සාරංග ඩිනක්ෂි එක්ව පොලීසියට පැමිණිල්ලක්

ජනවාරි 17, 2019

කපිල රස්සනායකගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ පෙබරවාරි මස 23 වැනිදා මොරටුව සර්වෝදය මූලස්ථාන ශ්‍රවණාගාර රඟහලේදී වේදිකා ගතවීමට නියමිත ය. වේදිකාවට පිවිසුණු තරුණ නාට්‍යකරුවන් අතර එක් නාට්‍යකරුවකු වන කපිල රස්සනායක ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ වේදිකා නාට්‍යයට පෙර ‘ප්‍රේමය නම්’, ‘පිරිමි දහයක් කතා කරයි’, ‘රෙද්දක්’ ආදී සම්මානනීය නිර්මාණ රැසක් වේදිකාවට රැගෙන පැමිණියෙකි. මේ පෙළ ගැසෙන්නේ නාට්‍ය කලාව මඟින් සමාජයට යම් පණිවුඩයක් ගෙන යා හැකි යැයි යන මතයේ සිටිමින්, සමාජයේ මිනිසුන් අතර වෙනස් ආකල්ප ඇති කිරීමේ ලා අදහසින් කටයුතු කරන මේ තරුණ නාට්‍යකරුවා සමඟ ඔහුගේ අලුත්ම නිර්මාණය පිළිබඳ කළ සාකච්ඡාවකි.

‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ මඟින් විදහා දැක්වෙන්නේ කුමන කාරණා ද?

මේ නාට්‍යයෙන් ප්‍රධාන වශයෙන් ම කියැවෙන්නේ මේ සමාජය ඇතුළේ පිරිමියකු ලෙස, නැත්නම් යම් කිසි මනුෂ්‍යයකු ලෙස සමාජ ගත වන්නේ කෙලෙස ද යන්නයි. එහිදි පීතෘ මූලික සමාජ ක්‍රමයක් ඇතුළේ පිරිමියකු සමාජගත වන්නේ ඒ කියන බලයත් සමඟයි. පිරිමි ළමයකු කරණ කොට ගනිමින් පුංචි කාලයේදී ඔහුට ලැබෙන්නේ ගැහැනු ළමයාට ලැබෙන්නේ නැති සමාජ වරප්‍රසාද රැසක්. සමාජයෙන් පවසන්නේ ගැහැනු මොළේ හැදි මිටේ. ගැහැනු වගේ වැඩ කරන්න එපා. හෙමිහිට වැඩ කරන්න එපා. මොකද බං ළතැවෙන්නේ ගැහැනියෙක් වගේ. උයන වැඩ ගැහැනු වැඩ, පිරිසිදුව, පිළිවෙළකට ඉන්න එක ගැහැනු වැඩක්. ගහගන්න, ප්‍රචණ්ඩත්වය පිරිමි වැඩක්. ඊළඟට උඹව හෝදලා හරි ගෙට ගන්න පුළුවන්; උඹ පිරිමියා. ගෙදරට කැරැපොත්තෙක්, පොළොං පැටියෙක් ආවත් ඌව මරන්න පුහුණුව දෙන්නේ කොල්ලට. චූටි කාලයේදි පටන් දෙන සෙල්ලම් බඩු ගත්තත් බෝනික්කන් ගැහැනු ළමයින්ට දෙන ගමන් තුවක්කුව දෙන ලෝකයක් තිබෙන්නේ පිරිමින්ට. මනෝ විද්‍යාත්මක වශයෙන් ගත්තත් මේ කාරණා පිරිමයකුගේ මනෝ සමාජීය සංවර්ධනයට යම් බලපෑමක් ඇති කරනවා. මොකද මා එලෙස පවසන්නේ මනුෂ්‍යයකු ලෙස අප සෑම දෙයක් ම ඉගෙන ගන්නේ සමාජයෙන් නිසයි.

ඔහු මේ කරන පැමිණිල්ල මොකක්ද?

