රාජ්‍ය නාට්‍ය උලෙළේදී ගී‍්‍රස් යකා Returns

තරුණ නාට්‍යකරුවන්ගේ විජයග්‍රහණය
අප්‍රේල් 4, 2019

පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම වේදිකා නාට්‍යය ඇතුළු හොඳම අධ්‍යක්ෂණය, ස්වීය රචනය, හොඳම සහය නිළිය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම රංගවස්ත්‍ර නිර්මාණය හා වේදිකා පසුතලය සඳහා කුසලතා සම්මානයක් සමඟ සම්මාන දහයක් දිනා ගත්තේ ‘ග්‍රීස් යකා රිටර්න්ස්’ වේදිකා නාට්‍යයයි. නාට්‍ය පිළිබඳ කතා කිරීමට වෙන් වුණු සරසවිය පුවත්පත් පිටුවේ මෙවර ඉඩහසර වෙන් වන්නේ වේදිකා නාට්‍ය ලෝකයට අලුතින් එකතු වන තරුණ නාට්‍යකරුවන් දෙදෙනකු වන නිශාන්ත ද සොයිසා හා රජිත හෙට්ටිආරච්චි යන අධ්‍යක්ෂවරුන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ‘ග්‍රීස් යකා රිටර්න්ස්’ පිළිබඳ කතාබහ කිරීමටයි.

ඔබ දෙපළ මෙවැනි රාජ්‍ය නාට්‍ය උලෙළකට ඉදිරිපත් වන පළමු වාරයයි. ලැබූ ජයග්‍රහණය පිළිබඳ මොන වගේ හැඟීමක් ද තිබෙන්නේ ?

ජයග්‍රහණය ගැන සතුටුයි. මොකද අප මේ පළමු වතාවටයි මෙවැනි උලෙළකට ඉදිරිපත් වන්නේ. එහිදී ජයග්‍රහණය කිරීමට කිසිම බලාපොරොත්තුවක් අපට තිබුණේ නැහැ. ඒ නිසා ඒ ගැන සතුටුයි.

දෙන්නෙක් එකම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම සිදු වුණේ කොහොම ද?

අපි දෙදෙනාම වසර දාහතරක් තිස්සේ එකට වැඩ කරනවා. නාට්‍ය කරනවා. ඒ නිසා අප දෙන්නට දෙන්නා හොඳීන් දන්න නිසා එකට වැඩ කිරිම අපහසු වුණේ නැහැ. මුලින්ම අප දෙදෙනා එකතු වී 2014 වසරේ නිර්මාණය කළ වේදිකා නාට්‍යය නම් කළේ ‘ග්‍රීස් යකා’ නමින්. ඒ වේදිකා නාට්‍යයේත්, මේ වේදිකා නාට්‍යයේත් කතාව අතර ඒ තරම්ම සම්බන්ධයක් නැති වුණත්, එහි තේමා සමාන තලයකයි දිවෙන්නේ. පළමු වේදිකා නාට්‍යය වූ ‘ග්‍රීස් යකා’ගේ තේමාව තවත් ඉදිරියට අරගෙන පැමිණි නාට්‍යයක් ලෙස ‘ග්‍රීස් යකා රිටර්න්ස්’ වේදිකා නාට්‍යය හැඳීන්විය හැකියි. ඒ නිසා ‘ග්‍රීස් යකා’ වේදිකා නාට්‍යයේ දෙවැනි කොටස විදියට ‘ග්‍රීස් යකා රිටර්න්ස්’ හඳුන්වන්නත් හැකියි.

ඔබ දෙපළ වේදිකා නාට්‍ය නිර්මාණකරණයට පිවිසෙන්නේ කුමන ආකාරයෙන් ද?

කළුබෝවිල ප්‍රදේශයේ ඉපදී හැදුණු වැඩුණු නිශාන්ත වන මා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ නාට්‍ය පුහුණු කිරීම ආරම්භ කරමින්. ඒ 2014 වසරේ. රජිතත් ඒ කාලය වනවිට මගේ ශිෂ්‍යයෙක්. මා පාසල් ගියේත් ආනන්ද විද්‍යාලයටයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අමෙරිකාවට පිවිසෙන මා ඒ කටයුතු අවසන් කිරීමෙන් පසුව යළිත් අපේ රටට පිවිසෙනවා. ඊට පසුවයි මා ආදි ශිෂ්‍යයෙක් විදියට ආනන්ද විද්‍යාලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ පුහුණුකරු විදියට එහි කටයුතු කරන්නේ. එහි කාලයක් සිටින විටදියි විදුහල්පති තුමා පවසන්නේ මෙහි නාට්‍ය විෂයයත් ආරම්භ කළ යුතු බව.

මේ නිර්මාණ කටයුතුවලට රජිතගේ සහභාගි වීම සිදුවන්නේ ඊට වෙනස් විදියකට ද?

