අපේ වරද්දා ගැනීම් ගැනයි මේ කියන්නේ

‘අල්ලයි වල්ගෙ’ ගෙන එන මහින්ද පතිරගේ
ජූලි 25, 2019

මහින්ද පතිරගේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. කවුද කින්ද මන්ද කියා අපටත් වැඩිය හොඳට ඔබට පවසන්නට හැකිය. එසේ වන්නේ මහින්ද ජනතාව අතරේ ඉන්න නළුවකු නිසාය. ඔහුගේ මුවඟෙහි මඳ සිනහවක් නැති අවස්ථාවක් නැත. සුහදශීලීකම නිසාම සෑම තරාතිරකම රසිකයන් මහින්දට ළෙංගතුය. ඔහු රටම හඳුනා ගත්තේ රාජ සභාවේ පුරෝහිතගේ චරිතයෙනි.

මහින්දගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය අල්ලයි වල්ගේ නම් වෙයි. එහි විශේෂ දර්ශනයක් මෙම මස 28 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියෙටර්හිදී පැවැත්වීමට නියමිතය. කලකින් මහින්ද හා අප සංවාදයක් පැවැත් වූයේ නැත. අල්ලයි වල්ගේ නිමිති කර ගනිමින් කතාබහක් පැවැත්වීමට ඔහුට අප ආරාධනා කළෙමු.

අල්ලයි වල්ගේ . . . මොකක්ද මේ අල්ලයි වල්ගේ? මඳක් කතා කරමු ඒ ගැන?

මේක මේ කාලතරණය පිළිබඳ කතාවක්. අතීතයත් වර්තමානයත් අනාගතයත් යන කාලයන් තුනම යොදා ගනිමින් ඒ හා සිදුවන සිද්ධීන් උපයෝගී කරගෙන තමයි නාට්‍ය රචනා වුණේ. අනාගතයේ අපි ඉන්නේ කොහොමද, ඔක්සිජන් බෝතල් රොබෝලා එක්ක තමයි ජීවත් වෙන්නේ. අපේ ශරීරයේ අවයවයන්ගෙන් භාගයක් නැහැ. අතීතය ගත්තොත් මේකෙ ඩයිනෝසෝර් කෙනෙකුත් ඉන්නවා. අපි අහලා තියෙන්නේ ඩයිනෝසෝර් කියන්නේ මිනීමස් කන සත්තු ජාතියක් කියලා. ඒක අපි හදා ගත්තු මතයක්නෙ. ඩයිනෝසෝර් කිව්වම ඔළුවට යන්නේ ඒක. අපිම තමයි වරද්දගෙන තියෙන්නේ. යම් දේශපාලනයකුත් මං නාට්‍ය හරහා කතාබහ කරනවා. මේකෙ මංගල දර්ශනයට මං කතා කළා දිල්හානි අශෝකමාලා, රෝහණ බැද්දගේ, විජේරත්න වරකාගොඩ වගේ මාත් එක්ක රඟපාපු මගේ ගැන්සියේ කට්ටියට. එයාලට මේක අලුත් අත්දැකීමක් වුණා. බොහෝ දේ මට පවසලා දිරි දුන්නා. මං නාට්‍යයේ මාස්ටර් සර්. මාස්ටර් සර් කියන්නේ දේශයේ අනන්‍යතාවය රැකගත් චරිතයක්. අපි ඇමරිකාවට ගියොත් ඒ රටේ අගනුවර තියෙන්නේ ඇමරිකන් සිස්ටම් එකට, ජපානයට ගියොත් ජපන් විදිහට, කොරියාවට ගියොත් ඒ විදිහට. නමුත් අපට එහෙම අනන්‍යතාවයක් තියෙනවද . කොළඹ නගරය පෙන්නලා එහෙම කියන්න පුළුවන්ද. ලාංකේය අපට හැඩයක් නැහැ. නාට්‍යයෙන් කතා කරනවා ඒ පිළිබඳවත්.

ඔබ වඩාත් ප්‍රකට විකට නළුවකු විදිහට. එහෙම හඳුන්වා දෙන එකට ඔබ කැමැතිද?