මනුෂ්‍යයකු යනු එක් අයකු නොවෙයි. සමස්ත සමාජයක එකතුවකුයි. ඔවුන් සියල්ලන්ටම නුඹ මේ මේ දේ කළ යුතු යැයි යනුවෙන් ලිංග බේදයක් ඇතුළේ සිස්ටම් එකක් හදලා තිබේ නම් ඒ මඟින් ම පිරිමියකුගේ සංවර්ධනය සීමා කිරීමකට ලක් කිරීමයි සිදුවන්නේ. මේ නාට්‍යය මඟින් කතා කරන්නේ වැඩිහිටි බවට පත්වන පිරිමියාට මේ ආකාරයෙන් ඇති වී තිබෙන ප්‍රශ්න ගැනයි. පිරිමිකම ඇතුළේ හිරවීම ගැන ඇති වී තිබෙන ප්‍රශ්න ගැනයි. ඔහුට උයන්න බැහැ. ඔහු ගැහැනු ළමයින්ව පාලනය කළ යුතුයි. ඒ නිසා ඔහුට ආදරණීය විදියට ඇයත් සමඟ ලිංගිකත්වය බෙදා ගන්න බැහැ. ඔහුට ඒ වගකීම ලැබෙන්නේ උප්පැන්නයේ පටන්. වාසගමේ පටන් ඒ කාරණය එහෙමයි. මෙවැනි වටපිටාවක් ඇතුළේ ජීවත්වන මේ නාට්‍යයේ සිටින තරුණයා කල්පනා කරන්නේ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දැමීමටයි. තමාට මේ සිදු වන අසාධාරණය ගැන සාධාරණයක් නීතියේවත් තිබේ දැයි සිතමින් ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් දමනවා.

ඔබ ඒ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට තෝරාගෙන තිබෙන්නේ අසම්මත රංග ශෛලියයි

හාස්‍යෝත්පාදක ගණයට වැටෙන මේ වේදිකා නාට්‍යය නිර්මාණය මා ඉදිරිපත් කරන්නේ ඇබ්ස්ට්‍රෑක් රංග ශෛලියෙන්. නැත්නම් මොන පිරිමියා ද තමන් හැදුණ විදියට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ.

ඒ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ඔබ තෝරාගෙන තිබෙන්නේ වර්තමානයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක හා ශිල්පියකුයි. ඊට හේතුව කුමක්ද?

පොලිස් නිලධාරියා විදියට රඟ පාන්නේ සාරංග දිසාසේකරයි. අසාධාරණයට ලක් වූ තරුණයාගේ චරිතය විදියට මමත්, මගේ සහෝදරිය විදියට, මගේ පෙම්වතිය විදියට, මගේ පාසල් කාලයේ යහළුවා විදියටත් රඟපාන්නේ ඩිනක්ෂි ප්‍රියසාද්. ඔවුන්ව ප්‍රධාන ලෙසම යොදා ගන්න හේතුව නම් සමාජ වෙනසක් කරා යන්නට නම් යම් සිවිල් බලයක් අවශ්‍යයයි. ඒ බලය මට නැහැ. ඒත් සාරංග එවැනි දෙයක් පැවසුවොත් සමාජයේ බොහෝ දෙනෙක් ඒ ගැන අසන්නට පුළුවන්. ඩිනක්ෂිත් ඒ වගේ චරිතයක්. ඒ වගේ ම හොඳ නිර්මාණයක් කිරීමට ඔවුන් දෙදෙනාගෙ සිතේ තිබුණු කැමැත්තත් ඊට බලපෑවා. ඔවුන් දෙදෙනාට අමතරව අමිල පහතෙගෙදර හා මමත් මෙහි රඟපානවා. මෙහි සංගීතය නොනිම් යසිත්, අංගරචනයෙන් ප්‍රේම්ජයන්ත් කපුගේත්, වේදිකා පසුතල නිර්මාණයෙන් හරීන්ද්‍ර ටීජේත් සහය වෙනවා. පිටපත හා අධ්‍යක්ෂණය මගේ. නිෂ්පාදනයෙන් අපට සහය වූයේ fisd  ආයතනය හා බී ද චේන්ජ් වැඩසටහනයි.

එකම නිළියක් චරිත කිහිපයක් රඟපාන්නේ ඇයි?

