මඟුල් කපුවා සමඟ නෙරුදා ලාංකික වේදිකාවට

අඛිල සපුමල්
ජූලි 18, 2019

‘බයිසන්’, ‘රාවණ ආදරයේ හුස්ම ළඟ’, ‘ඌ වීරයා’, ‘ බැකී’, ‘පුංචි එකාට කෝලමක්’, ‘හිනාවෙලා මිනිත්තුවක්’, ‘ගිරිකූඨ’ කාශ්‍යප’, ‘ගුත්තිල කාව්‍ය’, ‘පුළුවන්නම් අල්ලගන්න’ ආදි නිර්මාණ රැසම මෙතෙක් ඔහු වේදිකාවට ගෙන ආ නාට්‍ය නිර්මාණයි. වසර ගණනක සිට වර්තමානය දක්වාම වේදිකාවේ රැඳී සිටින අනාගතයේ බලාපොරොත්තු තබා ගත හැකි තරුණ නාට්‍යකරුවකු වන ඔහු යළිත් සැරැසෙන්නේ එවන් වේදිකා නිර්මාණයක් ප්‍රේක්ෂක ඔබ හමුවට පමුණුවන්නට ය. සමාජයේ විවිධ ගැටලු විවිධ කෝණවලින් සිය නිර්මාණවලට හසුකර ගනිමින් ඔහු මෙවර ඔබ හමුවට රැගෙන එන නාට්‍යය ද එවැන්නකි. ඔහු අන් කවුරුත් නොව අඛිල සපුමල් ය.

 

ඔබගේ අලුත්ම වේදිකා නාට්‍යය ‘මඟුල් කපුවා’. එහි මංගල දර්ශනය පැවැත්වෙන්නේ කවදාද?

මේ මාසයේ 19 වැනිදා සවස 7.00ට ලුම්බිණි රඟහලේදියි මංගල දර්ශනය වේදිකා ගත වන්නේ.

‘මඟුල් කපුවා’ ස්වතන්ත්‍රයක් ද? පරිවර්තනයක් ද?

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ලියලා තියෙනවා ‘නෙරූදාගේ ලියුම්කාරයා’ නමින් නවකතාවක්. එය පරිවර්තනයක්. ඔහු එය පරිවර්තනය කරලා තියෙන්නේ ඡ්තජචපපඥපධ ඤඥ ව්ඥපභඤච නම් ඒදබධදඪධ ඵඬචපථඥබච ගේ නවකතාවකින්. ඒ නවකතාව පදනම් කරගෙන, ඒ ඇසුරින් මා ලියන ලද නාට්‍යයයි ‘මඟුල් කපුවා’ කියන්නේ.

‘මඟුල් කපුවා’ගේ ආරම්භය විදේශයකට අයත් වූවක්?

මේ නවකතාව කෙටි නවකතාවක්. චිලියේ තිබෙන මේ ඉංග්‍රීසි නවකතාවයි මහාචාර්යවරයා ‘නෙරූදාගේ ලියුම්කාරයා’ යන නමින් පරිවර්තනය කරන්නේ. විදේශීය අත්දැකීමකුයි නවකතාවේ තිබෙන්නේ. නෙරූදා කියලා කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදුණු විශ්ව කීර්තියට පත් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පවා හිමිකර ගත් නිර්මාණකරුවෙක්. ඔහු ධීවර ගම්මානයක දින කිහිපයක් ගත කරනවා. ඒ දින කිහිපයේ ඔහු ගත කරන සොඳුරු ජීවිත අත්දැකීම් තමයි නාට්‍යයේ තිබෙන්නේ. එහි යන දේශපාලනික කතන්දරය නූතන ලංකාවේ දේශපාලනයට ඉතා සමීපයි. අපේ ජන විඥානයට, අපේ අත්දැකීම්වලට, අපේ සංස්කෘතියට ඉතා ළඟයි. ඒ නිසාමයි මේ තේමාව මම නාට්‍යයක් විදියට නැවත ලියන්න හිතුවේ. එයයි මේ ‘මඟුල් කපුවා’ නමින් මා අතින් ලියැවෙන්නේ.

ඒ කෘතියේ තිබෙන සංසිද්ධි එලෙසින්ම ඔබ නාට්‍යයට රැගෙන ආවා ද?

