මහසුපින පෙනෙන්නේ නෙළුම් පොකුණේ පමණයි

නොවැම්බර් 15, 2018

කොසොල් රජුගේ හීන 16 පිළිබඳ ඔබ අසා ඇතුවාට සැක නැහැ. ජාතක කතා පොතේ 77 වැනි ජාතකය වන මහා සුපින ජාතකය ලෙසයි එය අප කියවා ඇත්තේ. මහාචාර්ය ආරියරත්න ඇතුගල පිළිබඳවත් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

එහෙත් ඔහුගේ අලුත්ම වෑයම පිළිබඳ කිව යුතුයි. ඒ හෙට (16) සවස නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවේදී මහාචාර්ය ඇතුගලයන්ගේ හීනය හැබෑ කරමින් කොසොල් රජුගේ හීන සොළස 'මහසුපින' නමින් වේදිකා ගත වීම පිළිබඳවයි.

එහෙත් මහාචාර්යවරයා ප්‍රේක්ෂක සහෘදයන්ට ආරාධනා කරන්නේ ඇතුගල වෙනුවෙන් නොව, මෙය ජාතික පද්ධතියේ සිදුවන අලුත් දෙයක් වෙනුවෙන් බව සිතා සහභාගී වන ලෙසයි. අපි විමසමු මහසුපින සහ අපේ රටේ රංග කලා මාධ්‍යයන් පිළිබඳව ඔහුගේ අදහස කුමක්ද කියා.

 

* මහසුපින ජාතකයම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

මේ කාලෙට හොඳීන්ම ගැළපෙන ජාතක කතාව. මං හිතන්නේ නැහැ මීට වඩා තවත් ගැළපෙන එකක් තියෙයි කියලා.

 

* මෙය කැලණිය විශ්වවිද්‍යාලයේ ඔබේ සිසුන් විසින් සංවිධානය කරන්නක්?

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ඉගැනුම් ඉගැන්නුම්, පන්තිකාමර සහ පැවරුම් ක්‍රම හරිම සාම්ප්‍රදායිකයි. සිද්ධාන්ත වැඩියි. සමාජාවබෝධයට වගේම සමාජයටත් ඒ ඥානයෙන් කිසි ඵලක් නැහැ. අද ලෝකේ නිර්මාණාත්මක කලාව විශේෂයෙන් නාට්‍ය කලාව භාවිත කරනවා ළමයකුගේ පෞරුෂය, නිර්මාණ ශක්තිය, සිතුවිලි ශක්තිය, ක්ෂණික තීරණ ගැනීම, ඉදිරිපත් කිරීමේ හැකියාව, කතා කිරීම, ශබ්ද පාලනය, කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අදී බොහෝ අත්දැකීම් සමුදායක් එකවර ඉතා කෙටි කලකින් කියා දෙන්න. ඉතින් මේ මානව ගුණයන් හඳුනා ගන්නේ කොහොමද කියන එකයි අපේක්ෂා කරන කාර්යය.

අනෙක මම නිර්මාණ කාර්යයේදී මහසමයම වගේ අත්දැකීමක් එක්කයි ඉන්නේ. ඒ අත්දැකීම ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවත් දෙවැනි කාරණයක් ලෙස තිබුණා. තුන්වැනුව මම නියැලී සිටි ටෙලි නාට්‍ය වැනි කලා මාධ්‍යයන් අද පරිහානියට පත්වෙලා. ගුණාත්මක සංවර්ධනයක් දියුණුවයක් නැහැ. ඒ නිසා මම හිතුවා වේදිකාව තමයි යම් යම් පර්යේෂණ කරන්න සුදුසු කියලා.

 

* මෙයට සම්බන්ධ පිරිස?

කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශය ප්‍රමුඛව, මහජන සම්බන්ධතා, නාට්‍ය කලා අංශයේ සමහර විට නාට්‍ය විෂයය නොකළ අය වගේ මෙය විවෘත මට්ටමකයි කරන්නේ. සියලුම වසරවල ළමයින් ඉන්නවා. පිටින් ප්‍රවීණයන් සම්බන්ධ වෙනවා.