චරිත කිහිපයක් ම ඩිනක්ෂි ලවා රඟපෑමෙන් මා අදහස් කළේ ගැහැනු ළමයාට හා පිරිමි ළමයාට එක් එක් තැනකදී කොහොමද බෙදන්නේ පෙන්වීම සඳහායි. නිවෙසෙදී වැඩි කෑම ප්‍රමාණයක් පිරිමියාට බෙදනවා; අඩු කෑම ප්‍රමාණයක් ගැහැනු ළමයාට බෙදනවා වෙන්න පුළුවන්. සමහර විට සමහර නිවෙසකදි මේ තත්ත්වය වෙනස් විදියට සිදු විය හැකියි. කොහොම වුණත් පිරිමි ළමයා හෙමින් කන කොට කියන්නේ “මොකද බං ගෑනු ළමයෙක් වගේ හෙමින් කන්නේ ඉක්මනට කාපන්කෝ” කියලයි. එවැනි කතා කියමින් ඔහුට හෝ ඇයට මනුෂ්‍යයකු විදියට මේ සමාජය ඇතුළෙන් එළියට එන්න දෙන්නේ නැහැ. ඔවුන්ව ලිංග බේදයක් ඇතුළේ හිර කරනවා. එහෙත් ඔහුට අවශ්‍ය ආදරණීය කොල්ලෙක් වෙන්නයි; ආදරණීය තාත්තා කෙනකු වෙන්නයි. කැත කුණු අත ගාන, නැප්කින් එකක් මාරු කරන කෙනකු වෙන්නයි. ඔහුට වුවමනා එවැනි සමාජයක් දකින්නටයි. සමාජයේ එවැනි ස්ථානයක් නැති නිසයි ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් දමන්නේ.

පැමිණිල්ලේදී විත්තිකාරයන් බවට පත් වන්නේ කවුරුන් ද?

තරුණයා පැමිණිල්ල කරද්දි පොලිස් නිලධාරියා විමසන කාරණය විත්තිකරුවනුයි. එවිට තරුණයා පිළිතුරු දෙන්නේ නිවෙසේ අය යනුවෙන්. ඒ අය අත්අඩංගුවට ගත යුත්තේ ඇයි ද යන්නත් මේ තරුණයා පොලිස් නිලධාරියාට පැහැදිලි කරනවා. එහිදි සංස්කෘතිය නමින් නම් කරන චරිතයෙන් සිදු කරන්නේ ඒ නිවෙසේ තිබෙන සාම්ප්‍රදායිකත්වය දැක්වීමයි. කෑම බෙදීම, නිල්පාට, රෝස පාට දීම, තුවක්කුව පිරිමියාට හා බෝනික්කා ගැහැනු ළමයාට ලබා දීමත් සිදු කරන්නේ මේ චරිතයයි. මේ අතරදි සාජන් මහත්තයා විමසන්නේ තවත් අත්අඩංගුවට ගත යුත්තේ කවුරුන් ද යනුවෙන්. එවිට තරුණයා පවසන්නේ පාසල් ගුරුවරුන් බවයි. ඔවුන් පාසලේදී ඇති කරන බෙදීමත් මේ තරුණයා දක්වනවා. ඊට පසුව අත්අඩංගුවට ගත යුත්තන් ලෙස දක්වන්නේ මාධ්‍යයයි. මෙහිදි කාටුන් වගේ නිර්මාණ මඟින් ළමා මනසේ සිදු කරන වැඩ්ඩෙක් වීම පිළිබඳත්, වෙළෙඳ දැන්වීම්වල පටන් සියලු ම කතා මඟිනුත් පෙන්වන්නේ ගැහැනු ළමයා කළ යුතු දේ පිළිබඳව වීමත් ගැන තරුණයා පැහැදිලි කරනවා. අවසානයේ මේ කාරණය දේශපාලනය දක්වා පැමිණෙනවා. මේ විවිධ තත්ත්වයන් හාස්‍යෝත්පාදකව දැක්වීමයි මේ වේදිකා නාට්‍යය මඟින් සිදු කරන්නේ.

මේ සමාජයේ විවිධ කාරණා මඟින් පිරමියාව වීරයකු කරනවාට වඩා පිරිමිකම පෙන්වන්නන් බවට පත් කරනවා ?

