නොවන කවුරු හෝ වේවා ඔහුගේ හා ඔහුගේ මැරයන්ගේ තාඩන පීඩනවලට ලක්වන්නට සිදු විය. එසේ තාඩන පීඩනවලට ලක්වූ සහෝදරයෙක් හා සහෝදරියක් කැලයට ගොස් දිසා හා සුමනා සමග එක්විය.

කාලය සෙමෙන් ගෙවී ගියේය. කැලය තම නිවහන කරගත් දිසා හා සුමනාගේ සෙනහසද ඒ කාලය සමඟම ගලා ගියේය.

"වන රේඛා මැද සීතල සෙවණේ
අත්වැල් බැඳගෙන ආදර ගමනේ
හුරතල් දැනිලයි දුක් ගිනි නිවුණේ
සිනා කුසුම් තොල් පෙති අග දිලුනේ"

මේ අතර සුමනාට දරු සම්පතක් ලැබෙන්නට විය. දරුවා ලැබෙන්න කිට්ටුවේදී, සුමනාට බත් කෑමට දොලදුකක් ඉපදුනි. දිසා බත් ගෙන ඒම සදහා වෙන ගමකට ගියද, එම ගමේ වැසියෝ දිසා හඳුනා ගෙන, ඔහුව පොලිසියට අල්ලා දුනී. එහිදී දිසාට වෙඩි වැදුනද, දිසා, සුමනාව ගෙන ගියා හැරෙන්නට වෙන විශාල වැරැද්දක් කර නැති බව පොලීසියට අවබෝධ විය. කොළඹ හාමු අල්ලා දීමට දිසා පොලිසියට පොරොන්දු වේ.

දිසා, පොලීසියේ නිසා, සුමනා යලි ගමේ තම නිවසට ගොස් දරුවා ප්‍රසුත්ත කරයි. මේ අතර සුමනාගේ සොහොයුරා තේගිරිස්, නිධානයක් ගැනීමට උත්සහා කරමින් සිටි අතර, එයට බිල්ලට දීමට කුලුඳුලේ උපන් දරුවෙකු සොයමින් සිටියේය.

දිසාගේ උපකාරයෙන් පොලිසිය කොළඹ හාමු හා ඔහුගේ කංසා හේන ඇතුළු ඔහුගේ සහචරයන් සියල්ලම කොටු කර ගති. තේගිරිස් විසින් සුමනාගේ දරුවා හොරකම් කර බිල්ලට දෙන්නට රැගෙන යන්නේ ඔය අතරේදීය.

දිසාගේ මැදිහත් වීමෙන් විශාල ගුටි කෙළියකින් පසු දිසා හා සුමනා තම දරුවා බේරාගත් අතර, තේගිරිස්ට තමා කරන්නට ගිය බරපතල වැරැද්ද තේරුම් ගොස් හරි දැක්ම පහළ වීමෙන් පසු රෑන ගිරව් පියඹා ගියහ.

ධර්ම ශ්‍රී කල්දෙරා ගේ රෑන ගිරව් තුලට එක්වූ ප්‍රබල ශිල්පීන් රැසක් නිසා චිත්‍රපටය හොද හැටි 'බර' විය.

ගාමිණි ෆොන්සේකා, දිසා ලෙසත්, එච්.ඩී. කුලතුංග, තේගිරිස් ලෙසත් පියදාස ගුණසේකර කොළඹ හාමු ලෙසත්,චිත්‍රපටය කදිමට ජිවමාන කළේ කෙනෙකුට කෙනෙක් නොපරදින ලෙසය. ඔවුනගේ පෞරුෂත්වය, ජවය, ආකර්ෂණය හා රංගනය චිත්‍රපටය තුළට දැවැන්ත බවක් එක් කළේය. ඒවා සදාතනික චරිත කළහ.

එයට දක්ෂතාවය හරහා එක්වූ හියුගෝ ප්‍රනාන්දු, ඩී.ආර්.නානායක්කාර, නෙල්සන් කරුණාගම, බී.එස්.පෙරේරා වැනි ශිල්පීහුද, රෑන ගිරව් තව තවත් කළ එළි කළෝය.

විජිත මල්ලිකා සුමනා ලෙස රඟපෑ අතර, ශාන්ති ලේඛා, තලතා ගුණසේකර, ජෙසිකා වික්‍රමසිංහ, පූජිත මෙන්ඩිස්, සුමනා අමරසිංහ, රුක්මණී දේවී, එඩී ජයමාන්න, ජෝ ලිවේරා, කිංස්ලි දිසානායක සෙසු චරිත වලට පණ පෙවීය.

ඩබ්.ඒ.බීද සිල්වාගේ කැමරාකරණය හා ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය රෑනගිරව් ප්‍රාණවත් කළේය. ලාංකේය සමාන්තර සිනමාව ආරම්භ වුයේ ධර්මශ්‍රී කල්දෙරාගේ මේ 'රෑන ගිරව්' චිත්‍රපටය හරහාය. සිනමා පුවත් පත් හා චිත්‍රකථා ලේඛකයෙකු වූ ධර්මශ්‍රී කල්දෙරා ලාංකේය සිනමාව තුළ තම අනන්‍යතාවය සනිහටුහන් කළේ 'රෑන ගිරව්' චිත්‍රපටය තුළිනි.

1967 ඔක්තෝබර් 14 වන දින තිරගත කළ "රෑන ගිරව්" චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඒ.එම්.සේනානායකය.

"අබුද්දස්ස යෙදෙනවා,
ලබුත් තිත්ත කෙරෙනවා
මේවා අහලා, සුරල් ගහලා
මට නටන්න හිතෙනවා
මට නටන්න හිතෙනවා
මට නටන්න හිතෙනවා"

(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)

ශෝන් මැක්ස්මස් දිසානායක