රම්‍යාගේ සුරම්‍ය වූ රැඟුම්

ඔක්තෝබර් 22, 2020

සිනමාවේ හෝ වේදිකාවේ ඇතැම් නළු නිළියන්ට තම යොවුන් වියේදීම රඟපෑමට සිදුවනුයේ මැදි වියේ හෝ මහලු චරිත බැව් පෙනේ. මින් ඉහත ද ලිපියක මවිසින් පෙන්වා දෙන පරිදි තම යොවුන් වියෙහි සිටම වේදිකාවේ මවගේ චරිත බහුලව රඟපෑ නිළිය ලෙස 60, 70 දශකවල ප්‍රතිභාපූර්ණ රංගවේදිනී, නැසීගිය චන්ද්‍රා කළුආරච්චි කැපී පෙනිණ. ඇයගෙන් පසුව තම යොවුන් වියෙහි සිටම මැදි වියේ හෝ මහලු චරිත ශූර ලෙස බහුලව රඟපෑ නිළියක ලෙස ඉස්මතු වූයේ රම්‍යා වනිගසේකර යැයි මම සිතමි. ඇය තම සැමියා වූ ආර්. ආර්. සමරකෝන් සූරීන්ගේ ‘දූවිලි‘ නාට්‍යයේ මවගේ චරිතය නිරූපණය කළාය. ‘දූවිලි‘ (1999) නාට්‍යය උදෙසා වස්තු විෂය වූයේ බාහිරින් විහාරස්ථානවලට, පාසල්වලට සුබ සාධනයෙන් දායක වී සත් පුරුෂයන් ලෙස පෙනී සිටින අතර අභ්‍යන්තරිකව පාතාලයේ අනේකවිධ ජාවාරම්වලට, සමාජ විෂමාචාරවලට සම්බන්ධ දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන්ගේ ඛේදවාචකය වේ. මෙහි කතානායකයා වූ තෝරදෙණිය ගමේ සිටිද්දී හොර තැඹිලි කඩා අසු වූවෙකි. පසුව ඔහු කොළඹට පැමිණ ධනවතකු වී පසුව දේශපාලනයට ද පිවිසේ. මේ දෙබිඩි චරිතය ශූර ලෙස රැඟුවේ මෙරට බිහි වූ ප්‍රතිභාපූර්ණ චරිතාංග රූපණවේදියකු වූ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රය. ඔහුගේ මව ලෙස මෙහි රම්‍යා වනිගසේකරත් බිරිය මංගලිකා ලෙස මැණිකේ අත්තනායකත් රංගනයෙන් දායක වූහ. ‘දූවිලි’ හි තෝරදෙණිය මෙහි ගොඩනඟන ව්‍යාජ ප්‍රතිරූපය නොසඟවා හෙළිදරව් කරන්නිය ඔහුගේ මවය. ඇය තම පුතුගේ දෙබිඩි ජීවිතය තම ලේළිය හමුවේ විවේචනය කරමින් දොස් නඟන්නීය.

රම්‍යා වනිගසේකර යොවුන් වියේ මහලු මවගේ චරිතය ශූර ලෙස රඟපෑ ආකාරය අරභයා මම ඇසින් දුටු සාක්ෂිකරුවකු වෙමි. මා කලා ලොවට අවතීර්ණ වූයේ ධම්ම ජාගොඩ සූරීන්ගේ ‘මිහිකතගේ දරුවෝ’ (1986) ටෙලි නාට්‍යයෙහි එකම ළමා චරිතය රඟපෑමෙනි. එවක මම දස හැවිරිදි වියෙහි පසු වුණෙමි. එකල තාරුණ්‍යයෙහි පසු වූ සුන්දර කාන්තාවක වූ ඇය ජාතික රූපවාහිනියේ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී රංජිත් තිලකසිරිගේ වේශ නිරූපණයෙන් ඉක්බිතිව මුළුමනින්ම මහලු කාන්තාවක බවට බාහිර ස්වරූපයෙන් දිස් වුවත් මෙය තීව්‍ර වනුයේ රම්‍යා කැමරාව ඉදිරියේ රංගනය ඇරැඹූ කල්හිය. ඉතා අපහසුවෙන් අඩිය තබමින් වෙවුලනසුලු කටහඬෙන් ඇය මෙහි කතානායක මෛත්‍රී මුතුගොඩගේ භූමිකාව මැවූ රංජිත් සුරංගගේ මවගේ චරිතයට ප්‍රාණය දුන් අයුරු මම විමතියෙන් බලා සිටියෙමි. එහි කොතැනකවත් මා රම්‍යා වනිගසේකර දුටුවේ නැත. රූගත කිරීම් නිම වී වේශ නිරූපණයෙන් මිදුණු පසුවයි මා රම්‍යා වනිගසේකර දුටුවේ. ධම්ම ජාගොඩ සූරීන් යනු කොන්ස්ටන්ටින්් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය (Theory of Method Acting) ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව හරහා මෙරට විද්‍යානුකූලව ඉගැන් වූ පළමුවැන්නා වේ.