ඒ කතාවම මේ නාට්‍යයේ නැහැ. එය ඇසුරින් විවිධ නවාංග එකතු කරමින්, අපේ රටේ දේශපාලනයට මේ මොහොතේ අදාළ වන සිද්ධි වැනි දේ එකතු කරගෙන ලියන ලද නාට්‍යයකුයි ‘මඟුල් කපුවා’ කියන්නේ. ඒ සඳහා එහි ඇතුළත් විශේෂ චරිත හා සිතට වැදුණු චරිත පදනම් කරගෙන, තවත් අලුත් චරිත එකතු කරමිනුයි මේ නාට්‍යය මා ලියන්නේ. මා එලෙස පවසන්නේ නවකතාවේ තියෙන්නේ නාට්‍යයක් ලියන අත්දැකීමකට වඩා කියැවීමට උචිත අත්දැකීමකුයි. ඒ නිසා ඒ නිර්මාණය නාට්‍යයක් කරනවා නම් සෑහෙන්න වෙනස්කම් හා අත්දැකීම් භාවිත කරමිනුයි ලිවිය යුත්තේ. එයයි මා මේ නාට්‍යය නිර්මාණයේදි සිදු කළේ.

ලේඛකයාගේ නිර්මාණයට පාදක වුණේ ධීවර ගම්මානයක්. ඔබගේ නාට්‍යයේ යොදලා තිබෙන නමෙන් එවැන්නක් කියැ‍වෙන්නේ නැහැ?

මේ නාට්‍යයට මඟුල් කපුවා කියන නම මා යොදන්නේ ම කාරණා කිහිපයක් මතයි. අපේ රටේ ප්‍රේක්ෂාගාර කිහිපයක් තිබෙනවා. විද්වත් ප්‍රේක්ෂාගාරයක්. විශ්වවිද්‍යාල සහ ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් අය. ඒ වගේ ම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන අය. එතැන ඉන්නේ සියයට දෙකක් වගේ ප්‍රතිශතයක්. ඊළඟට නාට්‍ය නරඹන්න කැමැති, රසවින්දනයක් තියෙන හොඳ ප්‍රේක්ෂාගාරයකුත් ඉන්නවා. ඒ වගේම නාට්‍ය නරඹලා පුරුද්දක් නැති, නාට්‍යයක් කවදාවත් නරඹලා නැති, කම්කරු, ධීවර ආදි ඉතා දරිද්‍රතාවෙන් යුතු ජීවිතයක් ගත කරන කොටසක් වෙනම ඉන්නවා. අප නිර්මාණයක් කළ යුත්තේ මේ හැමෝටම සමීප වීමටයි. පොදු ප්‍රේක්ෂාගාරයටයි.

මුල් කාලයේ ඔබගේ නිර්මාණවලදි පොදු ප්‍රේක්ෂාගාරය ඔබට මඟ හැරුණා?

මුල් කාලයේ අපේ විශ්වවිද්‍යාල ජීවිතයේ හා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ අපේ ඔළුවට නිතරම ආවේ මේ නිර්මාණ මඟින් විද්වත් කතිකාවක්, සමාජ විචාරකයන්ට අපේ නාට්‍යය පාදක කරගෙන විචාරයක් ලියන්න හැකි නිර්මාණයක් කරන්නයි. ඒ නිසා ඒ නිර්මාණවල තිබිය යුතු ශෛලිය, තේමාව ගැන අප බරපතළව සිතනවා. එවිට අපේ දැනුම, කුසලතා, ඒ නිර්මාණයට ගෙන ඒමේදි අපට සාමාන්‍ය ප්‍රේක්ෂාගාරය මඟ හැරෙනවා. මේ මගේ දහවැනි නිර්මාණය. අත්දැකීම් එක්ක එතැනදි මා හිතන්නේ මා නිර්මාණයට දමන නම පවා සරල වෙන්න ඕන බවයි. මා කතා කරන දේශපාලන සහ ආර්ථික, සංස්කෘතික වටපිටාව ගැඹුරුයි. එය යන්නේ නාට්‍යයේ යටි පෙළෙන්. ඒ නිසා එය නමටත් යොදලා සංකීර්ණ නොකළ යුත්තක් බවයි මා සිතන්නේ. ඒත් ඒ අත්දැකීම සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචරයි. සමීපයි. ඒ නිසයි මඟුල් කපුවා වගේ නමක් යොදාගෙන මේ නිර්මාණය කළ යුතුයි කියලා මා සිතුවේ. ඒ වගේ ම මා යෙදූ මේ නම නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයන්ට අර්ථාන්විතයි.

ඔබ මඟුල් කපුකම මඟින් ගෙනෙන පණිවුඩය වෙනස්ම කාරණාවක්?

