මල් නෙලන්න වාසනාව මටද අත්වුණා

ජනවාරි 3, 2019

අද "සත පනහ"ක් වැනි මුදලකින් කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා දැන් ඉන්න අය හොඳටම දන්නවා..අවම තරමේ ඔවුන් සත පනහක් දැකලා තියෙනවද කියන එකත් ෂුවර් නැහැ.

ඉතිං අද අය ප්‍රශ්න කරන්න පුළුවන් මේ කිසිදු වටිනා කමක් නැති "සත පනහ" ගැන චිත්‍රපටයක් කරන්නට ඇත්තටම පිස්සුද කියලා.

අද ස්විප් ටිකට් එකක අවම මිල රුපියල් 20යි. ඒත් එදා ඒ කියන්නෙ හැටේ දශකයේ ස්විප් ටිකට් එකක් සත 50යි.

"සිතක මහිම" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රවීන කැමරා ශිල්පි එම්.එස්.ආනන්ද, නිශ්පාදක එස්.එම්.සිවසුබ්‍රමානියම් වෙනුවෙන් වාණිජ ධාරාවේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. 'ඩයින් විත් අ ෆෙලෝ' නැමති බටහිර චිත්‍රපටයේ කථා තේමාව රැගෙන එයට දකුණු ඉන්දියානු සායම් කලවම් කර දමා ,එහී ගී තනු සොරාගෙන, ඒ අතරට බටහිර ගී තනුත් එකතුකර මැලේ පිකල් ස්ටයිල් චිත්‍රපටයක් 'සත පනහ' නමින් කෙරුවද, එහී තරමක ගැම්මක්ද නොතිබුණාම නොව.

සයිමන්, විජේ,සහ බණ්ඩා, යනු වීදියේ කිසිවෙකුගේ හව් හරණයක් නොමැතිව ජීවත් වන කුඩා ළමුන් තිදෙනෙකි. ඔවුන්ට දෙමාපියන් සහෝදර සහෝදරියන් මේ ආදී කිසිවෙක් සිටියේ නැත. කාගෙන් හෝ ලැබෙන මුදලකින් ඔවුන් ජීවත් වෙති.

ඔවුහු තිදෙනා මොනවා නැතත් දිනපතාම කෝවිලට යති. ඔවුන් කෝවිලට ගොස් ඉල්ලන්නෙ එකම දෙයකි. ඒ ඔවුනට ස්වීප් දිනුමක් ඇදෙන්නට කියාය. ඔවුන් කොහොම හරි දවසට ලැබෙන මුදල් වලින් සත පනහක් ඉතුරු කර ගෙන ස්වීප් ටිකට් ගත්තද, ඔවුනට ඇදුනු දිනුමක් නැත.

එම්. එස්. ආනන්ද කුඩා ළමුන්ව හැසීරීම නම් හරි අපූරුවට කළේය. මේ කුඩා ළමුන් තිදෙනාවද ඔහු හැසුරූවු ආකාරයේදී අපිට මතක් වන්නේ දමිළ චිත්‍රපටවල කුඩා ළමුන්ව හැසිරූ ආකාරයය. ඉන්දියානු චිත්‍රපටවල ළමා චරිත රඟපාන නළු නිළියන්ව හැසිරවන ආකාරය නම් සුපිරිය. ඇතැම් පොඩි උන්, රඟපෑමෙන් මහ නළුනිළියන්ටත් අභියෝග කරති. ආනන්දත් මෙම කුඩා ළමුන් තුන්දෙනාව ඉන්දියානු නළු නිළියන්ගෙ තත්වයටම ගෙන ආවේය. "සත පනහ" චිත්‍රපටය ගැන කී වි⁣ට එය එදා නැරඹු ඕනෑම කෙනෙකුට මේ ළමුන් තුන්දෙනාව මතකයට නංවන්නට තරම් රංගනයක් ඉදිරිපත් කරවීමට එම්.එස්.ආනන්ද සමත් වීය.

නිමල් මෙම නගරයේ සිටින හිත හොද කඩවසම් තරුණයෙකි. මෙම කුඩා ළමුන් තිදෙනා නිමල් සමඟ එකතුය. මොවුන්ට බොහෝ අවස්ථාවල කන්න බොන්න අරන් දෙන්නෙ මේ නිමල්ය.

නිමල් නිතර යන සමාජ ශාලාවක් තිබේ. එම සමාජශාලවේ නාට්‍යංගනාවියෙකි ශීලා . ඇය අතීශයින්ම රූමත් තරුණියෙකි.

බොහෝ අය ඇයගේ නැටුම් වලින් කුල්මත් වේ.

