ලෝකය රඟ මඬලකි අට වැනි වරටත් කොළඹට

අගෝස්තු 1, 2019

අටවැනි වරටත් පැවැත්වෙන 2019 කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ මේ මස 03 වැනිදා ආරම්භ වෙයි. මෙවර නාට්‍ය උලෙළ නම්කර ඇත්තේ ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරතන්නගේ නමිනි. 03 වැනිදා සිට 09 වැනිදා දක්වා දිවෙන කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ වැඩසටහන් රැසකින් සමන්විත ය. ඒ අනුව 03 වැනිදා සමාරම්භක උලෙළෙන් ආරම්භ වන කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ ගැන එහි අධ්‍යක්ෂ එම්. සෆීර් සමඟ කළ කතාබහක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

නාට්‍ය කලාවට බෙහෙවින් ඇල්මක් දක්වන එම්. සෆීර් මට මුණ ගැසෙන්නේ මීට වසර දොළහකට විතර පෙර වසරකදි. ඒ නාට්‍ය කලාවට ඔහු හඳුන්වා දෙන බ්ලැක් බොක්ස් තියටර් ගැන ලිපියක් ලියන්න. එතැන් පටන් ආරම්භ වන අපේ නාට්‍ය හිතවත්කම මඟින් මට දැනෙන එක කාරණයක් තිබුණා. ඒ ඔහුට වුවමනා වුණේ නාට්‍ය කලාවට යමක් කරන්න කියන කාරණය. ඒ අදහසේ මූලික පදනම නිර්මාණය වුණේ බ්ලැක් බොක්ස් තියටර් මඟින්. එතැනින් ආරම්භ වුණු ඔහුගේ මේ යමක් කිරීම ඔහු අරගෙන එන්නේ වේදිකා නාට්‍ය කිහිපයකුත් කරළියට රැගෙනයි. ඒ විතරක් නොවෙයි ඒ මඟින් ඔහු අලුත්ම නළු නිළියන් කිහිපදෙනෙක් වේදිකා නාට්‍ය කලාවට හඳුන්වලා දුන්නා. මේ අතර කලක පටන් ඔහුගේ හිතේ පැල්බැඳගෙන තිබුණේ වේදිකාවට පවතින යමක් කරන්න. එහි ප්‍රතිඵලයක් විදියටයි ඔහු කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ ආරම්භ කරන්නේ. මගේ මතකයේ විදියට මේ නාට්‍ය උලෙළ ඔහු ආරම්භ කරන්නේ ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමත් එක්ක. ඒ කාලයේ මේ ගැන බොහොම උනන්දුවෙන් අපත් එක්ක කතා කළ සෆීර්ට වුවමනා වුණේ අන්තර්ජාතික මට්ටමින් පවත්වන නාට්‍ය උලෙළක් විදියට මේ නාට්‍ය උලෙළ පවත්වන්න. අන්තර්ජාතික මට්ටමින් පැවැත්වෙන නාට්‍ය උලෙළක අත්දැකීම අපේ රටේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ටත් ලබාදෙන්න. ඒ සඳහා ඔහු වෙහෙසුණා. ඇති තරම් කට්ට කෑවා. ඔවුන්ට ඒ අත්දැකීම ලබාදෙන්න සෆීර් ඇති තරම් අනුග්‍රාහකයන් සොයා ගෙන ගියා. ප්‍රධාන අනුග්‍රාහකයෙක් කොහොම වෙතත් කිහිපදෙනකුගෙන් ඇරැඹුණු කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ අද දකින විට මට හිතෙන්නේ ඇත්තටම ඔහුගේ වෙහෙස වීමේ ප්‍රතිඵලය ගොඩක් දුරට සැබෑවක් වී ඇති බව.

