මං කෙළින් මිනිහෙක්

Sex+Politics=?
ජනවාරි 31, 2019

- අසංක සායක්කාර

පසුගිය කාලයේ වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු වේදිකා නාට්‍යයක් වන්නේ අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්’ වේදිකා නාට්‍යයයි. වාරණයකට හසු වීමෙන් පසු යළිත් සාර්ථකව ‘මං කෙළින් මිනිහෙක්’ වේදිකා ගත වෙයි. මේ ‘මං කෙළින් මිනිහෙක්’ වේදිකා නාට්‍යයේ පසුබිම පිළිබඳත්, එය වාරණයට ලක් වීම පිළිබඳත් අසංක සායක්කාර සමඟ සරසවියට කළ කතාබහකි.

ඔබ ‘මං කෙළින් මිනිහෙක්’ වේදිකා නාට්‍යයේ තේමාව ලෙස ඈඳා ගන්නේ එක්තරා දේශපාලන පසුබිමක කතාවක්

එක්තරා දේශපාලන පසුබිම් කතාවක් කියන්නේ සිදු වුණු සිදුවීමක් ද? නැද්ද කියන කාරණය නොවෙයි අප ගන්නේ. අප ඒ සඳහා ගන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය හා ලිංගිකත්වය අතර තිබෙන සම්බන්ධයයි. ඉතිහාසයේ පටන් ම බලය හා ලිංගිකත්වය පිළිබඳ තිබුණේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. මේ සම්බන්ධය සාමාන්‍ය ජන ජීවිතයට බලපාන්නේ කොහොමද? එයට වමේ දේශපාලනඥයෙක් මැදිහත් වුණාට පස්සේ ඇති වන තත්ත්වය මොන වගේ ද? කියන මේ කාරණායි අප ‘මං කෙළින් මිනිහෙක්’ නිර්මාණය සඳහා එකතු කර ගත්තේ. සාමාන්‍යයෙන් රටේ සිද්ධ වුණු දේවල්, රටේ සිද්ධ වීමට හැකි දේවල් කියන මේ දේශපාලන යථාර්ථයන් ඒ සඳහා එකතු වුණා.

එක්වරම ‘මං කෙළින් මිනිහෙක්’ වාරණයට ලක් කළේ ඇයි?

වාරණයට ලක්වීම කියන කාරණාව අරගෙන එන්නේ තාක්ෂණික කාරණාවත් එක්කයි. ඒත් එහි පිටුපස තිබෙන්නේ වෙනස්ම කාරණයක්. වාරණයට ආදාළ තාක්ෂණික කාරණය විදියට රැගෙන එන්නේ රැගුම් පාලක මණ්ඩලය මඟින් අනුමත නොකළ දෙබස් යොදා ගැනීම කියන කාරණයයි. අනෙක් කාරණය නම් වැඩිහියන්ට පමණයි කියන ලේබලය යටතේ සෙන්සර් බෝඩ් එක දෙන ලද නාට්‍යයක කොටස් සමාජ මාධ්‍යවල ප්‍රකාශ කළා කියන කාරණයයි. එය තාක්ෂණික කාරණය වුණත් එහෙත් එහි පිටුපස තිබෙන දේශපාලන කාරණය නම් එවකට සිටි සංස්කෘතික අමාත්‍යාවරයා කියන විජේදාස රාජපක්ෂ ඔහු නියෝජනය කරමින් සිටියේ වෙන ම සිංහල බෞද්ධ අන්තවාදී මතවාදයක්. ඒ වගේ ම ඔහු සේවය කළ පිලක් තිබුණා. ඒ මතවාදය පෝෂණය කරන්නටයි ඔහු කලා කෘති දඩයම් කිරීමක් කළේ. එයට මට පමණක් නොවෙයි කේ. කේ. ශ්‍රීනාත්ට, මාලකටත් ඊට මුහුණ දීමට සිදු වුණා. එහිදි එක්වරම කෘති තුනක් වාරණයට ලක් වීම සිදු වුණා. සැබෑ හේතුව තිබුණේ දේශපාලනික ප්‍රශ්නයක්. ඒ දේශපාලනික වුවමනා වෙනුවෙනුයි අපගේ කෘති යොදා ගත්තේ.

ඒ නිසා ම ඔබගේ වේදිකා නාට්‍යයට බොහෝ ප්‍රසිද්ධියක් හිමි වුණා නේද?