"අද අපි ඉන්නේ විනෝදෙන්ම මත් වී, ඔව් මේ රෑ

කව්රුද ඉන්නේ හොරා වගේ මත් වී, එය හොද නෑ

සැනසෙමු, නැළවෙමු නටා අපි, එකතුව රිසි ලෙස සිනා සිසී

පැද්දෙන නැළවෙන රැඟුම් බලා

පැද්දෙන නැළවෙන රැඟුම් බලා"

නිමල් ශිලාගේ රැඟුම් බැලීමට නිතර යන නිසා ශීලා හා නිමල් අතර මිතු දමක් ඇතිවුණි. එහෙත් නිමල් ඇයට බලාපොරොත්තු දීමට කැමති නොවූයේ ඔහු හදවත් රෝගියෙකු නිසාය.

දිනක් කුඩා ළමුන් තිදෙනා වූ සයිමන් විජේ, සහ බණ්ඩා, කෝවිලට ගොස් සිටින විට, අන්ධ මිනිසෙක් පැමිණ දෙවියන්ට යාඥා කර, සතපනහේ කාසියක් පඬුරු ලෙස දැමීමට පිං කැටය තිබෙන තැන සෙවීය. අන්ධ නිසා ඔහුට එය සොයා ගැන්මට නොහැකී වූ අතර, එය දුටු කුඩා ළමුන් තිදෙනා, එය ඉල්ලා ගත්තේ පිං කැටයට දැමීම සඳහාය. අන්ධ මනුස්සයාද, පිනක් කර ගත්තා යැයි සිතමින් ඉතාමත් සතුටින් ඒ සත පනහ පොඩි ළමයින්ට දුන්නේ පිංකැටයට නොවරදවාම දමන්න කියාය.

පොඩි ළමුන් තිදෙනා අන්ධ මනුස්සයා ගිය පසු එම සතපනහ පිං කැටයට දමන්නට ගියද, එක්වරම ඔවුන් තම අදහස වෙනස් කරමින් එම සතපනහට ස්විප් ටිකට් එකක් ගැනීමට සිතුවෝය. සිතුවා පමණක් නොව, ඔවුන් එම අදහස ක්‍රියා කරමින් ස්විප් ටිකට් එකක් ගතී. එය වංචාවක් යැයි කිසිලෙසකත් ඔවුනට එවෙලේ සිතුණේ නැත.

 

මේ අතර ශීලා, හා නිමල්ගේ ඇසුර ආදරයකට පෙරළුණි . එය හුදෙක් ශීලාගේ පැත්තෙනි. නිමල් මෙම ආදරයට රුකුලක් නොදීමට කෙතරම් පරිස්සම් වූවද, තාරුණ්‍යයේ පෙම් හැඟීම් වලින් මිදෙන්නට ඔහුටද නොහැකි විය. ශිලාද නිතරම සිටියේ නිමල් සමග ප්‍රේම සිහින ලෝක තුලය.

"මල් සරාට ප්‍රේම ලෝකෙ මාළිගා තනා,

මල් නෙළන්න වාසනාව මටද අත් වුණා, ගයා ගී.ගයා ගී."

ප්‍රේම වන්තයෙක් මටත් ලැබෙයි කියා, මා සිතුවේ නැත්තේ සිහිනෙකින් තියා, දෑත ගන්නයි කියා, මාගේ ආලේ සොයා, ඉතිං කව්දෝ මේ ආවාවු පෙම් රජා"

සයිමන්, විජේ, බණ්ඩා, අර අන්ධ මිනිසාට වංචාකරමින් ගත් ස්විප් ටිකට් පතට බලා පොරොත්තු නොවූ අයුරින් පළවෙනි දිනුම ඇදී තිඛුණී. මෙතෙක් කල් බලා සිටි දිනය ඔවුන්ට පැමිණ තිබුනි. ඔවුන්ගේ සතුට ඉහවහා ගියහ.ඔවුන්ට සතුට දරා ගැන්මට නොහැකිව සිංදු කියමින් නටන්නට පටන් ගතී

"අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙකට පස්සේ.

හිතුවා වාගේ, සාදාහැකි දේවාලේ අපගේ"

අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙකට පස්සේ"

ජේ. ඒ. මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට සමඟ ගැයූ මෙම ගීතය අතීශයින්ම ජනප්‍රිය වූ අතර, මෙම කුඩා ළමුන්ගේ චරිත තුනට ශ්‍රීනාත් බස්නායක , ජයන්තා ද සිල්වා රඟපෑ අතර , කුඩා ළමයාගේ චරිතයට පණ පෙව්වේ මැතකදී මිය ගිය ගායක, රංගන ශිල්පී රොනී ලීච් බව මිල්ටන් පෙරේරාගේ පුත් ප්‍රියංකර පෙරේරා මට තහවරු කළේය.