ස්ටැනිස්ලව්ස්කිට අනුව දුුර්වල නළුවා හෝ නිළිය ‘මම අසවලාගේ චරිතය රඟමි’ යයි සිතා තමාගේම සුපුරුදු පැතලි චරිත නිරූපණයෙහි යෙදෙති. මෙකල විකාශය වන බොහෝ ටෙලි නළුවල රඟන බහුතර නළු නිළියන් පිළිබඳව සිතන කල්හී ස්ටැනිස්ලව්ස්කිගේ මේ මතය කෙතරම් සත්‍යයක්දැයි සිතේ. සතියකට විකාශය වන ටෙලි නළු දෙක තුනක රගපාන ඇතැම් නළු නිළියන්ගේ රංගනයෙන් ඉස්මතු වනුයේ ඔවුන් නිරූපණය කරන භූමිකා නොව සැබෑ ජීවිතයේදී තමන්ගෙන් විද්‍යමාන වන පැතලි ඒකාකාරී චර්යාවන්ය. එබඳු නළු නිළියන් චරිත 100 ක් රඟපෑවත් ඔවුන් රඟන භූමිකා කවරේදැයි පැහැදිලිව හඳුනා ගත නොහැකිය. චරිත නිරූපණයේදී නළුවා හෝ නිළිය පසෙකට වී භූමිකාව ඉස්මතු විය යුතුය. ස්ටැනිස්ලව්ස්කි අනුදත් රූපණවේදයේදී ‘මම අසවලාගේ චරිතය රඟමි’ යන්න නොව ‘මම අසවලා නම්’ ඒ චරිතයට ආවේණික සත්‍ය හැඟීම් හා නිවැරැදි ශාරීරික චර්යාවන් කවරේදැයි අධ්‍යයනය කිරීම අවධාරණය කෙරිණ. එමඟින් බාහිර, අභ්‍යන්තර වශයෙන් සැබෑ රූපණය හට ගන්නා බව ස්ටැනිස්ලව්ස්කිගේ මතය විය.

පසුකාලීනව යථෝක්ත මතවාද පොත පත කියවා, උසස් නිර්මාණ නැරැඹීමෙන් මා ඉගෙන ගනිද්දී ඊට සනිදර්ශන වශයෙන් රම්‍යා වනිගසේකර ‘මිහිකතගේ දරුවෝ’ ටෙලි නළුවේ මවගේ චරිතය ශූර ලෙස ජීවමාන කළ ආකාරය මට සිහිපත් විය. ධම්ම ජාගොඩ හැරුණු විට ගුණසේන ගලප්පත්ති, රංජිත් ධර්මකීර්ති, ආචාර්ය සාලමන් ෆොන්සේකා වැනි නාට්‍යවේදින් ස්ටැනිස්ලව්ස්කිගේ රූපණ සිද්ධාන්ත ගැඹුරින් හදාරා ප්‍රායෝගිකව තම නාට්‍ය නිර්මාණවලට භාවිත කළ බව මගේ මතකයට නැඟේ. රංජිත් ධර්මකීර්තිගේ ‘මහගෙදර’, ‘මෝදර මෝල’, ‘හිරු නැති ලොව’ වැනි නාට්‍ය නිර්මාණවල යථාර්ථවාදී තාත්වික රූපණය හඳුනාගත හැකිය. ‘හිරු නැති ලොව ‘නාට්‍යයේ ක්රණ්‍යා ලෙස රම්‍යා වනිගසේකර නිරූපණය කළ භූමිකාවද මීට නිදසුන් වේ. ‘හිරු නැති ලොව’ ලෙස රංජිත් ධර්මකීර්ති සිංහලයට නඟන ලද්දේ මක්සීම් ගෝර්කිගේ ‘Lower Depths’ නාට්‍යය වේ. සමාජවාදී යථාර්ථවාදය සිංහල ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑමට ධර්මකීර්ති මින් උත්සුක වූයේය. ලාංකේය සම්භාව්‍ය සාහිත්‍යය හා රුසියානු සාහිත්‍යය අතර පවත්නා සබඳතාවද මින් සහෘදයාට ග්‍රහණය විය.