මුල මතක තියෙන්න ඕන මොන දේ කළත්. මං ආවේ හාස්‍යෝත්පාදක නළුවකු විදිහට. මිනිස්සු අතරට ගියේ එහෙම. විකට චරිත රඟපෑමට සුවිශේෂි වූ හැකියාවක් මට තියෙනවා කියලා දන්නවා. ඊට වඩා මං ගාව චරිතාංග නළුවෙක් ඉන්නවා. රාජ සභාවේ පුරෝහිතගේ චරිතය බලන්න. ඒකේ හාස්‍ය තිබුණට මං ඒ තුළත් වෙනසක් කළානේ. ළඟදී කරපු සුභා තෙරණියෝ චිත්‍රපටයත් වෙනස් චරිතයක් කළා. ඒකටත් මං ආසයි. ඒක දෙපිටකාට්ටු චරිතයක්. ඊට අමතරව මං තවත් දෙයක් සඳහන් කරන්න ඕනෑ. කෝරළේ මහත්තයා නාට්‍යයේ පිනාගේ චරිතය ඔබට මතක ඇති කියලා හිතනවා. පිනා කියපු ගමන් අපට මතක් වෙන්නේ ගැමුණු විජේසූරිය මහත්තයාගේ හඬ. මං ඒ චරිතයට රූපයක් එක් කළා. මිනිස්සු කොහොම පිළිගනියිද කියලා පොඩි බයකුත් තිබුණා. කොන්ද ටිකක් වකුටු කරලා කටහඬත් වෙනස් කළානෙ. හැබැයි මිනිස්සු පිළිගත්තා මේ තමයි පිනා කියලා. ඒක ගැමුණු මහත්තයාටත් නොලැබුණු අවස්ථාවක්. එතුමාටවත් පිනා හැටියට රූපෙත් එක්ක රඟපාන්න බැරි වුණානේ.

ඔබේ සගයා ගුණදාස මධුරසිංහ අද කෝ?

එක්දහස් නවසිය හැත්තෑ නවයේ රජරට සේවය ආරම්භ කරපු දා තමයි අපි හමු වුණේ. එදා පටන් අඛණ්ඩව අවුරුදු ගාණක් අපි දෙන්නා මිනිස්සු පිනෙව්වා. යම් යම් අසනීප තත්ත්වයන් මත ඔහු රංගනයෙන් ඈත් වෙලා අනුරාධපුරයට වෙලා ඉන්නවා. ආයේ රඟපාන්නේ නැද්ද කියලා අහපුවම දැන් ඇති බං කියලා තමයි කියන්නේ. ඔහු එහෙම අල්පේච්ඡ ජිවිතයක් ගත කරන්න පටන් ගෙන. ගුණදාස අයියා මට වැඩිය අවුරුදු දහයක් වැඩිමහල්. මට ඔහු විදිහට හිතන්නත් තව අවුරුදු දහයක් විතර යාවි. ඒක නිසා තවම මං රඟපානවා. මාව මිනිස්සු දැක්කම කියන්නේ ‘ආ මේ බඩුම තමා’ නේද කියලා. ඒ වචන ටිකත් ගුණදාස අයියා ලියපුවා. ඔහුව මතක් කරපු එකත් වටිනවා මේ වෙලාවේ.

වේදිකා නාට්‍යය නරඹන්න ප්‍රේක්ෂකයෝ එනවද මේ කාලේ?

රටේ මොන යම් හෝ අර්බුදකාරී වාතාවරණයක් තිබුණත් වේදිකා නාට්‍ය කලාව වැටුණේ නැහැ. භීෂණ කාලෙදි වුණත් ඒක ගැන කතා කර කරම වේදිකා නාට්‍ය හැදුණනෙ. අදටත් ඒක එහෙම්මම තමයි. දර්ශන වාර අවලංගු කළා හැර වෙන අර්බුදයක් නැහැ. සිනමාවටත් වඩා සක්‍රීය මාධ්‍යයක් හැටියට මා දකිනවා වේදිකා නාට්‍ය කලාව. මිනිස්සු ආසයි තමන්ගේ ගමට වේදිකා නාට්‍යයක් එනවට. නළු නිළියෝ එක්ක කතාබහ කරන්නත් ඔවුන් ආසයි. අපි සමහර පැතිවලට ගියාම විශේෂයෙන් දකුණු පළාතෙ වගේ මිනිස්සු ඉල්ලනවා එයාලගේ ගමටත් වේදිකා නාට්‍ය ගේන්න කියලා. එහෙම කැමැත්තක් තිබුණට ඔවුන් හරිහැටි දන්නේ නැහැ වේදිකා නාට්‍යයක් සංවිධානය කරගන්නේ කොහොමද කියලා. ඒ නිසා නාට්‍ය ඒ වගේ ගම්වල පෙන්වන්නේ නැහැ.