ශිලා ගේ සිහින ලෝකය විටින් විට විචිත්‍ර විය. ඒ නිමල් නිසාය. ශීලා සිහින වලට මොන තරම් 'ඇඩික්ට්' වූවාද කිවහොත් ,ඇයගේ දෑස් තප්පරයකට හෝ පියවුණොත් පෙනෙන්නේ සිහිනමය. ඒවා තුළින් ඇය දකින්නේ නිමල් සමඟ ඇය විඳීන ප්‍රේමාලම්බන ප්‍රීතියයි .

" චන්ද්‍රා මෙ රෑපායා ආවා

හර්දේ පෙමින් නාව නාව

මේ ආදරේ වාසනාවන්

දුක්වේදනාවන් නිවේවා

ඔබගේ සිනාවෙන් මුලාවී, මේ රෑ පවා මල් පිපේවි, රන් තාරකාවෝ සිනාසී, ප්‍රේමේ අමා ගී ගයාවී, ආශාව ආවාදමෝරා, හැමදාම ඔබ මාගේ වේවා"

සයිමන්, බණ්ඩා හා විජේට ස්විප් ටිකට් එකක් ඇදුණු බව කෙසේ හෝ සමාජ ශාලා මැනේජර් ගේ කනට ගියේය. එතැන් සිට 'ෆුල් ගේම්ය' . ඒ මේ කුඩා ළමුන්ගෙන් මෙම ටිකට් පත බලෙන් ගැනීමටය.

මේ ළමුන් තිදෙනාට තිබූ අනෙක් ප්‍රශ්නය නම් මෙම ලොතරැයි දිනුමට මුදල් ගැනීමය. මෙය ගන්නා තැන ඔවුන් දන්නේ නැත. ගන්නා ක්‍රමය ඔවුන් දන්නේ නැත. මැනේජර් කාරයා, මේ බව හොද හැටි දැනගෙන සිටියේය. ඔහු යාප්පුවෙන් ගන්නට උත්සාහ කළේය. මැර බලයෙන් ගන්නට උත්සහා කළේය. එහෙත් ළමුන් කෙසේ හෝ එයින් බෙිරුණී. නිමල්ටද පොඩි උන් නිසා එම වලි වලට පැටලෙන්නට සිදුවිය. අන්තිමයට ⁣මැනේජර් හා ඔහුගේ සගයන්ව නොකවුට් කරන්නට නිමල්ට සිදුවිය.

එම්.එස්.ආනන්ද 'සත පනහ' චිත්‍රපටයේ නිමල් ගේ චරිතයට ගාමිණී ෆොන්සේකාව ගැනීම තුළ අකාර්ෂණය මෙන්ම ජවයද රැඳී තිබුණි. ගාමිණීට චිත්‍රපට තුල, 'කොක්කක්' දමාගෙන, 'වලියක්' නොදා ගත්තොත්, එම වාණිජ්‍යයම ධාරාව තුළ යන චිත්‍රපටවලට ගාමිණීව අරගෙන වැඩක් නැත. කථාවට අදාලව 'වලියක්' නැත්නම්

අහක යන 'වලියක්' හරි ගාමිණීට සෙට් කරන්නට අධ්‍යක්ෂක වරු උත්සුක විය. එම්.එස්.ආනන්ද ද ගාමිණීට ඒ යුතුකම හරියටම කළේ මේ පොඩි උන් තුන්දෙනාගේ ස්විප් ටිකට් වලියට පටලවාය.

⁣නිමල්, ශිලාව ටිකෙන් ටික මඟහරින්නට උත්සහා කළේ මේ අතරේදීය. ඒ ශීලාට ආදරය නොමැති කම නිසා නොවේ. ඔහු හෘදාබාධිතයෙක් නිසාය. ඔහු ජීවත් වූයේ මරණය අතේ තියාය. ඔහුගේ සාක්කුවේ නිතරම බෙහෙත් පෙති බෝතලය තිබුණේ හදිසියේ පපුව හිරවුනොත් බීමටය. එහෙව් මිනිසෙකුට, විවාහයක් ගැන සිතිය හැකිද? නිමල් ශීලාව මඟ හැරියේ එම හේතූව නිසාමය. එහෙත් ශීලා සිතුවේ නිමල් ඇයට ආදරය නොමැති නිසා ඔහු ඇයව මඟ හරිනවා කියාය. එයින් ඇය ඉමහත් වේදනාවකට පත් විය.