ප්‍රසිද්ධිය ලැබුණා කියන කාරණයට වඩා එහි දෙපැත්තක් තිබෙනවා. හැමෝම හිතනවා නේ මේ වාරණයක් කියන එක සිද්ධ වුණාට පස්සේ තහනම් කළ නාට්‍යයකට විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා කියලා. ඒ ගැන කතාබහක් ඇති වුණා තමයි. එහෙත් ඊටත් වඩා හානියකුයි මේ වේදිකා නාට්‍යයට සිද්ධ වුණේ. එකක් තමයි අපට වුවමනා කළේ මේ නාට්‍යය වේදිකා ගතවීමත් සමඟ සැබෑ වමක් පිළිබඳ හොඳ සංවාදයක් නිර්මාණය කරන්නයි. සංවාදයක් ඇති කරන්නයි. මේ සංවාදය නිමිත්තක් කර ගන්නයි. මුල් දර්ශන වාර හය හත වේදිකා ගතවෙද්දි ඒ සංවාදය ආරම්භ වීලයි තිබුණේ. ඒ අතරෙදියි මේ වාරණ කතන්දරය පැමිණියේ. ඒ මඟින් සංවාදය අප සිටි පීල්ලෙන් පැනලා වෙනත් පීල්ලකට මාරු වුණා. එතැනදි වාරණය සම්බන්ධ කතාවේදී මේ නිර්මාණය බෞද්ධ විරෝධී නාට්‍යයක් ද කියන කාරණයයි කතිකාවට ලක් වුණේ. ඒ මාතෘකාවෙන් ගලවලා වුවමනා පීල්ලට මේ කතිකාව යළිත් දමා ගන්න, දැඩි මහන්සියක් දැරීමට අපට සිදු වුණා.

*වාරණයත් සමඟ පැමිණි කතිකාව දැඩි මහන්සියක් දරා වෙනස් කිරීමට ඔබට වුවමනා වූයේ ඇයි?

අපට වුවමනා නම් මෙය තහනම් වුණු වේදිකා නාට්‍යයක් යැයි කියමින් ඒ කිව්ව පීල්ලේම මේ සංවාදය තබාගෙන යන්නට හැකියාව තිබුණා. එවැනි වුවමනාවක් අපට ඇත්තේ නැහැ. ඇත්ත වශයෙන්ම අපට වුවමනා වුණේ ප්‍රේක්ෂකයා අතර වෙනම සංවාදයක් ගොඩනැඟීමටයි. වම පිළිබඳ සංවාදයක් ගොඩනැඟිමටයි. එහෙත් වාරණය කියන කාරණය පැමිණියේ නැත්නම් වේදිකා නාට්‍යය ගලාගෙන යෑමේදී අප බලාපොරොත්තු වුණු සංවාදය පුළුල්ව මීට වඩා හොඳට ව්‍යාප්ත වීමටයි අවස්ථාව තිබුණේ. ඒත් ඒ සංවාදය එක විදියකට හිර වුණා වගේ ම එහි විභවය එක් විදියකට එහෙ මෙහෙ වුණා කියන කාරණය එකක්. අනෙක් කාරණය නම් වාරණය ගෙනෙන්නේ මේ වේදිකා නාට්‍යය බෞද්ධ විරෝධී නාට්‍යයක් විදියට නිසා, එළියේ සංවිධානය වෙමින් තිබුණු දර්ශන වාර කිහිපයක් ම නතර වීමයි. එවැනි බෞද්ධ විරෝධී නාට්‍යයක් කිව්ව ගමන් ම සංවිධායකවරුන් බයයි දර්ශන වාර සංවිධානය කිරීමට. ඒ කාරණයත් එක්කම ජන මනසේ ලොකු කතන්දරයක් තිබෙන නිසා දර්ශන වාර කිහිපයක් ම අවලංගු කිරීමට අපට සිදු වුණා. කොළඹින් පිට සිටින ප්‍රේක්ෂාගාරය තවමත් දන්නේ වාරණය ගැන තිබෙන පරණ කතන්දරයයි. ඒ නිසා කොළඹින් පිටට නාට්‍යය අරගෙන යෑමේදීත් බෞද්ධ විරෝධී කතන්දරයෙන් අපට සිදු වුණේ හානියක්. දෙපැත්තකින් ම අවාසියකුයි අපට සිදු වුණේ. ඒ අනුව තහනම් කළ නාට්‍යයක් තහනම් කළ නිසා ප්‍රසිද්ධ වුණා කියලා වාසියක් සිදු වුණේ නැහැ.