 

* එවැනි මිශ්‍රණයකින් බලාපොරොත්තු වන්නේ?

මහා සමාජයේ තිබෙන නාට්‍ය කලාවන් සමඟ ගැළපෙන නාට්‍ය කලාවක් හෝ නිර්මාණ භාවිතයක් තමයි විශ්වවිද්‍යාලවලින් හැදෙන්න ඕනා. අද විශ්වවිද්‍යාල විශාල නිර්මාණ අන්ධකාරයක ඉන්නේ. ඒ නිසයි අපි ප්‍රවීණ සහ තරුණ පරපුරේ අත්දැකීම් සහිත අය විද්‍යාර්ථීන් සමඟ මුහු කරවා සමාජයේ අත්දැකීම ලබා දෙන්න උත්සාහ කරන්නේ.

පිට කෙනකු ගෙන්වා දේශනයක් කරනවාට වඩා ඔවුන්ගේ ප්‍රායෝගික ඥානය ලබා දීමයි වැදගත්. ඉතින් බුද්ධදාස විතානාච්චි, මාදනී මල්වත්ත, අඛිල ධනුද්ධර, සාරංග දිසාසේකර, ජනක රණසිංහ, සුලෝචනා වීරසිංහ වැනි ශිල්පීන් වගේම ඉතාම වැදගත් කොට සලකන්නේ රවිබන්දු විද්‍යාපති වැන්නකුගේ රංග භාවිතය සහ දැනුම ලංකාවෙ තව කෙනකු ළඟ නැහැ නර්තන විෂයය සම්බන්ධයෙන්.

ඒ වගේම තරුපති මුණසිංහ වැනි සංගිතඥයෙක්. උපාලි ආරියසිරි වැනි වේදිකා පරිපාලකයෙක් සමඟ සම්බන්ධ වීම අලුත් සිසුන්ට ඉතා වැදගත් වෙනවා.

නෙළුම් පොකුණ කියන අත්දැකීම නැතිව, විශ්වවිද්‍යාල සන්නිවේදන විෂයය හෝ කලා විෂයය කරන විද්‍යාර්ථීන් ඉන්නවාය කියන එක අප වෙනස් කළ යුතුයි.

 

* එතකොට අනෙක් රංග ශාලා?

අන්තර්ජාතික වේදිකාව අපට අත්විඳීන්න පුළුවන් එකම තැන නෙළුම් පොකුණ. එහි අඩුපාඩු තිබෙනවා කිය කිය ඉන්නේ නැතුව තේරුම් ගත යුතු දේ තමයි ඇත්තෙන්ම අඩුපාඩු තිබෙන්නේ අපේ අනෙක් වේදිකාවල බව.

ඉස්කෝලවලයි, හැම තැනමයි පෙන්නන වේදිකාවලනේ අඩුපාඩු තියෙන්නේ. එහෙම නැති එකේ අඩු පාඩු ගැන කතා කරද්දි, එහෙනම් හොඳට තියෙන වේදිකාවක් මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් එහෙම? අපි කොළඹ ගත්තත් ලයනල් වෙන්ඩ්ට් ඇරුණාම එකක් නැහැ. ඒත් නෙළුම් පොකුණට වැරදි කියමින් අපි ලංකාව පුරාම යන්නේ වැරැදි වේදිකාවලට. ඊට හොඳයි තිබෙන අත්දැකීම අපි ගන්න එක.

ජෝන් ද සිල්වා රඟහලත් කඩන්න කලාකරුවන් උදව් කළාට හදන තීන්දුව ගැනීම දේශපාලනඥයින්ට පැවරිලා. ඉතින් මෙහෙම අවස්ථාවක නෙළුම් පොකුණ ප්‍රතික්ෂේප කරන්න බැහැ.

* මෙය නිෂ්පාදනය කරන්නේ විශ්වවිද්‍යාලයෙන්?