“ඔව්. කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළේ මේ ගත වෙන්නේ අටවැනි අවුරුද්ද. එදා ඉඳලා බලන කොට අද අප ගොඩක් සාර්ථක ගමනක් ඇවිල්ලා. දැන් මේ උලෙළ පිළිබඳ මිනිස්සු අතර ඇති වන කතාබහ, ඒ පිළිබඳ ඔවුන් දක්වන අවධානය වඩාත් වර්ධනය වෙමිනුයි පවතින්නේ. මේ වන විට කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ හිටියට වඩා තරමක් තරුණයි. නාට්‍ය උලෙළ ආරම්භ කරන්නේ 03 වැනිදා. එදා පටන් 09 වැනිදා දක්වා දිගටම දින හයක කාලයක් මේ අන්තර්ජාතික නාට්‍ය උලෙළ පැවැත්වෙනවා. මෙහි සංවිධායකවරයා විදියට තිබෙන ගැටලුව වෙන්නේ කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ ඉහළට නංවන්න මා කැමැතියි. එහෙත් එවැනි අදහස් තිබුණට ආර්ථිකය කියන කාරණයේදි මා ඉන්නේ අඩි ගණනක් පිටුපසින්. තවමත් අපට නොහැකි වුණා මේ උලෙළ අපේ රටේ නගර දෙක, තුනකටවත් අරගෙන යන්න. ඒ සඳහා විශාල මුදලක් වුවමනායි. ඒ දේ දවසක සිදු වන තුරුයි අප මේ බලාගෙන ඉන්නේ.”

එදා ඉඳලා තිබුණ ආර්ථික ප්‍රශ්නවලට විසඳමක් නැති වුණත් එම්. සෆීර් කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ කොහොමහරි පවත්වනවා. එය අපේ ප්‍රවීණ නාට්‍යකරුවන් නමින් නම් කිරීමත් ඒ කාලයේ පටන් සිදු වුණු දෙයක්. ඔහු ඒක කරන්නේ අපේ නාට්‍ය කලාවට යමක් කළ නිර්මාණකරුවන් අගයන්න. ඒ වගේ ම විදේශයක සිටින නාට්‍යකරුවෙකුත් ඇගයෙනවා.

“මෙවර කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ නම් කර තිබෙන්නේ ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන උලෙළ නමින්. කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ උලෙළ ආචාර්ය ජයලත් මනෝරත්න නමින් නම් කරන්නේ කියන කාරණය. ගොඩක් අය දන්නේ නැති වෙන්න පුළුවන්. ආචාර්ය ජයලත් මනෝරත්න වේදිකා නාට්‍යවල රඟපෑම ආරම්භ කර මේ වසරට වසර පනහක්. දශක පහක කාලයක් කියන්නේ දිගු කාලයක්. ඒ තරම් කාලයක් රැඳී සිටි අයට ගෞරව දැක්වීම යුතුකමක් විදියටයි මා දකින්නේ. ඒ අප ඔවුන්ට වඩා පසු පරම්පරාව විදියට. ඒ ආකාරයටම අගයන අන්තර්ජාතික නාට්‍යකරුවා වන්නේ තෝමස් ස්ටුම්ප්. තෝම්ස් ස්ටුම්ප් කියන්නේ ජාත්‍යන්තර ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන ජාලයේ ළමා හා යොවුන් නාට්‍ය පිළිබඳ අංශයේ අංශ ප්‍රධානියායි. ඒ වගේ ම ඔහු නාට්‍යකාරුවෙක්. බර්ට්‍රෝල්ඩ් බෙෂ්ට් සම්බන්ධව ඔහුගේ නාට්‍ය අර්ථකථනය කරන කෙනෙක්. ඊට අමතරව සුපුරුදු විදියට අභිනන්දන උලෙළට අමතරව නාට්‍ය දර්ශන, නාට්‍ය වැඩමුළු මාලාව, අන්තර්ජාතික වශයෙන් නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනයත් පැවැත්වීමට නියමිතයි. වැඩමුළු සහ අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනය වෙන් වී තිබෙන්නේ ආරාධිතයන් සඳහා පමණමයි. යම්කිසි කෙනකුට ඒවා සඳහා ඇතුළු වීමට උනන්දුවක් තිබෙනවා නම් පූර්ව ලියාපදිංචියක් අවශ්‍යයි. එදා දවසේ පැමිණියොත් ඒ වැඩමුළුවලට ඇතුළු කිරීමට නොහැකියි. ඊට ආරක්ෂක හේතු වැනි කාරණාත් බලපාන බව සිහිපත් කළ යුතුයි.”