"මගෙ හර්දේ, ගිනි ඇවිලේ

ඔබ කොහිදෝ, මට නොපෙනේ

ඔබ නේද මාගේ ප්‍රානේ

ඔබ නේද මාගේ ප්‍රානේ"

සයිමන්, විජේ, සහ බණ්ඩා ට ගුවන් විදුලියෙන් ඇසුණු පනිවිඩයකින් ඔවුන් කලබලයට පත්විය. ඒ මේ ස්විප් ටිකට් එක සම්බන්ධවය.එයින් කියවුණේ මෙතෙක් මෙම දිනුම ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වී නොමැති බවත්, ඉදිරි පැය 24 ඇතුළත එය ලබා ගැන්මට කිසිවෙක් ඉදිරිපත් නොවූවහොත් මෙය රාජ්‍ය සන්තක කරන බවකි. මෙයින් දෙලෝරත්වූ ඔවුන් වහාම නිමල් මහත්තයා සොයාගොස් විස්තරය කියා ස්විප් ටිකට්පත ඔහු අතට දුන්නේ, එය කෙසේ හෝ ලබා දෙන්නට කියාය.

නිමල්ද එය බාරගෙන ස්විප් කාර්යාලයට යන්නට සැරසුනේ අවසන් පැයේදීය. ස්විප් කාර්යාලය තිබුණෙත් විශාල ගොඩනැගිල්ලක උඩුම මහලේය. එයට විදුලි සෝපාන තිබුණේ නැත. නිමල්ට සිදුවුයේ තරප්පු පේළියේ සිට උඩුමහලට යාමටය. ඔහු මැදක් වනතෙක් යන විට, හදිසියේම ඔහුගේ පපුව අමාරුව සෑදී උත්සන්න විය. ඔහු වහා සාක්කුවට අත දැම්මේ බෙහෙත් පෙති බෝතලය ගැනීමටය. එහෙත් එය සාක්කුවේ තිබුනේ නැත. එදින එය ඔහුට ගෙන ඒමට අමතක වී තිබුනි.

එම්.එස්.ආනන්ද, තම චිත්‍රපටය 'ත්‍රිල්' කළේ එසේය.මෙම ජවනිකාව තුලින් ආනන්ද ප්‍රේක්ෂකයන්ව 'ක්ලයිමෙක්ස්' එකට ගෙන ආවේය. 'අනේ මේ මනුස්සයා මැරෙයිද, අර ස්වීප් ටිකට් පතේ සල්ලි ගන්න බැරි වෙයිද, එතකොට අර පොඩි උන් තුන්දෙනාගෙ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ' ඔය එකී නොකී ප්‍රශ්න වැලක් ප්‍රේක්ෂකයන්ගේ හිතේ තෙරපවන්නට ආනන්ද සමත්විය. ෂයිලොක් හොම්ස් චිත්‍රපටවලින් වත් ගන්න බැරි ත්‍රිල් එකකි, එම්.එස්.ආනන්ද මෙම ජවනිකාවෙන් ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නෙ.

අවසානය නම් බොහෝ දුක්බර විය. නිමල්ට ස්විප් කාර්යාලයට යාමට නොහැකි විය. තරප්පු පේළියේදීම නිමල් ජීවිතක්ෂයට පත්විය. අර කුඩා ළමුන් තිදෙනා, මගදී හමුවූ ශීලා සමඟ පහළට වී නිමල් මහත්තයා එනතෙක් බලා සිටියෝය. නිමල් මහත්තයා එන්නට පරක්කුවන විට ඔහු සල්ලිත් අරගෙන තමන්ව මඟහැර ගියාද යන්න ලාවට ළමුන්ගේ සිතේ ඇදුණද, එම සිතුවිල්ලට වඩා නිමල් මහත්තයාව ඔවුනට විශ්වාස විය.