සරච්චන්ද්‍ර යුගයෙන් පස්සේ විශ්වවිද්‍යාලයක් පළමුවැනි වතාවට මේ ආකාරයෙන් නිෂ්පාදනයකට අත දෙන්නේ. මහාචාර්ය සරච්චන්ද්‍රලාටවත් මේ ආකාරයෙන් අත දුන්නා කියා මම හිතන්නේ නැහැ. ළමයින්ගෙන් ශත පහකවත් මූල්‍ය දායකත්වයක් ගන්නේ නැහැ. (සිනාසී) සමහර ඒවා මගේ අතින් යන්නේ එවා එච්චර ගණන් ගන්න දෙයක් නැහැ.

 

* සාමාන්‍යයෙන් සමස්ත නිෂ්පාදන වියදම?

මිලියන දෙකක් විතර කීවොත් හරි ඇති. අවුරුදු දෙකක් පමණ තිස්සේ පර්යේෂණ කරන්න, ශාලාව වෙන් කරන්න, පුහුණුවීම් කරන්න. අනෙක් පහසුකම්වලට. ඉතින් අපි ඒ තීරණයට, කැප කිරීමට ගෞරව කරන්න ඕනා. මේ රටේ කොච්චර හොරකම් නාස්ති සිදුවෙනවාද? අලුත් පරම්පරාව වෙනුවෙන් වියදම් කිරීමක් කොහෙද තියෙන්නේ? මෙය එක්තරා ආකාරයක ජාතික වැදගත්කමක් සහිත සන්ධිස්ථානයක්.

 

අපි තාක්ෂණයට අමතරව මේ නෙළුම්පොකුණ වේදිකාවේ අත්දැකීම ගන්නවා කියන්නේ අනාගත පරම්පරාව හොඳ නාට්‍ය කලාවකට යයි. එක තැන පල්වන නාට්‍ය කලාවක් අද තිබෙන්නේ. තරුණ අය කීපදෙනකු අරගෙන නාට්‍යයක් කරනවා.

ඒ අය වයසට යද්දි පරිවර්තනවලට පරිවර්තනය වනවා. එතනින් එහාට කලාව දුවන්නේ නැහැ. වසරකට ස්වතන්ත්‍ර නාට්‍ය කීයක් හැදෙනවාද කියන දේ ගෙන බැලුවොත් අපේ පරම්පරාවල ප්‍රශ්නයක් තිබෙනවා.

ඉස්සර අප කළේම ස්වතන්ත්‍ර. දැන් කරන්නේ දේශපාලන ප්‍රහසනවලින් ප්‍රේක්ෂකාගාරය හිනස්සලා කීයක් හරි හොයාගෙන එන එක. මම හිතන්නේ නැහැ ඒක මේ වගේ නොදියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටකට ගැළපෙනවා කියලා.

කලාව කියලා අපි තවදුරටත් ප්‍රේක්ෂකයා සූරා කැමකට නම් යන්නේ, ඒකට නාට්‍ය කලාව කියනවාද කියලා අහන්නත් වෙනවා. කාටවත් වැරැද්දක් කියනවා නෙවෙයි. සමහර නාට්‍ය හැදෙනකොටම දර්ශන පනහ හැට බුක් වෙලා. ඒකේ නරකක් නැහැ. ඒත් ඒ නාට්‍ය කලාව වෙනුවෙන් නෙවෙයි. ඒකයි ප්‍රශ්නේ.

 

* මේ නාට්‍යය මහසුපින ජාතකය ඒ ආකාරයෙන්ම ගෙන ඒමක්ද?

නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙය රජ කතාවක් වගේ ඇති, කොසොල් රජු, බුදු හාමුදුරුවෝ එහෙම ඇති කියලා. හැබැයි ඒ ජාතක කතාවේ චරිත නැහැ. ගල් උඩ යනවා, හරක් ඇනගන්න එනවා, තණකොළ මල් පිපෙනවා වගේ දේවල්නේ. හැබැයි මම අපේ සම්මත වේදිකාවේ තිබුණු චරිත වන පරයා, සොකරි, නොන්චි, පණික්කි වගේ චරිත කීපයක් ඔවුන්ගේම මුහුණුවරින් නොවන ඒත් ඒ නම් ආශ්‍රිතව එන අදහසක් දෙන ආකාරයෙන් යොදා ගත්තා.