මෙවරත් කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අටක් සහභාගි වීමට නියමිතයි. ඒ අතරට ජර්මනිය, ඉන්දියාව, ඔස්ට්‍රියාව, පකිස්තානය, ඉරානය, ඇමෙරිකාව, රොමේනියාව අයත්. මේ අතර විදේශීය නාට්‍ය අටක් හා දේශීය නාට්‍ය පහකුත් වේදිකා ගත වීමට සියල්ල සූදානම්.

“ මේ නාට්‍ය උලෙළට අපේ රටේ ඉදිරිපත් වන වේදිකා නාට්‍යය මේවායි. ‘ග්‍රීස් යකා රිටන්ස්’ කියන්නේ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම වේදිකා නාට්‍යය. ‘නොකිය හිටපු දෙයක්’ කියන්නේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නාට්‍යය. ‘ඩෝ රේ මී ෆා සෝ ලා ටී’ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ඉංග්‍රීසි අංශයේ හොඳම නාට්‍යය. ‘මෙන්න අපේ රජ්ජුරුවෝ’ විවෘත අංශයේ සිංහල හොඳම නාට්‍යය. ‘ෆයිට් ඔෆ් ෆැන්සි’ කියන්නේ සීමිත අංශයේ හොඳම ළමා නාට්‍යය - දෙවැනි ස්ථානය. ඒ විදියට සම්මාන ගත් නාට්‍යය රැසක් අප මේ අන්තර්ජාතික උලෙළට තෝරා ගත්තා. මේ සියලු නාට්‍ය සැන්දෑවේ 6.30ට මරදාන එල්ෆිනිස්ටන් රඟහලේදි වේදිකා ගතවෙනවා.”

සෑම උලෙළකදීම විදේශීය නාට්‍ය ද තෝරා ගනු ලැබුවේ යම් ක්‍රමවේදයකට. ඒ සඳහා ලැබෙන සියලු නාට්‍යය උලෙළට තෝරාගනු නොලැබෙයි. ඒ අනුව මෙවර ලැබුණු නාට්‍ය අයැදුම්පත් ප්‍රමාණය 250කට වඩා වැඩි ප්‍රමාණයක්.

“මේ නාට්‍ය අයැදුම්පත්වලින් මූලික තෝරා ගැනීම් සඳහා අප ඉදිරිපත් කළේ නාට්‍ය විසිහතක්. ඒ නාට්‍ය අතරිනුත් තෝරා ගත්තේ නාට්‍ය දොළහක්. ඒ අතරිනුත් නාට්‍ය අටක් පමණයි අවසානයේ අප වේදිකා ගත කිරීමට තෝරා ගනු ලැබුවේ. මීට පෙර මේ උලෙළ අප පවත්වන්න සිටියේ ජුනි මාසයේ 5- 11 කියන දවස්වල. ඒත් අප්‍රේල් 21 වැනිදා රට ඇතුළේ ඇති වුණු අවාසනාවන්ත තත්ත්වයත් එක්ක ඒ වන විට අපට එන්න සිටි ස්වීඩන්, කොළොම්බියා, ජර්මන් නාට්‍ය කණ්ඩායම් තුනම මඟ හැරුණා. කොහොම වුණත් සෑම වසරකම ආරම්භ කරන නාට්‍ය උලෙළකදිම නාට්‍යවලට අයැදුම් කරන ප්‍රමාණය වැඩිවුණත් ඒ වැඩි වන ප්‍රමාණයට අවස්ථාවක් දෙන්න අපට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ අපට තිබෙන පහසුකම් අනුව හා ආර්ථික ශක්තිය අනුවයි. ලෝකයේ වෙනත් රටවල සිද්ධ වෙන්නේ එක ළඟ රංග ශාලා පහක හයක දවසකට නාට්‍ය දහයක් පමණ රංග ගතවන ක්‍රමයකුයි. ඒ ආකාරයට දවස් තුනක් පමණ තිබෙන නාට්‍ය උලෙළකුයි දැක ගත් හැක්කේ. ස්වීඩනයේ අන්තර්ජාතික නාට්‍ය උලෙළ පැවැත්වුණේ ඒ ආකාරයෙන්. එහෙම දියුණු සංස්කෘතියක් අපේ රට ඇතුළේ නැහැ. ලෝකයේ වෙන රටවල අන්තර්ජාතික නාට්‍ය උලෙළක් කියන්නේ නාට්‍යකරුවන්ටයි ඒ උලෙළ වැදගත් වන්නේ. අවාසනාවකට අපේ රටේ එවැනි තත්ත්වයක් තවම ඇති වී නැහැ. ඒ අපේ රටේ නාට්‍යකරුවන්ගේ මේ සඳහා තිබුණු උනන්දුව අඩු වීම නිසයි. මේ කාරාණා මෙසේ තිබියදී ගිය වසරේ නාට්‍ය උලෙළේ විශේෂ දෙයක් සිදු වුණා. ඒ ප්‍රේක්ෂාගාරය සියයට අසූවකින් පමණ වර්ධනය වීමයි. මම විශ්වාස කරන්නේ මේ වසරේ එහි තවත් වර්ධනයක් දැකිය හැකිය යන්නයි. ඒ මරදාන වගේ නගරයේ ප්‍රධාන තැනක දුම්රිය ස්ථානය ළඟ තියෙද්දි, බස්නැවතුමට විනාඩි දහයකින් පමණ යන්න හැකියාව තිබෙද්දී මෙතෙක් නාට්‍ය උලෙළ නැරැඹුව නැති ප්‍රේක්ෂකයන් මෙවර පැමිණේවි කියන අදහසේයි අප සිටින්නේ. මෙවැනි ස්ථානයක් තෝරා ගන්න අප අදහස් කළෙත් එහි යම් වර්ධනයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන්.”

කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළේ නාට්‍ය වේදිකා ගතවීමට අමතරව කොළඹ නාට්‍ය කතිකාවක් පැවැත්වෙයි. ඊටත් අමතරව රංග කලා වැඩමුළු මාලාවක් ද පැවැත්වෙන්නේ විදේශීය නාට්‍යකරුවන්ගේ දැනුම අපේ නාට්‍යකරුවන්ට ලබාදීමේ අරමුණ පෙරදැරිවයි.

“කොළඹ නාට්‍ය කතිකාව කියන්නේ අප සංවිධානය කරන දින තුනක සම්මේලනයක්. එය පැවැත්වෙන්නේ කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. එහිදි සිදු වන්නේ මේ සම්මේලනයට සහභාගි වන්නේ නාට්‍ය අධ්‍යක්ෂවරුන් පමණයි. දේශීය වගේ ම විදේශීය නාට්‍ය අධ්‍යක්ෂවරුන් ද මීට සහභාගි වෙනවා. උදේ වරුවේදි අප කතාබහට ලක් කරන්නේ අපේ රටේ දේශීය නාට්‍යවල තත්ත්වය, ජන නාට්‍ය, ළමා හා යොවුන් නාට්‍යවල තත්ත්වය, ශ්‍රී ලංකාව හා අන්තර්ජාතිකව තිබෙන ගනුදෙනුව මොන වගේ ද? කියන කාරණායි. ඒ කියන ලද කාරාණා ම විදේශ රටවලදි සිදු වන්නේ කෙසේද යන්න අප සාකච්ඡා කරන්නේ සවස් වරුවේදියි. නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රශ්න, ඒවා අපේ රටවලට වගේම විදේශීය රටවල අධ්‍යක්ෂවරුන්ට බලපානව ද? නැද්ද? බලපානවා නම් එහෙම වෙන්නේ කොහොම ද? යනාදි වශයෙන් පුළුල් සංවාදයක් ඇති කරගැනීමටයි සංවිධානය වී තිබෙන්නේ. මේ සඳහා සහභාගි වීමට වෙනත් රටවල නම් අධ්‍යක්ෂවරුන් සිහින දකිනවා. කොහොම වුණත් ලබන වසරේදි අප උත්සාහ කරන්නේ කතිකාව සඳහා අන්තර්ජාතික මට්ටමින් වෙනම නාට්‍යකරුවන් පිරිසකට ආරාධනා කරන්නයි. රංගකලා වැඩමුළු මාලාව 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදියි පැවැත්වෙන්නේ. එහිදි දවසකට වැඩමුළු දෙක ගණනේ දහයක් පැවැත්වෙනවා. විවිධ විෂයයන් පිළිබඳ එහි කතාබහට ලක් වේවි. ළමා හා යොවුන් නාට්‍ය පිළිබඳ, ඒවා නිර්මාණය කරන්නේ කොහොම ද? වෙස්මුහුණු හා රූකඩ හදා ගන්නා ආකාරය, නාට්‍යවල රංගාලෝකය, නර්තනය, වේදිකා පසුතල නිර්මාණය කරගන්නා ආකාරය, පූර්ව ළමා වියේ සිටින ළමයින් සමඟ නාට්‍ය කරන ආකාරය, ඒ අයට හදන නාට්‍යවල හැඩය කොහොම විය යුතු ද? කියන මාතෘකා රැසක් ඒ දිනවල කතාබහ වේවි. මේ සඳහා පූර්ව ලියාපදිංචියක් අවශ්‍යයයි. නාට්‍ය කලාව ගැන ඉගෙන ගන්න අයට, නාට්‍ය කලාවේ නියැළිලා සිටින අලුත් පරම්පරාවේ අයටයි මේ වැඩමුළු මාලාව වැදගත් වන්නේ.”