එහෙත් සිදුවූ ව්‍යවසන⁣ය කුඩා ළමුන්ගේ සිතේ සිතන්නට බොහෝ දේවල් ඇතිකළේය. ඔවුන්ට නිමල් මහත්තයත් නැති විය. එය දැඩිව බලපෑවේ ශීලාටය. එලෙසම සයිමන්, විජේ, හා බණ්ඩාට තමන් දිනූ ලොතරැයි ටිකට් පතේ මුදලුත් නොලැබුණි. මෙම ස්විප් ටිකට් පත ඔවුන් ගත්තේ අර එදා කෝවිලට ආ අන්ධ මනුස්සයා තමන්ට පිංකැටේ සොයා ගැන්මට බැරිවූ නිසා, මොවුන්ට පිංකැටේට දමන්නට කියූ සත පනහින්ය. අන්ධ මනුස්සයා, හිඟා කමින් ,නොකා නොබී සතපනහක් ඉතුරු කරගත්තේ දෙවියන්ට දමා මේ දුක්බර ජීවිතෙන් මිදෙන්නට වරම් ඉල්ලන්නට විය හැක. තමුන් මොනතරම් වංචාවක් කළාද යන්න ඔවුන්ට වැටහුනේ දැන්ය. වංචා කරමින් ගත් නිසා තමුන්ට ස්විප් ටිකට් මුදල නොලැබුණු බව ළමුන්ට වැටහුණි. ඔවුන් යළි පෙරමෙන් පාරට වැටුණි.

"නොදැන කරපු දේ ගැන

ලත වෙන්න එපා පුතේ

කුමටද කනගාටු වෙලා

දැන් පලක් නැතේ

නොදැන කරපු දේ ගැන

ලත වෙන්න එපා පුතේ"

"සත පනහ" විනෝදාත්මක සිනමාවක තවත් පැති කඩක් විය. සාමාන්‍යයෙන් ගාමිණි ෆොන්සේකා අවසානයේ මියයනවාට එකල ප්‍රේක්ෂකයෝ කැමති නැත. එහෙයින් එවැනි අවසානයක් පෙන්වීම තරමක අවදානමක් විය. එහෙත් "සත පනහ" තුල ජනප්‍රිය අංග රාශියක් තිබුණි. එහෙයින් අර ගාමිණී ෆොන්සේකා මිය යෑම දැඩිව බලපෑවේ නැත.

විශේෂයෙන්ම එහී අඩංගු ගීත සුපර් හිට්ස් විය. "චන්ද්‍රා මේ රෑ පායා ආවා" අදටත් සුපර් හිට් එකකි. එච්.ආර් ජෝතිපාල හා සුජාතා අත්තනායකගේ අපූර්වතර සුසංයෝගය මෙම ගීතයේ තනුවට, පදමාලාවට මනා ලෙස ගැලපී තිබුණි. එච්.ආර්.ජෝතිපාල පළමු වරට චිත්‍රපටයකට ගාමිණි ෆොන්සේකාට පසුබිමින් ගැයූ ගීතය මේ "චන්ද්‍රා මේ රෑ පායා ආවා" බව මට කීවේ ජේ.ඒ.මිල්ටන් පෙරේරාගේ පුත් ප්‍රියංකර පෙරේරාය.

මෙහි එන "අද දෙවියන් අපගේ මුහුණ බැලුවා" ගීතය පමණක් ස්වතන්ත්‍ර වූ අතර අනෙක් ගීත සියල්ලම අනුකරණ ගීතයන්විය.එකල බටහිර ගී ගායනා කල මිනෝන් රත්නම්ගේ ප්‍රථම සිංහල ගීතය වූ "අද අපි ඉන්නේ විනෝදෙන්ම මත් වී" ගීතයද මෙයට ඇතුළත් විය.

කරුණාරත්න අබේසේකර හා හර්බට් එම් සෙනවිරත්න ගේ ගී පද ගැයුවේ එච්.ආර්.ජෝතිපාල, සුජාතා අත්තනායක, ජේ.ඒ.මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට, මොහිදින් බෙග් හා මිනොන් රත්නම්ය. සංගීතය ආර් මුත්තුසාමි⁣ය. එම්.එස්.ආනන්ද දක්ෂතම කැමරා ශිල්පියෙක් වූවද ඔහු ඔහු විසින් අධ්‍යක්ෂනය කරන චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂනය පැවරුවේ වෙනත් ශිල්පියෙකුටය. "සත පනහ"චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ එම්.ඒ. ගපූර්ය.

ගාමිණි ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි, ජෝ අබේවික්‍රම, බැප්ටිස්ට් ප්‍රනාන්දු , බන්ධු මුණසිංහ, බී.එස්.පෙරේරා, ලිලියන් එදිරිසිංහ, පූජිත මෙන්ඩිස්, එම්.වී.බාලන්, ශ්‍රීනාත් බස්නායක, ජයන්තා ද සිල්වා, බර්නාඩ් පතිරන ප්‍රධාන හා සෙසු චරිත රඟපෑවෝය.

එම්.එස්.ආනන්දගේ අධ්‍යක්ෂණයෙන් යුත් "සතපනහ" එම වකවානුවේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් විය. මෙය 1965 ඔක්තෝබර් 7වෙනිදින සිට තිරගත විය.

(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)