එහෙම ගත්තත් මෙය සාම්ප්‍රදායික ආකෘතියේ නෙවෙයි. බ්‍රෙෂ්ට්ගේ එපික් (ඡ්නඪජ) රංගයේ මූලක ආභාසය සහ මම විශ්වාස කරන මානව විද්‍යා විෂයයෙන් පෝෂණය වන (ඡ්බඪජ) රංග තිබෙනවා. ඒ හැරුණාම ලෝකේ නාට්‍ය කලාවේ තිබෙන උරා ගැනීම් තිබෙනවා. අද ලෝක ප්‍රවණතාවය තමයි, කාටවත් නිර්ණය කරන්න බැහැ නාට්‍ය කලාව මෙහෙමයි. අරයා කළේ මෙහෙමයි. ඒ නිසා ඒක එහෙම විය යුතුයි කියලා. වඩා හොඳ නිර්මාණ ආකාරය කුමක්ද එය භාවිත කළ හැකියි.

මගේ මහසමයමත් එහෙමයි. එහි ඔපෙරාවල ලක්ෂණත් තිබුණා. ලංකාවේ හෝ ලෝකේ ඇතක ලක්ෂණ වෙන්න පුළුවන්. නිර්මාණය විසින් ඉල්ලන ක්‍රමයයි යෙදිය යුත්තේ. ඒක තමයි පශ්චාත් නව්‍යවාදී ක්‍රමය.

 

 

* ඒ මිශ්‍ර ක්‍රම භාවිතය මීට පෙර යොදාගෙන තිබුණේ නැහැ කියලද ඔබ කියන්නේ?

තිබුණා. සරච්චන්ද්‍ර නාට්‍යවලත් තිබුණා. සිංහබාහු ගීත කියන්නේ මොනවාද? ඒ ඔපෙරාවල හඬ, සිංහයා නටන්නේ උඩරටද, පහත රටද සබරගමුද? නැහැ ඒ නෝ කබුකි. ඒ මිශ්‍රණය තිබුණා නාට්‍යවල. ඒත් දැන් ඊට මෙහා පරම්පරාවල අය කියනවා නාට්‍ය කියන්නේ මෙහෙමයි.

දෙබස් හයියෙන් කියන්න ඕනා, මේ ආකෘතියේ ඉන්න ඕනා කියලා. එහෙම නිශ්චිත දේවල් නැහැ. නිශ්චිත දේවල් ගේන්න ගේන්න අපි කොටු වෙනවා. අපට සරච්චන්ද්‍රගෙන් එහාට යන්න බැරි වුණේ ඇයි? මේක විශාල කොටු වීමක් මේ ඉදිරි පරම්පරාවට කර තිබෙන බාධාව අපි විමසන්න ඕනා.

ඒ වගේම අපි නොගත්ත දේවල් තිබෙනවා. දයානන්ද ගුණවර්ධනගේ කීපදෙනකු රඟන නරිබැනා නාට්‍යයේ ගුණය, ගජමන් පුවතේ ගුණය, අලුත් අය ඉදිරියට ගෙනත් නැනේ. එක්කෝ ලිංගිකත්වය, නැත්නම් දේශපාලනය අල්ලගෙන පටු සීමාවක යනවා. පුළුල් මානවදර්ශනයක් නැහැ. ටෙලි නාට්‍යවලත් එච්චරයි. අවසානයේ මෝඩකමක් ළඟ ඉතුරු වෙනවා විතරයි. ඊට වඩා එක උපමා කතාවක් කියෙව්වා නම්, කාලයක් රස විඳීන්න පුළුවන්.

 

* ඔබත් රූපවාහිනියේ සභාපතිධුරය දැරුවා, ටෙලි නාට්‍ය කළා?

අපි කලාව තුළ ඉන්න අන්ධකාරය අපට පේන්නේ නැහැ. එයට රූපවාහිනිය බලපානවා. අද ටෙලි නාට්‍ය කලාව අන්තයට පිරිහිලා. මහ සිනමාව කියන දේ රාජ්‍ය නොවන සංවිධානවල අයිතියක් වෙලා. ඉහළ පෙළේ තරුණ, අලුත් නිර්මාණකරුවන් සියල්ලම පාහේ රාජ්‍ය නොවන සංවිධානවලට යටයි.

