එදා රුක්මණිය අනතුරට පත් කළ රථය ගාමිණී ලක්ෂ්මන් සොයාගෙන

මාර්තු 14, 2019

හෙළ සිනමාවේ වැජඹුණු අසහාය රංගන වේදිනිය රුක්මණී දේවිය අප අතරින් සමුගෙන වසර 41 ගත වී ඇත. මේ මොහොතේදී සරසවිය අපගේ නෙත ගැටුණු අපූරු සේයා රූ කිහිපයක් ගැන විස්තරයක් ඔබ වෙත ගෙන එන්නට අපි අපේක්ෂා කළෙමු. ඒවා දක්නට ලැබුණේ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දුගේ මුහුණු පෙතෙහිය.

වසර 41 කට ප්‍රථම රුක්මණි දේවිය අනතුරකට පත්ව මියගිය බව පළ වුවත් එතුමියගේ රථය හැපුණු බවුසරය කොතැනදීත් අමතකව තිබිණ. හෙට්ටිපොළ පඬුවස්නුවර විවිධ සේවා සමුපකාරයට අයත් එම රථය එම ග්‍රාමයේ තිබෙන බව ගාමිණීට ආරංචි විය. ඒ ඔස්සේ ගිය ඔහුට 24 ශ්‍රී 0862 දරණ අංකය සහිත බවුසරය දක්නට ලැබුණි.

තම ආදරය දිනූ රුක්මණී සහ ඇගේ වාහනය පැද වූ දයා පෙරේරාගේ ජීවිත අහිමි කළ එම රථය අසලට ගොස් මොහොතක් සංවේදීව ඡායාරූප කිහිපයක් ගැනීමට ගාමිණී උනන්දු විය. එම සේයාරූ මුහුණු පොතට එක් කළේ අතීත මතකයන් සිහිපත් කරමින් ඔහු විසින් රචිත සටහනක් ද සමඟිනි. ඒ දුටු බොහෝ දෙනෙක් රුක්මණී පිළිබඳ යළි යළිත් සංවේගයට පත් වූහ. කෞතුක වටිනාකමකින් යුත් වාහනය සංරක්ෂණය කළ යුතු බව ද ගාමිණී සිය මුහුණු පොතේ අවධාරණය කොට තිබිණ.