LBW හැබැයි NOT OUT

මැයි 2, 2019

 

පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේදී මධුශාන් හත්ලහවත්ත ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවේය. එලෙස ඔහු සම්මානයට පාත්‍ර වූයේ ඔහු නිෂ්පාදනය කරන ලද ‘‘ඹ්ඕඑ’’ කෙටි නාට්‍යය වෙනුවෙනි. මේ පෙළ ගැසෙන්නේ නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු, රංගන ශිල්පියකු ලෙස කලා ලොවේ සැරිසරන ඔහු නියැළෙන භූමිකා පිළිබඳත්, කලාවේ ආගමනය පිළිබඳත් මධුශාන් හත්ලහවත්ත සරසවියට කළ සංවාදයකි.

 

මේ ලැබුණු සම්මානය ඔබගේ කලා ජීවිතයට ගෙනාවේ කෙබඳු වටිනාකමක්ද?

මා නිෂ්පාදනය කළ ‘ඹ්ඕඑ’ කියන කෙටි නාට්‍යයටයි මට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණේ. එය තරුණ නාට්‍යකරුවකු විදියට මට ගෙනෙන්නේ සතුටක්.

ඔබ මෙවැනි සම්මාන උලෙළකින් ලබන පළමු ජයග්‍රහණය නොවෙයි?

2017 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍යය ඇතුළුව සම්මාන හතක් දිනාගත් නාට්‍යය නිර්මාණය කළේ මමයි. සීමිත අංශයෙන් හොඳම නාට්‍ය වුණේ ඒ ‘වීර චාරිකාව’ වේදිකා නාට්‍යයයි.

ඔබ කලාවට පිවිසීමට අමතරව ගුරුවරයකු විදියටත් කටයුතු කරනවා?

මා උගන්වන්නේ පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලයේ. ඒ නාට්‍යභාර ආචාර්යවරයා විදියටයි. එදා ඉදන් වසර පහක කාලයක් ඇතුළත රාජ්‍ය නාට්‍ය ඇතුළු ළමා නාට්‍ය උලෙළවල ප්‍රථම ස්ථාන හා සම්මාන දිනා ගත්ත පාසල බවට පත් වීමට අපට හැකියාව ලැබුණා.

ඔබ ඉගෙනීම ආරම්භ කරන්නේ එවැනි කලාවට බොහෝ දෙනා බිහි කළ පාසලකින්?

මම ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයෙන්. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය හැදෑරුවා. ඒ කාලය ඇතුළතයි මා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.

එහිදී මුල් කාලීනව ඔබ යොමු වන්නේ රංගන කටයුතුවලට ද?

මගේ කලා ගමන මා ආරම්භ කරන්නේ රංගනයෙන්. මා ඉගෙන ගන්න ඉසිපතන විද්‍යාලයෙන්. පසුකාලීනවයි මා නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය සඳහා යොමු වන්නේ. ඊට පසුව විශ්වවිද්‍යාලය ඉන්න කාලයේ මා මුලින්ම සම්බන්ධ වන්නේ ධර්මප්‍රිය ඩයස්ගේ ‘ලයිසිස්ට්‍රාටා හෙවත් ගැහැනු වැඩ අරඹති’ කියන වේදිකා නාට්‍යයටයි. එයයි මා පාසලෙන් ඉවත් වුණාට පසුව ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑ පළමු රංගනය වන්නේ. එතැනින් ආරම්භ කරන මගේ රංගන ගමනේදී වේදිකා නාට්‍ය රාශියකටම රංගන දායකත්වය ලබා දීමට මට හැකියාව ලැබෙනවා. ඒ වගේම යෞවන සම්මාන උලෙළ, රාජ්‍ය නාට්‍ය උලෙළවලට ඉදිරිපත් වුණු නිර්මාණවලට මට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා පමණක් නොවෙයි, ඒ නිර්මාණවලින් මා සම්මානත් දිනා ගන්නවා. වරක් යෞවන සම්මාන උලෙළේ හොඳම සහය නළුවා සම්මානය ලබන්නේත් මමයි. ඒ වගේම යෞවන සම්මාන උලෙළේ ‘හෙලෝ’ කියන වේදිකා නාට්‍යයට පළාත් අටේ හොඳම නළුවා ලෙස මා සම්මාන ලබනවා.