කපුකමක් කරන්නේ යම්කිසි පාර්ශ්ව දෙකක් එක්වීමටයි. ඒ මඟින් සරල අර්ථයක් දෙන්නේ, හැඟෙන්නේ ස්ත්‍රියක් හා පුරුෂයෙක්ගේ එක්වීම කියන එකයි. මේ නිර්මාණය ඇතුළේ නෙරුදා කපුකම කරන්නේ ලියුම් බෙදන ලියුම්කරුවාටයි. ඒක ප්‍රේමය වෙනුවෙන් කරන කපුකමක්. ඒක මිනිස් හැඟීමකට කරන කපුකමක්. ඒක තමන්ගේ හිතෛෂිවන්ත මිත්‍රයට කරන කපුකමක්. අනෙක් පැත්තෙන් ජගත් චමිල රඟපාන චරිතය මා විසින්ම ගොඩනඟන චරිතයක්. එහෙම චරිතයක් නවකතාවෙවත් පදනම් වෙලා නැහැ. ඒ චරිතය නෙරුදාගේ පොත් හොරෙන් උස්සලා කියවන චරිතයක්. ඔහු මඟිනුයි නාට්‍යය පුරාවට සාමාජයේ තිබෙන අඩුපාඩුකම්, සමාජය කොයිපැත්තට ද යා යුත්තේ කියන අදහස් එළිදැක්වෙන්නේ. සමාජ වෙනසකට අවශ්‍ය කපුකමකුයි නෙරුදා කරන්නේ ඒ තරුණයට. ඒක වෙන්නේ මේ පොත් මඟින්. මෙහි සාහිත්‍යය කියන දේ කපුකමක් බවට පත්වෙනවා වෙනසකටත් එක්ක. මේ නිර්මාණය මඟින් මතු කරන්නේ මිනිස්සුන්ගේ හදවත්වලට සාහිත්‍යය කියන කපුකම ගලාගෙන ආවොතින් මිනිස්සු සුවපත් වෙන අයුරුයි. මිනිස්සු වෙනස් වෙන අයුරුයි. මිනිස්සු ප්‍රේම කරන අයුරුයි. මේ කාරණාව මතු කරන්නයි මඟුල් කපුකම කියන නම මා නාට්‍යයට යොදන්නේ.

මෙහි රඟපාන නළු නිළියන් කවුද?

ජගත් චමිල, මල්කාන්ති ජයසිංහ, මේනක රාජපක්ෂ, ඉමායා ප්‍රනාන්දු ඇතුළු පිරිසයි මෙහි රංගනයෙන් සහය වන්නේ. සංගීතය අධ්‍යක්ෂණය ප්‍රොබෝධ බුද්ධිප්‍රිය, රංගවස්ත්‍ර ඉරේෂාත්, අංගරචනය රන්දික, වේදිකා පරිපාලනය පැතුම්, සීගිරි, අදීෂ,බිම්සර කියන ශිල්පීන් රැසක් මේ නිර්මාණයට සම්බන්ධ වී සිටිනවා.

මෙහි රඟපාන නළු නිළියන් ජනපි‍්‍රය අය?

අද මිනිස්සු දන්න අය රඟපාන නාට්‍යය නරඹන ප්‍රවණතාවක් තිබෙනවා. මෙහි ජගත් චමිල කියන්නේ පුළුවන් නම් අල්ල ගන්න කියන මගේ නවවැනි වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය කළ රංගධරයෙක්. මම නිතරම වේදිකාවේදි මුලින්ම සලකන්නේ දක්ෂතාව නොවෙයි. වේදිකාවට දක්වන ගරුත්වය. කැපවීම. මොකද මාත් එක්ක වැඩකරද්දි සාමාන්‍ය නාට්‍යයකට වඩා වෙහෙස වැඩියි. මම නළුවගෙන් උරිම දේ ගන්න වැඩ කරනවා. ලොකු කාලයක් පුහුණු වීම් නොකළත් වැඩ කරන කාලය ඇතුළේ උපරිම වැඩ කරනවා. නෙරුදාගේ චරිතය තමයි මෙහි අභියෝගාත්මක චරිතය වන්නේ. ඒ සඳහා මමම ඒ අභියෝගය භාර ගනිමින් මේනක රාජපක්ෂ කියන ජනප්‍රිය ධහරාවේ ටෙලි නාට්‍යවල සිටින තරුණ නළුවාව ‍තෝරා ගන්නවා. ඔහුගේ ප්‍රථම වේදිකා රංගය මෙයයි. මට අවශ්‍ය වුණා කාලයක් කැප කරන්න අවශ්‍ය නළුවෙක්. ඔහුට සැබෑ වුවමනාවක් තිබේ නම් ඔහු රඟපෑවේ කුමක් ද කියන එකට වඩා ඔහුට ඕනෑම චරිතයක් රඟපාන්නට හැකිය කියන මතයේයි මා සිටින්නේ. ඒ කැප කිරීම ඔහු කළා. ඔහුත්, ජගත් චමිල වගේම මල්කාන්ති ජයසිංහත් ඇතුළු වේදිකාවේ සිටින දක්ෂකම් දක්වන නළු නළියන් රැසක් එකතු කරගනිමිනුයි ප්‍රේක්ෂකයා වෙතට ගෙන එන මේ ආනන්දනීය නිර්මාණය වේදිකා ගතවන්නේ.

තිලානි ශානිකා විතානාච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.