‘මං කෙළින් මිනිහෙක්’ වේදිකා නාට්‍යය මඟින් අපට හැඟෙන්නේ දේශපාලනය හා ලිංගිකත්වය කියන්නේ හරියට නිවුන් සොහොයුරන් දෙපලක් බවයි

අනිවාර්යයෙන්ම. ඒක අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේ දේශපාලන ඉතිහාසය ගත්තත්, ලෝකයේ වර්තමාන දේශපාලනය ගත්තත් මේ කාරණා දෙක වෙන් කිරීමට බැහැ. මේ කාරණා දෙක අනුලංගනීයයි. මේ දෙක එකිනෙකට එකක් සම්බන්ධයි. ඒත් තිබෙන ප්‍රශ්නය නම් මේ කාරණා පෙන්වීමට උත්සාහ නොගැනීමයි. සමහර දේශපාලන තීන්දු තීරණ, අපට බොහොම ප්‍රායෝගික විදියට පෙනෙන්නට තිබෙන තීන්දු තීරණ, ජනතා වාදී විදියට පෙනෙන්නට තිබෙන තීන්දු තීරණ පිටුපස තිබෙන්නේ හිතන කතන්දර නොවෙයි. ඊට වඩා බොහොම වෙනස් කතන්දරයි. සමහර තැන්වල ලිංගික කාරණායි අපට බොහෝ වෙලාවට දැක ගන්නට තිබෙන්නේ. මේ සඳහා ඉතිහාසය පුරාම ඕනෑ තරම් උදාහරණ තිබෙනවා.

ඔබ වේදිකාවට රැගෙන ආවේ ඒ දේශපාලනයේ හා ලිංගිකත්වයේ කතන්දරය ද?

වේදිකාවට මේ කිව්ව කාරණා වෙනස් විදියකට අප නිර්මාණයකින් එළියට දමනවා කියන එකයි අපේ අදහස වුණේ. එය වේදිකා නාට්‍යකින් කරන්නේ කොහොමද කියන කාරණයයි අප අතර තිබුණේ. ඒ නිසා දේශපාලනය හා ලිංගිකත්වය කියන මේ කාරණා එකිනෙකට එකක් සහ සම්බන්ධයි.

දේශපාලනය හා ලිංගිකත්වය වැනි කාරණා නිර්මාණවලට රැගෙන පැමිණීමේදී අනෙක් මාධ්‍යවලට එය අරුමයක් නොවුණත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ එවැන්නක් කතා කර නොතිබුණු තරම්. මේ අභියෝගය ඔබ ජය ගත්තේ කෙසේද?

වේදිකාවේදී විශේෂයෙන්ම වම පිළිබඳ සාකච්ඡාව, මේ වේදිකා නාට්‍යයේදි බද්ධ වුණ දේ වුණත් අපට දකුණේ දේශපාලනඥයකු යොදාගනත් කිරීමට තිබුණා. එහෙම කළා නම් අපට අවශ්‍ය සාකච්ඡාව නොවෙයි ඇති වන්නේ. බොහෝ දෙනෙක් ප්‍රශ්න කළ කාරණය වුණේ වම මෙවැනි නිර්මාණයකට යොදා ගත්තෙ ඇයි? කියන කාරණයයි. වම එක් අවස්ථාවකදි භාවිත කරන්නේ පාරිශුද්ධ වස්තුවක් විදියටයි. වමේ දේවල් විවේචනය කිරීමට නොහැකි දෙයක් විදියටයි අපේ රටේ එක්තැනකදි තිබුණේ. මා පවසන්නේ එහෙත් එය පුපුරවා හැරිය යුතු බවයි. ඒ නිසා අප ඒ කාරණා වේදිකාව ඇතුළට ගේනවා. මම හිතන්නේ ඒ කිව්ව කාරණය සාහිත්‍යයෙත් සිදු වෙමින් යනවා. සිනමාවටත් එය පැමිණිය යුතුයි. වමේ කිසිම පාරිශුද්ධ දෙයක් නැහැ. ඒ සියල්ල ම මිනිසුන් ගොඩනැඟූ දේයි. ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන ඕනෑම කෙනකුට තිබිය හැකියි. සිදු විය යුත්තේ දේශපාලනයෙන් ඉදිරියට යෑමයි. එය සැබෑ සංවාදයක් මඟින්, විවේචන මඟින් ඉදිරියට යා යුතුයි. එයයි අපට තිබුණු ප්‍රධානම අභියෝගය වුණේ. මේ කිව්ව කාරණා වේදිකාවට අරගෙන පැමිණෙද්දි මිනිස්සු මොනවා කියයිද කියන කාරණායි අපට වැදගත් වුණේ. එහිදි මිනිස්සු දක්වන ප්‍රතිචාරය අප දැනගෙන සිටියා. සුන්දර ප්‍රතිචාරත් සමඟ යන්න පුළුවන් ගමනක් නොවන වගත් අප දැනගෙන සිටියා. බොහොම රළු ප්‍රතිචාර මැද්දේ යන්න වන ගමනක් වගත් අප දැනගෙන සිටියා. ඒ විදියට ඒ ප්‍රතිචාර මැද්දේ මේ ගමන අප යනවා.