වේදිකාවේ පමණක් නොවෙයි ඔබ ටෙලි නාට්‍ය රංගනයටත් සම්මාන ලබනවා?

ඒ සම්මානය මට ලැබෙන්නේ 2017 වසරේදි. රයිගම් සම්මාන උලෙළේදි වසරේ හොඳම නැගී එන නළුවා ලෙස මට ලැබෙන ඒ සම්මානය හිමි වන්නේ මා රඟපෑ සුදත් රෝහණගේ ‘ගිරිකුළ’ කියන ටෙලි නිර්මාණය වෙනුවෙන්.

ටෙලි නාට්‍යවලට පිවිසීම ඇරැඹෙන්නේ කොහොමද?

මගේ පළමු ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’යි. ඊට පසුව ඒ නාළිකාවේම නිර්මාණ කිහිපයකටම යළිත් රංගන දායකත්වය මා ලබා දෙනවා. මෑත කාලීනව ‘මිණි ගං දෑල’, මේ දිනවල විකාශය වන චරිත් අබේසිංහගේ ‘යං’ ටෙලි නාට්‍යයත් සිහිපත් කළ යුතුයි. ඉදිරියේදි පැමිණීමට නියමිත ‘කෘමි’ කියන ටෙලි නිර්මාණයත් සිහියට නැඟිය යුතුයි. එය ළමා ටෙලි නාට්‍යයක්.

පසුගිය කාලයේ ඔබ සිනමා රංගනයට පිවිසුණා?

ඒ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය සඳහා මට රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමි වුණා. ඉදිරියේ මා රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගතවීමටත් නියමිතයි. මේ කටයුතුවලින් පසුව මා යළිත් අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවටත් පිවිසීමටයි අදහස් කරගෙන සිටින්නේ. ඒ සෑම කටයුතුවලටම අමතරව රංගනයත්, මගේ ගුරු භූමිකාවත් අමතක කළ නොහැකි භූමිකා දෙකක්.

මේ තරම් කාර්යයන් රැසක් කරගෙන යෑමට ඔබට හැකියාව තිබෙනව ද?

අපේ පාසලේ විදුහල්පතිතුමිය නිල්මිණි කාරියවසම්ගෙන් ලැබෙන සහයෝගය මේ අවස්ථාවේ මා සිහිපත් කළ යුතුයි. ඈ පිළියන්දල කලාපයේ සිටි නාට්‍ය හා රංග කලා ගුරු උපදේශිකාවක්. පසුවයි ඈ විදුහල්පතිනියක් බවට පත් වන්නේ. එතුමිය මගේ කටයුතුවලට විශාල සහයෝගයක් ලබා දෙනවා. නැත්නම් බොහොම අසීරු කාරණයකට මට මුහුණ දීමට සිදු වෙනවා. මගේ වේදිකා නිර්මාණවලට හා රංගන කටයුතුවලට ඈ ඇතුළු ගුරු මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය මා මේ අවස්ථාවේ බෙහෙවින් අගය කරනවා.

‘ඹ්ඕඑ’ කෙටි නාට්‍යය ක්‍රිකට් සම්බන්ධ වූවක් ද?

කඩුල්ල මුවා කිරීමේ වරද කියන අදහස ඇතුවයි මා ඒ කෙටි නාට්‍යය නිර්මාණය කළේ. මධ්‍යම පාන්තික පවුලක ක්‍රීඩාලෝලී මැදි වයසක පුරුෂයකු හා ස්ත්‍රියක් වටා ගෙතුණු කතාවක්. තමන්ට තිබෙන සරල ආශාවන් ඉටුකර ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරද්දි විශේෂයෙන් ආර්ථික කටයුතු බාධාවක් වීමත්, ඒ සියල්ල විසඳා ගැනීමත් සමඟම ඒ අප පැතූ සෑම සිහිනයක් ම බොඳ වී ගිහින්. මොකද අද තිබෙන සිහින හා ආශාවන් අපට විසඳ ගන්නට අපහසුයි. ඒ ආර්ථික, සමාජීය ප්‍රශ්න අපට තිබෙන නිසා. ඒ වගේම රටේ තිබෙන දේශපාලන ප්‍රශ්න. මේවා නිසා අපේ සියලු අදහස්, ආශා ආදී දේ පොඩි පට්ටම් වී යෑමයි අවසානයේදී සිදු වන්නේ. එයයි මේ කෙටි නාට්‍යයේ කතා තේමාව වී තිබෙන්නේ.

