Letter කියන්නේ ලියුමකට එහා ගිය කාරණයක්

ඉන්දික සඳරුවන්
ජුනි 6, 2019

ප්‍රේමා රුසි ගමගේ නම් ගුරුතුමියගේ මඟ පෙන්වීම යටතේ රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලෙන් රංගනයට අත්පොත් තබන ඉන්දික සඳරුවන්, පළමුව රඟපාන්නේ වර්තමානයේ කලා ලොවේ නමක් දිනා සිටින ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘ඇලෝසියස් පුරාණය’ නම් වාර්තා රංගයෙයි. එතැන් පටන් සිය සිත රංගනයට යොමු කරන ඔහුට චන්ද්‍ර සේන දසනායක නම් ළමා නාට්‍යකරුවාව මුණ ගැසෙන්නේ කොළොම්පුරවරයට පිවිසි එක් දවසක ය. ඒ අනුව රංගනය ඉගෙන ගැනීමේ අදහසින් ටවර්හෝල් රංග පාසලට බැඳෙන ඔහු සිය අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගන්නේ මේසන් බාස්වරයකුට අත්වැඩ දීමෙනි. මෙසේ බොහෝ අගහිඟකම් මැද සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කරන මේ තරුණයා වරක් ආරක්ෂක නිලධාරියකු ලෙස ද රැකියාව කරයි. සිය ගුරුවරයා ලෙස සලකන මංගල සේනානායක නාට්‍යකරුවාගේ මුණ ගැසීමත් සමඟ වේදිකාවේ විවිධ කටයුතුවලට සහය වෙයි. පළමු වරට ඔහු ඔහුගේම නිර්මාණයක් වේදිකාවට රැගෙන එන්නේ 2006 යෞවන නාට්‍ය උලෙළ සඳහා ය. ‘ආගමනය’ වන මේ කෙටි නාට්‍යය අවසන් වටය නියෝජනය කළ ද සම්මානවලට හිමිකම් නොකියන අතර ඔහු කලක් නාට්‍ය කලාවෙන් ඉවත්ව ජීවිතයේ අනෙක් කටයුතු සඳහා කාලය ගත කරයි. ඉන්දික යළිත් නිර්මාණකරණයට පිවිසෙන්නේ 2017 වසරේදී ය. ඒ ‘ලෙටර්’ කෙටි නාට්‍යය ලියමිනි. මේ පෙළ ගැසෙන්නේ එතැන් පටන් ඔහුගේ නවතම කලා ආගමනය පිළිබඳ ය.

‘ලෙටර්’ කෙටි නාට්‍යය ඔබ මුලින්ම ඉදිරිපත් කරන්නේ යෞවන සම්මාන උලෙළටයි?

ඔව්. ඒ සඳහා මට සම්මාන හතරක් ලැබෙනවා. ඒ නිෂ්පාදනය සඳහා ජූරියේ විශේෂ සම්මානය, එහි රඟපෑ තිලිණි ජයමාලිට හොඳම නිළිය සම්මානය, එහිම රඟපෑ කසුන්ට හොඳම නළුවා වෙනුවෙන් නිර්දේශිත සම්මානයත්, හොඳම ඇඳුම් නිර්මාණය සඳහාත් යන සම්මානයි.

පසුගියදා පැවැත්වුණු රාජ්‍ය නාට්‍ය උලෙළට මේ කෙටි නාට්‍යය ඔබ ඉදිරිපත් කරන්නේ ඉන්පසුව ද?

එහිදී මගේ නාට්‍යය සම්මාන හයක් හා කුසලතා සහතිකයක් දිනා ගන්නවා. ඒ හොඳම නිෂ්පාදනය දෙවැනි ස්ථානය, හොඳම රංග වින්‍යාසය, හොඳම ස්වීය නාට්‍ය රචනය තුන්වැනි ස්ථානය, හොඳම නිළිය දෙවැනි ස්ථානය, හොඳම නළුවා දෙවැනි ස්ථානය හා හොඳම රංගාලෝකය, සංගීතය සඳහා කුසලතා සහතිකයකුත් අපට හිමියි. ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් මගේ පළමු කෙටි නාට්‍යය ගැන දන්නේ නැහැ. ඒ නිසා මගේ පළමු නාට්‍යය ලෙස ඔවුන් හඳුන්වන්නේ ‘ලෙටර්’.

ඔබ මෙලෙස සම්මාන දිනුවත් රාජ්‍ය නාට්‍ය උලෙළේදි ඔබගේ නාට්‍යයට යම් ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු වෙනවා නේද?