නිශාන්ත අයියා ආනන්ද විද්‍යාලයේ කටයුතුවලට සම්බන්ධ වන 2006 වසර වන විටදි අපේ පාසලේ නාට්‍ය සම්බන්ධයෙන් පිළිවෙළකට සිදු වන වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. විශේෂයෙන් ම ඉංග්‍රීසි නාට්‍ය සම්බන්ධයෙන් එවැනි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ අතරදියි මා ඇතුළු ශිෂ්‍යයෝ කිහිපදෙනෙක් නිශාන්ත අයියාත් සමඟ එකතු වී ඉංග්‍රීසි නාට්‍ය ආරම්භ කරන්නේ. ඒ කාලයේ ආරම්භ කළ ඒ වැඩපිළිවෙළේ සිටි පිරිසේ අය අදත් මේ වේදිකා නාට්‍යය දක්වාත් අප සමඟ රැඳීලා සිටින බවත් මතකයට නැඟිය යුතුයි. මේ කණ්ඩායම පාසල් ගොස් අවසාන වීමෙන් පසුව වුවත්, මහජන ප්‍රදර්ශනය සඳහා නාට්‍ය කිරීමට එකතු වුණා. ඒ 2013 වසරේ පටන්. මා පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ 2009 වසරේ. ඒ වුණත් 2010 වසරේ පටන් මමත්, නිශාන්ත අයියත් දිගින් දිගටම මේ කටයුතුවල නිරත වුණා. ඒ කාලයේ පටන් අප දෙදෙනා හඳුනන නිසයි අධ්‍යක්ෂණය කිරීමත් එකටම සිදු කළේ. වර්තමානය වන විටත් ආනන්ද විද්‍යාලයේ නාට්‍ය කටයුතුවලට අප දෙදෙනාගේ සහය ලැබෙනවා.

ඔබ හා නිශාන්ත ‘ග්‍රීස් යකා’ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ඊට පසුව ද?

2013 වසරේදී අප ආනන්දයේදී ‘ආනන්ද ඩ්‍රාමා’ කියන සංවිධානය පිහිටුවා ගන්නවා. එය නාට්‍ය සඳහා තිබෙන කම්පනියක්. ඒ අනුව 2013 වසරේදි මුලින්ම අප වේදිකා නාට්‍ය දෙකක් නිර්මාණය කරනවා. ඒ ‘අලස් ඉන් වොන්ඩලන්ඩ්’ නමින්. ඒ කාලයේ ජය ලලිතා සමඟ තිබුණු ඉන්දු ලංකා ගැටලු මූලික කර ගනිමිනුයි ඒ වේදිකා නාට්‍යය නිෂ්පාදනය වුණේ. විනාඩි 40 ක කාලයක දිවෙන මේ වේදිකා නාට්‍යය අප මුලින්ම නිර්මාණය කළේ පාසල් තරගයක් සඳහායි. ඒ නිර්මාණයට ලැබුණු ප්‍රතිචාර සැලකීමෙන් පසුවයි අප ඒ නාට්‍යය පොදු ප්‍රේක්ෂකයාට නැරැඹීමට මහජන ප්‍රදර්ශනයක් සිදු කළේ. එය දේශපාලනය පිළිබඳ කියැවෙන වේදිකා නාට්‍යයක්. ඒ වසරේ ම අග අපේ කණ්ඩායම තවත් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඒ ‘Kensuke's Kingdom' නමින්. මේ නිර්මාණ දෙකම ඉංග්‍රීසි වේදිකා නාට්‍යයි. ඊළඟටයි 2014 වසරේ ‘ග්‍රීස් යකා’ වේදිකා නාට්‍යය අප නිෂ්පාදනය කරන්නේ. ඒ සඳහා රුවන් ඩි චිකේරාත් අපත් සමඟ සම්බන්ධ වී කටයුතු කළා. මේ නිර්මාණයේදි අප භාෂා දෙකම භාවිත කළා.

‘ග්‍රීස් යකා’ වේදිකා නාට්‍යය ඒ කාලයේ පැමිණි ග්‍රීස් යකා මූලික කරගනිමින් නිර්මාණය වූවක්ද?

අපේ කණ්ඩායමේ එකතුවෙනුයි මේ වේදිකා නාට්‍යය නිර්මාණය වුණේ. ඒ කාලයේ ග්‍රීස් යකා කියන මාතෘකාව තිබුණු නිසා එය සම්බන්ධ කරගෙනයි මේ වේදිකා නාට්‍යය නිර්මාණය වන්නේ. එය සමාජ භය ගැන කතා කරන වේදිකා නාට්‍යයක්. සමාජයේ භය ඇති වෙන්නේ කොහොමද කියන කාරණය ගැන ගැඹුරට අධ්‍යයනය කරලයි අප ඒ නිර්මාණය කළේ. මිනිසුන්ගේ ඇතුළේ තිබෙන භය සමාජ භයක් විදියට වර්ධනය වෙන්නේ කොහොමද කියන කාරණයයි ‘ග්‍රීස් යකා’ වේදිකා නාට්‍යයෙන් අප කතාබහට ලක් කළේ.