එහෙම නම් ‘ඹ්ඕඑ’ කෙටි නාට්‍යයට ක්‍රිකට් සම්බන්ධ වන්නේ කුමන විදියකට ද?

ඉහත කියන ලද කතා තේමාව ගේන්න මා සම්බන්ධ කර ගන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. මේ කතාවට සම්බන්ධ මනුෂ්‍යයා ගෙදරට පැමිණි වෙලාවේ පටන්ම වර්ල්ඩ් කප් තරගයක් නරඹන්නට උත්සාහ කරනවා. ගෙදර තිබෙන මේ ආර්ථික ප්‍රශ්න ඇතුළු අනෙක් දේ සමඟ ඔහු මුහුණ පාන විපත්තියයි මෙහිදී පැවැසෙන්නේ. එතැනින් පස්සේ මොනවද වෙන්නේ කියන දේ වේදිකා නාට්‍ය නැරැඹීමෙන් පසුවම ප්‍රේක්ෂකයා දැන ගත්තොත් හොඳ බවයි මා සිතන්නේ.

මෙහි අනෙක් කටයුතුවලට සහයෝගය දක්වන්නේ කවුරුන් ද?

චමින්ද පුෂ්ප කුමාර, මල්කාන්ති ජයසිංහ, රවිනි අනුරාධා, සංජීව දිසානායක යන සිව්දෙනායි මේ නාට්‍ය සඳහා රංගනයෙන් දායකත්වය දක්වන්නේ. වේශ නිරූපණයෙන් යසන්ත, වේදිකා පරිපාලනයෙන් හා පසුතල නිර්මාණයෙන් ආර්. එම්. සී. රත්නායක, ඇඳුම් නිර්මාණයෙන් නිල්මිණී කාරියවසම්, වේදිකා පරිපාලන සහායෙන් ඉසුරු, චේතන සහය වෙනවා. මේ කෙටි නාට්‍යයේ පිටපත, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය සිදු කරන්නේ මා විසින්.

මෙවැනි තේමාවක් නිර්මාණයකින් එළිදැක්විය යුතුයි කියන අදහස ඔබගේ සිතට නැඟෙන්නේ කොහොම ද?

මට එක මොහොතක සිතට පිවිසෙන සිතුවිල්ලකුයි මා මෙලෙස කෙටි නාට්‍යයක් බවට පත් කරන්නේ. ඒ වගේ ම මා ලැබූ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් මෙවැනි දේ නිර්මාණය වූවා යැයි පැවසුවොත් වඩා නිවැරැදියි. අයියාගේ නිර්මාණවලට දායකත්වය දැක්වීමට ලැබීම, විශේෂයෙන් ම රාජ්‍ය නාට්‍ය, යෞවන නාට්‍ය උලෙළ නැරැඹීම ඇතුළු නාට්‍ය කිරීමට තිබෙන අපේ නොතිත් ආශාවයි මේ ක්ෂේත්‍රයට අපව ඇදබැඳ තබන්නේ.

ඔබගේ නිර්මාණ කටයුතුවලට චාමික හත්ලහවත්තගෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?

අයියා නාට්‍ය කරන අයුරු, පුහුණු වීම් සිදු කරන අයුරු මා දුටුවා. ඒ දේවල් දෙස බලා සිටීමෙනුයි මට නාට්‍ය කලාවට පිවිසීමේ ආශාවක් ඇති වන්නේ. ඒ නිසා මෙවැනි කටයුතු කිරීමට ඔහුගෙන් ලැබුණු අඩිතාලම බොහොම වැදගත්. ඒ වගේම මේ දවස්වල මා දිගු නාට්‍ය පිටපතක් ලියමින් සිටිනවා. එය ලබන වසර වනවිට ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ලැබෙන බවත් කිව යුතුයි. ළමා වේදිකා නාට්‍යයක් කිරීමටත් සිතාගෙන සිටිනවා. මේ කටයුතු සමඟයි මගේ දවස ගෙවී යන්නේ.

තිලානි ශානිකා විතානාච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.