හැබැයි ලෙස්ටර්ලා පතිරාජලා තිස්ස අබේසේකරලා යට වුණේ නැහැ. අද කළු සල්ලිවලින් එන්ජීඕවල තිබෙන මානසිකත්වයයි චිත්‍රපටවලින් පළකරන්නේ. අපි ඒවාට විශිෂ්ටයි කියා කල්ලියක් හදාගෙන ඉන්නවා. පිටරටවලට ඕනේ මේ රටේ තිබෙන සිනමාව, නාට්‍ය කලාව පරිහානියට යවන්න.

ඔය පිටරටවලින් ඇවිත් මහාචාර්යවරු කිය කිය නාට්‍ය පුහුණු කළා ඒ අය එන්ජීඕ ඉත්තෝ. ඔවුන් උත්සාහ කළේ ඒ හරහා අපේ මනස විකෘති කරන්නයි. සමහරු එයින් මිදී පර්යේෂණාත්මක නිර්මාණ කරන්න උත්සාහ කරනවා.

ඒත් බහුතරය එන්ජීඕවලින් ලොකු සල්ලි අරගෙන ඒවාට හරියන චිත්‍රපට හදලා හරිම විකල්ප නිර්මාණකරුවන් වෙලා ඉන්නවා. ඒ අය තරම් දැනුම තිබෙන අයත් නැ. පශ්චාත් නව්‍යවාදීනුත් නැ. මේ ව්‍යාජය රටට කියන්න බොහෝ දෙනා බයයි. සමහර විචාරකයන් පවා ඒ අයගේ නිර්මාණ ගැන පමණයි ලියන්නේ. මොකද තමන්ගේ පැවැත්ම උදෙසා.

 

* හැබැයි ඔවුන්ගේ නිර්මාණ සම්මාන ලබා තිබෙනවා?

ඒ අය කරන්නේ මේ රටේ විකෘතිතාවන් දක්වලා සම්මාන හඹාගෙන යැමයි. ඒ නිසා අපට හොලිවුඩ් සිනමාවටවත් බොලිවුඩ් සිනමාවටවත් ලොකේ මහා සිනාමවටවත් මේවා සමාන කරන්නත් බැහැ. ඔය කාටවත් තවම ලෝකේ මහා සිනමාව කියන දේ හරියට අහුවෙලාත් නැහැ.

ලෙස්ටර්ට නිධානයෙන්, පතිරාජට පාරදිගෙන් හසුවුණු මහා සිනමාව මේ එන්ජීඕ කාරයන් එක්කෙනෙකුටවත් අහුවෙලා නැහැ. රටේ කොහේ හරි මුල්ලක වුණ දෙයක් සමස්තීකරණය කරනවා විතරයි. මේ අයට තමන්ගේ චිත්‍රපට පෙන්වන්න ඕනෙත් නැහැ. සති දෙකක් පෙන්නුවාම ඇති කියලා කලින්ම තීරණය කරලයි ඉන්නේ.

මුල් චිත්‍රපටය පෙන්නුවේ නැතත් ඒක තියෙද්දි ඊළඟ චිත්‍රපටය කරනවා. කොහෙන්ද සල්ලි. සාමාන්‍ය නිෂ්පාදකයෙක් දෙන්නේ නැනේ. ඒකත් මේ දේශපාලනයට සල්ලි එනවා වගේම තමයි. එය ලංකාවට පමණක් නොවෙයි ආසියානු කලාපයේ දිලිඳු රටවල් බොහොමයක ගැටුම් ඇති කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන කරගෙන යන වැඩපිළිවෙළක්.

සිංහල දෙමළ වෙන්න පුළුවන්, කලාකරුවන් අතර වෙන්න පුළුවන්, මේ දේවල් හරි සංකීර්ණයි. අපි ඒවාට සිනමාව කියමින් ඉන්නවා. මම හිතන්නේ අපේ රටේ පතිරාජගෙන් පස්සේ සිනමාව නැවතුණා. ඔවුන්ට තිබුණු දර්ශනය, සිනමා රූපමය දෘෂ්ටිය, ප්‍රස්තුතයක් විශාල වපසරියක් සහිතව අල්ලා ගැනීමේ හැකියාව මේ කාටවත් නැහැ. මේ අය ජිමික් කාරයෝ. එන්ජීඕ කාටූන්කාරයෝ.