ඔව්. ඔහුට නාන්න දෙන්නේ චූටි සබන් පොත්තක්. ඔහුට වැඩිපුර නෑවත් ඉක්මනට ම එන්න කියනවා. ඔහුගේ නෑම පවා මේ සමාජය විසින් නතර කරලා. ගලක හැප්පුණත් ඒක ඔහුට දරා ගන්න පුළුවන්. ඒ දරා ගැනීමේ හැකියාවේ වැඩි තරම කොයිතරම් ද කිව්වොත් අපේ කොල්ලෝ අපූරු දෙයක් කරනවා. වැව් බන්ට් එකේ සොරොව්ව ළඟ ගහලා තිබෙන්නේ එතැන නෑම අනතුරු දායක බවයි. ඒත් මේ කොල්ලෝ නාන්නේ ම එතැනමයි. මොකද ඒ. ඒ පිරිමිකම පෙන්වන්නයි. ඒ විදියට පසුගිය කාලයේ අපට පිරිමි චරිත රැසක් අහිමි වුණා. බෙල්ට් එක නොදා කඳු නඟින්න ගිහින් ඔවුන් වැටුණා. එලෙස සිදු වුණේ ඔහුගේ වීරකම පෙන්වන්න ගිහින් නොවෙයි; පිරිමිකම පෙන්වන්න ගිහිනුයි එවැනි අනතුරුවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණේ. මුදල් හම්බ කළ යුත්තේ පිරිමියායි. සෑම දෙයකටම වියදම් කළ යුත්තේත් ඔහුයි. ඔහු නිතරම සිටින්නේ ආතතියකින් බවයි අපට පෙනෙන්නේ.

ඔබ නිර්මාණකරණයට පිවිසෙන්නේ මොන වගේ පරිසරයක් ඇතුළේ ද?

මගේ ගම නිකවැරැටිය රස්නායකපුරයි. කුරුණෑගල තරුණ සේවා සභාවේ මා නාට්‍ය පුහුණු වුණා. මගේ මුල් ම ගුරුවරයා බවට පත් වන්නේ සමන් ගාමිණී මහත්මායි. ඒ වගේ ම විවිධ වැඩමුළුවලට සහභාගි වී මා මගේ නාට්‍ය දැනුම වැඩි දියුණු කර ගත්තා. ඒ අතර මා නාට්‍ය කළා. මගේ ම කියලා සංවිධානයක් බිහිකර ගත්තා. කොළඹට පැමිණියේ මගේ සමාජය පිළිබඳ සංස්කෘතික උපාධිය කරන්නයි. ඒ වගේ ම මගේ එම්.ඒ එක කරන ලද්දේ සමාජ විද්‍යාව ඇසුරෙන්. ඒ ඉන්දියාවේ කේරළ විශ්වවිද්‍යාලයෙන්. ඒ කාලයේ මට හැඟුණ දෙයක් වූයේ නාට්‍ය කියන්නේ සමාජ ප්‍රශ්න කතා කරන්න හැකි හොඳම මෙවලමක් විදියටයි. ඕනෑම ප්‍රශ්නයක් කතා කිරීමේ හැකියාව එයට තිබෙනවා. මනුෂ්‍යයන් විදියට සියල්ලන්ටම සමාන වූ, සාධාරණ වූ පද්ධතියකුයි අවශ්‍ය වන්නේ. එතැනට පැමිණීම සඳහායි මා කලාව යොදා ගන්නේ. ඒ සඳහා විවිධ ආයතන සම්බන්ධ කර ගනිමින් මා නාට්‍ය ඉදිරිපත් කරනවා. ඒ වගේ ම මගේ නිර්මාණ ජීවිතයට මේ වන විට වසර අටක පමණ කාලයක් ගතවෙලා.

ඔබගේ නිර්මාණ මඟින් වැඩිපුරම කතාබහට ලක් කර ඇත්තේ පුරුෂයන් පිළිබඳයි. එවැනි නිර්මාණ කිරීමට පෙලඹුණේ සමාජයක් ඇතුළේ පුරුෂයකු විදියට ඔබ මුහුණ දුන් විවිධ කාරණාද?

සමාජයක් ඇතුළේ දකින බොහෝ දේ වගේ ම මා විඳී දේත් මගේ නිර්මාණවලට බලපෑවා. මම පිරිමි ළමයකු විදියට කුර්තා අඳීන්න කැමැතියි. ඒක රෝස පාට ද, නිල්පාට ද කියලා මට වැඩක් නැහැ. ඒ නිසා මට වුවමනා ඕනර් කෙනෙක් වෙන්නයි. ඒත් මේ සමාජය මට එහෙම කෙනක් වෙන්න දෙන්නේ නැහැ. මේ නිසා මගේ අදහස නම් ගැහැනු පිරිමි බව මත සිටිය යුත්තේ බයෝලොජිකලි පමණක් බවයි; ඊට මෙහා සමාජගතව මනුෂ්‍යයන් විදියට අප සියලු දෙනා පිළිබඳ සිතිය යුතු බවයි මගේ සංකල්පය වන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.