ඒ මගේ නාට්‍ය, රාජ්‍ය නාට්‍ය උලෙළේදි දෙවැනි වටයෙන් ඉවත් වීමයි. එලෙස නාට්‍යය ඉන් ඉවත් වුවත් මේ නාට්‍යය නැරැඹූ පිරිස වගේ ම ඒ වටේ පිටේ සිටි පිරිස, රාජ්‍ය නාට්‍ය උලෙළ සංවිධානය කළ අය පවා මේ ලැබුණු තීරණයට එකඟ වූයේ නැහැ. ඔවුන් සියල්ලන් පවසන්නේ මේ වෙනුවෙන් යළිත් සංවාදයක් ඇති කළ යුතු බවයි. ඔයාට සිදු වුණේ අසාධාරණයක් කියන කාරණය ඔවුන් මට කෙළින්ම පැවසුවා. ඒ නිසා ඒ අදාළ අංශ දැනුම්වත් කළ යුතුයි කියන අදහස නිසයි මා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය වන අනූෂා ගෝකුළ මුණගැසීමට යන්නේ. ලිපියක් ලියාගෙන ගොස්, ඒ ගැන සලකා බලන්න යනුවෙන් මගේ ලකුණුත් සමඟ මා ඈට යම් කාරණා කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒ සියල්ල මා ඉදිරිපත් කරන්නේ දාර්ශනික හා තහවුරු කරන තර්කානුකූල කාරණා මතයි. මේක අභියාචනයක් නොවෙයි. ඒත් මට යන්න වෙන්නේ ඒ අභියාචනයක් කියන ලේබලය ඔස්සේයි.

එය සලකා බැලෙනවා?

විනිශ්චය මණ්ඩලයයි මේ නාට්‍යය ඒ වටයෙන් කපලා දමන්නේ. මා එහිදි පවසන්නේ ඔවුන් නාට්‍යය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන කාරණාවලට මට එකඟ නොවිය හැකි බවයි. නාට්‍යයක් විනිශ්චයට ලක් කිරීමේදී ලකුණු 75ක් ලබා දෙනවා. 75 නම් හෝ ඊට වඩා වැඩි නම් පමණයි ඊළඟ වටයට යා හැක්කේ. මට දී ඇති ලකුණු සංඛ්‍යාව 72යි. එහෙත් ලකුණුදී ඇති නිර්ණායක ගත්තට පස්සේ කතා තේමාව, නාට්‍යෝචිත බව, නාට්‍යයේ භාෂා භාවිතය හා දෙබස්, සමස්ත නාට්‍යය නිර්මාණය යන කාරණායි මූලික වන්නේ. එහිදි මට ලබාදී තිබෙන ලකුණු ප්‍රමාණය වන්නේ කතා තේමාව, නාට්‍යෝචිත බව, නාට්‍යයේ භාෂා භාවිතය හා දෙබස් භාවිතයට යන කාරණාවලට ලකුණු විස්ස ගණනේත්, සමස්ත නාට්‍යය නිර්මාණයට ලකුණු දහයයි. එහෙත් ඒ ලකුණු ලබාදීම පිළිගත නොහැකියි. මොකද අනෙක් අංශ සියල්ල සාර්ථක වී තිබියදී මේක වේදිකාවේ කියෙව්වත් නාට්‍යයක් ඔවුන්ට පෙනිය යුතු නිසයි.

ඒ වගේ ම තවත් කාරණයක් ඒ සඳහා බලපානවා?

අනෙක් කාරණය නම් නාට්‍ය වේදිකා ගත කිරීමට මට දුන් බොරැල්ල වයි.එම්.බී.ඒ. රඟහලයි. එහිදී මා මගේ නාට්‍යයට භාවිත කරන අධිරංග රීතිය සහ ආලෝකකරණ පද්ධතිය යටතේ මා භාවිත කරන සමහර ජිමික්ස් පෙන්වීමට අවශ්‍ය පහසුකම් ඒ තියටර් එකේ ඇත්තේ නැහැ. එහෙම පහසුකම් නැකි නාට්‍ය රඟහලක් මට දීලා ඔවුන් පවසන්නේ ඔබගේ සමස්ත නාට්‍යයේ නිර්මාණාත්මක බවට ලකුණු දිය හැක්කේ මෙපමණ බවයි. එහෙම බලන විට ඒක මගේ අඩුපාඩුවක් නොවයි නේ. මට දුන්නා නම් ටවර් එක හෝ අනෙක් රඟහලක් මම මගේ සමස්ත නාට්‍යය ඒවායේ පෙන්වනවා. සමස්ත නාට්‍ය පෙන්වන්න බැරි හෝල් එකක් නාට්‍යකරුවන්ට දීලා සමස්ත නාට්‍යයට ඔවුන් ලකුණු දෙනවා. ඒ ක්‍රමය බොහෝ අසාධරණයි. මේ සියලු කාරණා ගැන පවසමින් මා අධ්‍යක්ෂතුමියට කරුණු පැහැදිලි කළා. මා ඇයට මේ අවස්ථාවේ බොහෝ ගරු කරන්නේ ඇගේ ඍජු බවට හා නිහතමානී බවටයි. එලෙස ඇහුම්කන් නොදෙන්න මට යළිත් ඊළඟ වටයට යෑමේ අවස්ථාව නොලැබී යෑමට ඉඩ තිබුණා. ඒත් අවසාන වටයේදි ලැබුණු රඟහලේදි මට කිව හැකි සියලු දේ මා නාට්‍යයේදි පෙන්වනවා. ඒ නිසයි මට මෙලෙස සම්මාන ලැබෙන්නේ.