ග්‍රීස් යකා රිටර්න්ස්’ වේදිකා නාට්‍යයට පාදක වන්නේ කුමන කාරණාවක් ද?

මිනිසුන්ගේ ඇතුළේ තිබෙන භය, මතිමතාන්තර සමාජයට ඇතුළු වෙලා සමාජයේ සිටින අවස්ථාවාදි පිරිස්, එක් එක් පිරිස්, ඒ කියන්නේ දේශපාලනඥයෝ වේවා, මාධ්‍ය වේවා, ව්‍යාපාරිකයෝ හෝ වේවා ඒ විවිධ අවස්ථාවාදි පිරිසගේ ක්‍රියාකලාපය නිසා ඒ භය වර්ධනය වීමෙන් පස්සේ ඇති වන බලපෑමයි ‘ග්‍රීස් යකා රිටර්න්ස්’ වේදිකා නාට්‍යයට පාදක වන්නේ. ඒ නිසා සමාජයේ සිදු විය හැකි වෙනසයි ඒ නිර්මාණයෙන් අප කතාබහ කරන්නේ. ඒ වගේ ම මේ නිර්මාණයට අප පසුබිම කර ගත්තේ අපේ රටේ 80, 90 දශකවල සිදු වුණු සමහර සිදු වීම්. එහි පිටපත නිර්මාණය වන්නේ ඒ ආශ්‍රයෙන්. ඒ කාලයේ ඇති වුණු යුද්ධයත් සමඟ වාතාවරණය ගැනයි මේ වේදිකා නාට්‍යයෙන් අවසානයට කතාබහ වන්නේ.

‘ග්‍රීස් යකා රිටර්න්ස්’ වේදිකා නාට්‍යයට සහභාගි වන නළු නිළි පිරිස සංඛ්‍යාත්මක විදියට ගත්තොත් තරමක් විශාලයි

ඒ විසිඅටක, තිහක කණ්ඩායමක්. මේ වේදිකා නාට්‍යයේ තිබෙන විශේෂත්වය වන්නේ ප්‍රධාන නළුවකු හෝ නිළියක නොවීමයි. අප චරිත කිහිපයක් එක්කම එහිදී ගනුදෙනු කරනවා. මේ විසි අටත් ඇතුළත පහළොස් දෙනෙක් සමඟ අප නාට්‍යය පුරාම ඒ අයගේ කතා පිටුපස ගමන් කරනවා. මේක කණ්ඩායමක් සමඟ එකතු වී කළ නිර්මාණයක්. මෙහි වේදිකා පසුතල, රංග වින්‍යාසය, ආලෝකකරණය, අංගරචනය කළේ ජයම්පති ගුරුගේයි. ඔහුට සහය වූයේ සුමේධ හග්ගල, විජිත බණ්ඩාරයි. වේදිකා පරිපානයෙන් මා රජිත හෙට්ටිආරච්චි, රංගවස්ත්‍ර නිර්මාණයෙන් දිනූෂ සෙනෙවිරත්න, සංගීතය නිර්මාණයෙන් රනිල් ගුණවර්ධන මේ නිර්මාණය සඳහා සහය වුණා. මෙහි නළු නිළියන් පිරිස විසි අට දෙනෙක් කියන්නේ තරමක් විශාල සංඛ්‍යාවක්. ඔවුන් සියලු දෙනාම එක වගේ මේ වේදිකා නාට්‍යයට වටිනාකමක් ගෙනෙනවා. එහිදී ඔවුන්ගෙන් සමහර අය අධ්‍යාපනය ලබනවා වගේ ම රැකියා කරනවා. වේදිකා නාට්‍යය පුහුණු කිරීමේදී බොහොම වෙහෙසක් දරලයි එය සිදු කළේ. ඒ අතරින් හොඳම සහය නිළිය ලෙස සම්මාන ලබන්නේ අයුධ්‍යා ගජනායකයි.

රාජ්‍ය නාට්‍ය උලෙළේදී ‘ග්‍රීස් යකා රිටර්න්ස්’ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන දහයක් දිනන්නේ මේ වන විට වේදිකාවේ සක්‍රීයව වැඩ කරන නිර්මාණකරුවන් පිරිසක් අතරින්?

අපි රාජ්‍ය නාට්‍ය උලෙළට මේ වේදිකා නාට්‍යය ඇතුළත් කළේ සිංහල වේදිකා නාට්‍ය නරඹන අලුත් පිරිසක් අතරට මේ නාට්‍යය අරගෙන යන්නයි. මම හිතන්නේ අපේ නාට්‍යයේ වෙනසක් තිබුණා. මේ උලෙළේ එය වේදිකා ගත වුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාර බොහොමයි. ඒ නිසා වෙනස්ම පිරිසකට මේ වේදිකා නාට්‍යය වේදිකා ගත කිරිමට ලැබීම ගැන අප සතුටු වෙනවා.

ව්පුල අමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.