විජය නන්දසිරි අවසන් වරට රඟපෑ අලුත් හොරෙක් ඕනෑ වේදිකා නාට්‍යයේ විජය රඟපෑ චරිතය ඔහුගේ වියෝවෙන් පසුව බාර වුණේ ඔබට. නමුත් ඔබත් ඒ නාට්‍ය අතහැර ගිහිල්ලා?

විජය නන්දසිරි රඟපාද්දී මං ඒ නාට්‍ය බලලාවත් තිබුණේ නැහැ. ඔහු එතකොට ෂෝස් හතළිහක් විතර තමයි කරලා තිබුණේ. මං ෂෝස්් අසූවකට වඩා කළානෙ. මට විජය කරපු චරිතය ලැබුණායින් පසුව කිසි වෙලාවක ඔහුව අනුකරණය කළේ නැහැ. මගේ චරිත නිරූපණයේ යෙදුණේ. මං රඟපාන තවත් නාට්‍යයක් තියෙනවා සක්‍රභවන කියලා. ඒකෙ දිනයි මේ නාට්‍යයේ දිනයි මට හදාගන්න බැරි වුණා. මේ ගැටලුකාරි තත්ත්වය මත අලුත් හොරෙක් නාට්‍යයෙන් මං අයින් වුණා.

ඔබ චිත්‍ර කලාවට අති දක්ෂයෙක්. නමුත් අප්‍රකටයි?

එක්දහස් නවසිය හැත්තෑ හයේ තමයි මං චිත්‍ර කලාවට යොමු වුණේ. එතකොට මං පාසල් යන ගැටයා. රඟපාන්න එන්නත් පෙර තමයි චිත්‍ර කලාව පටන් ගත්තේ. අනුරාධපුරයේ අපට ෂොප් එකක් තියෙනවා. තාත්තා තමයි ඒක කරගෙන ගියේ. ඔහු හදිසියේම වියෝ වුණා. අපේ පවුලේ එකොළොස් දෙනෙක් හිටියා. මට වැඩිමහල් අයියලා හතර දෙනාම තාත්තගේ කඩය බාරගන්න බැහැ කිව්වා. මට තමයි පවුලේ බර කරට අරගෙන ෂොප් එක කරගෙන යන්න බාර වුණේ. හැත්තෑ අටේ අවුරුද්දේ විතර මට ලස්සන දවසක් චිත්‍රපටයේ කටවුට් එහෙම අඳින්න ලැබුණා. මං අඳින නැචුරල්කමට ගොඩක් දෙනෙකු ප්‍රිය කළා. විශේෂයෙන්ම ධර්මසිරි ගමගේ මහත්තයා එහෙම දිගටම වැඩ දුන්නා. ඒ ලැබෙන මුදලින් තමයි තාත්තගේ ෂොප් එක ගොඩ ගත්තේ. අදටත් මගේ දෛනික වියහියදමට මුදල් ලැබෙන්නේ ඒකෙන්. මගේ විවාහයට අත්සන් කළේ ගමගේ මහත්තයා. එදා උත්සවය වෙලාවේ එතුමා කතාවක් කළා. ඒ අතරතුරදී මගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා. කොහොමද ඔතරම් සියුම්ව චිත්‍ර අදින්නේ කියලා. විශේෂයෙන්ම ජෝ අබේවික්‍රම මහත්තයාගේ වගේ කියලා. මං දුන්නු පිළිතුර තමයි ජෝ මහත්තයාගේ මුහුණ අඳින්න ලෙහෙසියි. රේඛා ඇඳගෙන එද්දී රූපය ලස්සනට මතුවෙලා එනවා. ඒ වුණත් මං එතැනින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මුහුණේ ඉතාම සියුම් තැන් පවා ඇඳලයි වැඩේ අහවර කරන්නේ. ඒකයි මගේ වෙනස. මෙහෙම ඇඳපු චිත්‍ර එකතු කරලා චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.