‘ලෙටර්’ නමින් ඔබ මේ රැගෙන එන්නේ ප්‍රේක්ෂකයන්ට ලියුමක් ද?

නිර්මාණයේදි ‘ලෙටර්’ කියන්නේ ලියුමකට එහා ගිය කාරණයක් විදියටයි මා ‘ලෙටර්’ අර්ථ දක්වන්නේ. මේ කතා තේමාව මා ගන්නේ ඔස්ට්‍රේලියානු ජාතික කේට් වෝකර් කියන ලේඛිකාවගේ ‘පෙම් හසුන’ කියන යොවුන් කෙටිකතා සංග්‍රහයෙන්. මේ පරිවර්තන කෘතිය මට මුණ ගැසෙන්නෙත් බොහොම අපූරු විදියකට. ඒ පොත් ගන්න සිතාගෙන මා දවසක් පේමන්ට් එකේ තිබෙන පොත් බල බලා ඇවිදින විටදියි, මට මේ පොත ඒ අතර තිබෙනවා දකින්නට ලැබෙන්නේ. යොවුන් සාහිත්‍ය අලළා නිර්මාණය වුණු මේ කෘතියේ තිබුණේ ඔස්ට්‍රේලියන් සංස්කෘතිය, ඒ සංස්කෘතියේ ගොඩනැඟුණු ආදරය පිළිබඳයි. එය කියෙව්වාට පස්සේ එහි ඇතුළත් ඒ චරිත හා සිදුවීම් සියල්ල වෙනස් කරමින් අපේ සමාජයට උචිත විදියටයි මා පිටපත සකස් කරන්නේ.

යෞවන ආදරය අද වන විට තිබෙන්නේ මොන වගේ තැනක ද?

යොවුන් ආදරය කියන දේ යෞවනයෙක් විදියට මා වසර එකොළහක් පමණ විඳලා තිබෙනවා. අද මා හා විවාහ වී සිටින බිරියට මා ආදරය කරන්නේ වයස දාහතරේ පටන්. ඒ ප්‍රේමය බොහොම සුන්දරයි. කිලිටි නැහැ. ඒත් අද යෞවන ප්‍රේමයක් ගත්තොත් ඒක බොහොම කිලිටියි. ඒක දුර්වර්ණ වෙලා තිබෙන්නේ. ඒක පැහැදිලි නැහැ. ඒක ඍජු නැහැ. ඒකට ආකල්පයක් නැහැ. ඒකට හැඟීම් නැහැ. ඒකේ තිබෙන්නේ පන්චස්කන්දය පමණයි. ඒක ඇතුළේ අධ්‍යාත්මයක් නැහැ. අද අපේ සමාජය ඇතුළේ මුණ ගැසෙන්නේ කොඳුඇට පෙළ හා අධ්‍යාත්මය බිඳී ගිය යොවුන් ප්‍රේමයක්. අපේ කාලයේ අපි ආදරය ප්‍රකාශ කළ විදිය වෙනස්. නූතනයේ ප්‍රේමය ප්‍රකාශ කරන විදියට වඩා අප එය කළ විදිය, දරා ගත්ත, වින්ඳ විදිය මීට වඩා දාර්ශනිකයි කියලා මට සිතෙනවා. එහි සංයමයක් තිබුණා. අද යොවුන් ප්‍රේමයේ එවැනි තත්ත්වයක් නැහැ. සමහර අය තුළ තිබුණත් බහුතරයක් ඇතුළේ එවන් යොවුන් ප්‍රේමයක් ඇත්තේ නැහැ කියන මතයේයි මා සිටින්නේ.

‘ලෙටර්’ සඳහා සහභාගි වන ශිල්පින් හා ශිල්පිනියන් කවුරුන් ද?

පිටපත ලියන විටදිමයි මේ එක් චරිතයකට කසුන් ලියනගේව මා තෝරා ගන්නේ. නිළිය විදියට තෝරා ගන්නේ තිලිණි ජයමාලියි. සංගීතයෙන් නෙලංක නාමල් උඩුමුල්ල, වේදිකා පරිපාලනයෙන් යෞවන නාට්‍ය උලෙළේදි දුලිප් හා ජානකත්, රාජ්‍ය නාට්‍ය උලෙළේදි ටෙශාන් සමින්ද හා චනුක මධුහංසයි සහය වන්නේ. ආලෝකකරණයෙන් සුරේශ් මධුශාන්, ඇඳුම් නිර්මාණයෙන් රෝහණ කස්තුරිආරච්චි, වේශ නිරූපණයෙන් රුක්මන් තිලකරත්නත් මේ කටයුත්ත සාර්ථක කරගැනීමට මට සහය වුණා.

‘මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල දිගු නාට්‍යයක් සඳහා අවශ්‍ය පිටපතක් ලියමිනුයි කාලය ගත කරන්නේ. ලෙටර් ළඟදීම වේදිකා ගතවීමට නියමිතයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.