රංජිත් ධර්මකීර්ති වරින්වර විවිධ අත්හදා බැලීම්වලට යොමු වූ නාට්‍යවේදියෙකි. 1973 දී වේදිකාවට පැමිණි ඔහුගේ ‘හස්තිරාජ මහත්තයා’ ප්‍රේක්ෂකයාට නැවුම් අත්ැදකීමක් ගෙනා නාට්‍යයකි. මේ වූ කලී ඉයුජින් අයනෙස්කෝගේ ‘The Picture’  (1955) නමැති අභූතරූපී (Absurd) නාට්‍යයෙහි පරිවර්තනයකි. මෙයට විචාරක, ප්‍රේක්ෂක උභය පාර්ශ්වයෙහිම ඇගැයුම ලැබිණ. සුමින්ද සිරිසේන හා කරුණාරත්න හඟවත්ත (වත්මනෙහි ඇමරිකාවේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය) මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. පෙර කී ලෙසින් තාරුණ්‍යයේ සිටියදී වයස 80 ක මහලු අසල්වැසි ගැහැනියක ලෙස මෙහි රම්‍යා වනිගසේකර රඟපෑවාය. මෙය ඇයගේ රංගන දිවියේ මුල්කාලීන චරිත නිරූපණයකි. මසුරු ධනපති පුද්ගලයකුගේ මානසික තතු මින් විවරණය කෙරිණ. මේ නාට්‍යය අරභයා මහගම සේකරයන් පැවසූ කියුමක් මේය.

‘ධනවතුන් විසින් ධනය ඉපදීම සඳහා කලාකරුවන්ගේ ශ්‍රමය සූරාකන හැටි, අපේ රටේත් කලා ශිල්පීන් බොහෝ විට මුහුණපාන ඉරණම දිහා බැලුවහම මෙය බෙහෙවින් කාලෝචිත තේමාවක් බව කියන්නට පුළුවනි. නාට්‍යය ඉදිරිපත් කරලා තිබෙන්නේ අසම්මත රංග රීතියකින්. මෙම රීතිය මෙවැනි තේමාවක් සඳහා ඉතාමත් උචිත යැයි මට හිතෙනවා’.

රම්‍යා වනිගසේකර නම් වූ කුසලතා පූර්ණ නිළිය රැඟුමෙන් හා ගැයුමෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට 1973 දී කැඳවාගෙන එන ලද්දේ ප්‍රවීණ සංගීතවේදී ජයතිස්ස අලහකෝනුන්ය. සුප්‍රකට නර්තනවේදී වසන්ත කුමාරයන්ගේ ‘රාමායණය’ මුද්‍රා නාට්‍යයෙහි කයිකේ බිසව ලෙස ඇය රැඟුමෙන්, ගැයුමෙන්, නර්තනයෙන් මුල්වරට දායක වූවාය. චන්දි ගුණතිලකගේ ‘හේවායෝ’, ජයා ටී.හේරත්ගේ ‘පෙට්රුකා’, සිරි එදිරිසිංහගේ ‘රුධිරය සහ ගංගාව’, ‘ගුණසේන ගලප්පත්තිගේ ‘ලියතඹරා’, ‘සඳකිඳුරු’ යන නාට්‍යවලට රම්‍යා දායක වූයේ ගායනයෙනි. රංජිත් ධර්මකීර්තිගේ ‘හස්තිරාජ මහත්තයා’ (1973) නිළියක ලෙස විචාරක, ප්‍රේ්ක්ෂක අවධානයට ඇය පාත්‍ර වූ පළමු නාට්‍යය ලෙස සැලකිය හැකිය.

 

ඉතිරි කොටස ලබන සතියේ...