 

* සිනමාව හෝ රංගනය පිළිබඳ ඔවුන්ට හෝ කාට හෝ අධ්‍යයනයට විධිමත් ක්‍රමයක් නැති වීම හේතුවක් නෙවෙයිද?

සිනමාව හදාරන්නන්ට ජාතික චිත්‍රපට සංස්ථාවේ සිටම උගන්වන්න කිසි කෙනෙක් නැහැ. පූනෛ ගියාම ඒ බව තේරෙනවා. ගුරුවරු ඉන්නවා. විෂයය දැනුම තිබෙන්න ඕන උගන්වන්න. චිත්‍රපටයක් කළ පළියට විෂයය උගන්වන්න බැහැනේ. ඒ නිසා උගන්වන පිරිසකුත් නැහැ.

 

* ඔබේ නාට්‍යයේ නවක පිරිස ඒ අඩුපාඩුවෙන් ගලවා ගත්තේ කෙසේද?

මෙහිදී මම භාවිත කළේ ඔවුන් ළඟ තිබෙන දේ ඉදිරියට ගැනීමේ උපක්‍රමයයි. මම ඔය සම්මත ව්‍යායාම කළේ නැහැ. මනස ව්‍යායාමයට ලක් කළා. හිත නිදහස් කර ගත්තාම කොහොමද මෙය අල්ලා ගන්නේ කියලා. එයට එක් අතකින් අපේ දිගු කාලීන ක්‍රමවේදයක් වන නර්තනය යොදා ගත්තා.

අනෙක් අතට සංගීතය යොදා ගත්තා වාචික ශක්තිය ගන්න. ඒ හැර නාට්‍යකරණය පිළිබඳ පාසල්වල උගන්වන කිසිම දෙයක් මේ පිරිස දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ එය දැන ගන්න ඕනා කියලත්. ස්ටැනිස්ලවුස්කිගේ මහා න්‍යායන් ගැන කතා කරද්දි ජෝ අබේවික්‍රම එය ප්‍රායෝගිකව කරනවා.

අප කළ යුත්තේ තරුණයන් හිර කරලා වහලා තියන්නේ නැතිව විවෘත වන්න ඉඩදීම. එවිට ඔවුන් ඒ පසුපස හඹාගෙන යාවි. අනෙක මම විශ්වාස කරන්නේ අපි කාගේවත් ක්‍රමවේද භාවිත නොකළ යුතුයි. මේ වෙනස්වෙන ලෝකයේ මට කියලා ක්‍රමවේදයකුත් නැති එකේ ඒ වෙනස් වීමට අනුව එතැනට ගැළපෙන දේ අර්ථවත් කර ගැනීම තමයි කලාව කියන්නේ.

 

* ඒ කියන්නේ මෙයට නිශ්චිත පෙළක් නැත්ද?

තිබෙනවා. මෙහි පෙළක් තිබෙනවා. ඒත් මෙතෙක් කළ සම්මතයට වඩා වෙනස් දෙයක් කෙරෙන නිසා එයට ගැළපෙන එය විසින් ප්‍රකාශ කරන දේටයි මම සූදානම් වන්නේ. අද ප්‍රේක්ෂකයා කියන්නේ හිතන්න ඉඩ සැලැස්විය යුතු පිරිසක් මිස හිතලා එන කෙනෙක් නෙවෙයිනේ.

මේ යුගය කියන්නෙත් මිනිසාට හිතන්න දීම නැවැත්වූ යුගයක්. ඒ නිසයි අපට දේවල් තේරෙන්නේ නැත්තේ. මම කරන්නේ ඒ ඉඩ හදා දෙන එක. මෙහි මට දෘෂ්ටියක් නැහැ. බුදුන්වහන්සේට දෘෂ්ටියක් තිබෙනවා. එය කැන්වසයක් වගේ.