වම එකතැන පල්වන ස්වභාවයක් ගන්නේ එය ශුද්ධ වස්තුවක් විදියට මෙතෙක් සැලකූ නිසා ද?

ඔව්. අනිවාර්යයෙන් ම. වමේ ලිංගිකත්වය වගේ කාරණා සම්බන්ධයෙන් වම හිටියේ බොහොම ආන්තික තැන්වලයි. ඔවුන් එය සංවාදයට ගෙනාවේම නැහැ. එය සංවාදයට ලක් කළේ ම නැහැ. සංස්කෘතික කාරණයේදී වම ඉතාම අපොහොසත්. ඒ කාරණයේදී වමට වඩා සිවිල් සමාජය සිටින්නේ බොහොම ඉස්සරහින්. මා පවසන්නේ ඒ කියන කාරණා වම ආරම්භ කළ අවස්ථාවේදී පටන් ම පෙනෙන්නට තිබුණු බවයි. ඒ විවෘත බව තිබුණා නම්, වම ඒ සංවාදයේ සිටියා නම් අපේ රට මීට වඩා දියුණු තැනක තිබෙන්නට තිබුණා. කරුමයකට වගේ ඒක සිදු වුණේ නැහැ. ඒ සම්බන්ධව යමක් කරන්න ඔවුන් යම් උත්සාහයක්වත් ගත්තේ නැහැ. ඒ සංවාදය ගෙනාවේ නැහැ. හරි නම් දැන් වුණත් ඒ සංවාදය ගෙන ආ යුතුයි. පටු තැන්වල සිටින්නේ නැතිව විවෘත තැන්වලදි එය සංවාදයට ගන්න වුවමනායි. ඒ සංවාදය ඇත්තටම ගෙනාවා නම් අර ඔබ කියන්නා වගේ වම එකතැන පල්වෙන්නේ නැහැ. වම ඉතාම ප්‍රගතිශීලී ඇත්ත වමක් විදියට ඉස්සරහට යන්න තිබුණා.

මෙලෙස වම පිළිබඳ හෙළි කරන මේ දේශපාලන කාරණාව නිසා ඔබට යම් බලපෑම්වලට මුහුණ දීමට සිදු වී තිබේ ද?

මෙහෙමයි සමහරු මේ කාරණාව පෞද්ගලිකව ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙනවා. අපට යම් යම් පක්ෂත් සමඟ තිබෙන තරහකට, අපට යම් යම් ව්‍යාපාරත් සමඟ ති‍බෙන තරහකට මෙහෙම කරනවා කියලා කියන අවස්ථා තිබෙනවා. ඒක බොහොම පටු දෙයක්. අපට ව්‍යාපාරත් එක්ක ප්‍රශ්න තිබෙනවා තමයි. ඒ ප්‍රශ්නවලට අපට නිර්මාණ කරන්න දෙයක් නැහැ. වම සම්බන්ධයෙන් තිබෙන කතිකාව වෙනම තැනකට ගෙනෙන්න ඕන කියන අදහසත් සමඟයි අප මේ විවේචනය ගෙනෙන්නේ. ඒනිසා බොරු ගල් ගහමින් ඉන්නේ නැතිව මේ වේදිකා නාට්‍යය නරඹලා මේ නිර්මාණය සම්බන්ධයෙන් ඇත්ත විවේචනය ගේන්න. සැබෑ සංවාදය ගෙනෙන්න. සැබෑ සංවාදයකින් ඉදිරියට යා හැකියි. මේ නිර්මාණය සංවාදයට ඕනෑම මොහොතක විවෘතයි. පසුගිය කාලයේ එවැනි සංවාද රැසක් ඇති වුණා. නිහඬව ඉන්න අයත් එවැනි සංවාද ගෙන එනවා නම් මෙය හොඳ තැනකට ගෙන යා හැකියි.

මේ වනවිට පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උලෙළේ දෙවැනි වටයටත් ඔබගේ නිර්මාණය ඉදිරිපත් වුණා?

මේ නාට්‍යය වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ ඉදිරිපත් වන නිසා අවසන් වටය දක්වා ගමන් කිරීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒත් මේ නිර්මාණය දෙවැනි වටය දක්වා ගමන් කළ බව පමණක් මට පැවැසිය හැකියි.

සටහන හා සේයා රූ - තිලානි ශානිකා විතානාච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.