 

* නෙළුම් පොකුණේ හැර මෙය දුර පළාත්වල රඟ දක්වන්න බැරිද?

ඕක බොහොම සාපේක්ෂ කාරණයක්නේ. ලංකාවේ කවුරු නාට්‍යයක් කළත් එය බලනවාද නැද්ද කියා තීරණය වන්නේ එහි ස්වභාවය මත. ජංගම නාට්‍ය කලාව ඔහේ තිබුණාවේ. මම විශ්වාස කරන්නේ මහා නාට්‍ය කලාව, ජරාජීර්ණ අනෙකුත් කලාවන් අතර විශේෂව පෝෂණය කරන්න දෙබස් විතරක් මදි.

ආකෘතිය වෙනස් කළ යුතුයි. එය කළ හැකි එකම ස්ථානය ලංකාවේ නෙළුම් පොකුණ. ලෝකයේ මේ සම්ප්‍රදාය බිහි වී තිබෙන්නේ එහෙම තමයි. ටයි කෝට් දාගෙන දින වෙන් කරගෙන මිනිස්සු නාට්‍ය බලන්න එන්නේ එක් අතකින් ගෞරවණීයව සහ වින්දනීයව. අපට නිලාවේලි මුහුදේ නාන්න අවශ්‍ය නම් අප එහි යා යුතුයි.

නිලාවේලි මෙහෙ එන්නේ නැහැනේ. අපට රුවන්මැලි සැය වඳීන්න ඕන නම් අනුරාධපුරේ යායුතුයි. ඒකයි කලාව කියන්නේ. එහෙම නැතුව තමන් ළඟට එන ඕන ජරාවක් කියවන එක නෙවෙයි. අපට තෝරා ගැනීමක් තිබිය යුතුයි. අනෙක ලොකු මුදලක් වැය වන්නෙත් නැහැ. ලයනල් වෙන්ඩ්ට් එකේ නාට්‍යයක් බලන්න ගියත් ඒ මුදල වැය වෙනවා. ඒ නිසා බය වෙන්න, බනින්න ඕන නැහැ. කලාව තමන්ගේ ජීවිතේ බද්ධ කොටසක් කර ගන්න පුළුවන් වන්නේත් එවැනි සුවිශේෂී අත්දැකීමකට මුහුණ දුන්නාම තමයි.

මේ කතාවේ හිනාවෙන්නත් බොහෝ දේ තියෙයි. ඒ වගේම හිතන්නත් දේ තියෙයි. ජාතක කතාවක තිබෙන දේශපාලනය, මනුෂ්‍යත්වය, කාන්තා අයිතිය, බදු ප්‍රශ්න මේ සියල්ල නාට්‍යයේ අඩංගුයි. මේ සියල්ල අපේම ප්‍රශ්න තමයි. ඩොක්ටර් ෂිවාගෝ, ටයිටැනික්, අර්ත් සෝං වියදමක් දරලා අමාරුවෙන් කළ වැඩ තමයි.

ඒත් මයිකල් ජැක්සන් ජනප්‍රිය ආකෘතියෙන් පරිසරය විනාශ කරන්න එපා කියලා ලෝකෙම හඬවද්දි අපි තාමත් ආදර සින්දු පච කිය කිය ඉන්නවා. මයිකල් ජැක්සන් කළ දේ අපේ ප්‍රවීණයන්වත් තාම කරලා නැහැ. එවැනි පද පෙළක්වත් ලියලා නැහැ. කලාව තිබෙන්නේ ඒ වගේ දේවල.

අපි ජනප්‍රිය කියලා ඉවත් කළාට එයින් එන ගැස්ම, වින්දනය වෙන කිසිවකින් ලැබෙන්නේ නැහැ. සම්භාව්‍යද ජනප්‍රියද කියලා දෙයක් නැහැ. සම්භාව්‍ය කලාව කියන්නේ පුරුද්දක් විතරයි. ඇත්තටම අපේ සාම්ප්‍රදායික ගැමි කලාව හරියට අධ්‍යයනය කළොත් මේ සියල්ල තිබෙනවා. ලෝකේ වෙන කොහේවත් යන්න ඕනෙ නැහැ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.