තමාගේ පෞද්ගලික ධනය පවා වියදම් කරගෙන අන්තර්ජාතික නාට්‍ය උලෙළක් කරන සෆීර් එය කුමන බාධක මැද වුවද පවත්වාගෙන යන්නේ අපේ නාට්‍ය කලාවට තිබෙන ආදරය නිසයි. අන්තර්ජාතික නාට්‍ය උලෙළකදි රටකට ලැබෙන වාසි බොහෝයි. එහෙත් ඉන් නියම වාසි ගැනීමට නම් රටේ වගකිව යුතු ආයතන ද ඊට සහය දැක්විය යුතු වෙයි.

“නාට්‍ය උලෙළට සහභාගි වන විදේශීය නාට්‍යකරුවන් පැමිණෙන්නේ නාට්‍ය ඉදිරිපත් කිරීමට පමණක්ම නොවෙයි. ඔවුන් මේ රටට පැමිණීමට මෙහි සුන්දරත්වයත් බලපානවා. ඔවුන් පැමිණ ඒ දින කිහිපයකට අමතරව තවත් දවස් ගණනක් මාස ගණනක් මේ රටේ සුන්දරත්වය නරඹලයි ආපසු යන්නේ. මේ රටේ විදේශ විනිමයට එක රුපියලකින් හරි ඔවුන් දායකත්වය දක්වන්නේ නාට්‍ය උලෙළට සහභාගි වන නිසයි. හරි නම් සිදු විය යුත්තේ සංචාරක අමාත්‍යාංශය ඇතුළු අපේ රටේ වගකිව යුතු ආයතන රැසක් අප හා අත්වැල් බැඳ ගැනීමයි. ඒත් ඔවුන්ට කොයිතරම් දැන්වුවත්, ගිහින් කිව්වත් ඒ කතාවලින් අද වනතුරුත් කිසිම වැඩක් වී නැහැ. ඒත් මේ වනවිට ඇමෙරිකාවේ සඟරාවක, රුමේනියාවේ පත්තරවල, පකිස්තානයේ, ඉන්දියාවේ හින්දු ටයිම්ස් එකේ ලියැවෙනවා; කියැවෙනවා. බොහෝ රටවල සඟරාවල, පත්තරවල ලියැවීමට තරම් අපේ නාට්‍ය උලෙළ අද ප්‍රබල වෙලා. ඒ මඟින් විවිධත්වයෙන් යුතු විශාල අන්තර්ජාතික උලෙළක් අපට කළ හැකියි. නාට්‍ය නැරැඹීමට, ඉදිරිපත් කිරීමට පැමිණෙන ඔවුන්ට අපේ දේශීය දේ තේ කොළ, ඇඳුම්, ආභරණ, දේශීය ඖෂධ, මැණික් ඇතුළු බොහෝ දේ අලෙවි කළ හැකියි. එහි ප්‍රතිලාභ අයත් වන්නේ රටටයි. ඒ සඳහා රජයේ වගකිවයුතු ආයතන සියල්ල ඒකරාශී විය යුතුයි. ප්‍රවාහන අමාත්‍යංශය, පේෂකර්මාන්ත අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය වැනි ආයතනවලට ඒ වගකීම පැවරෙනවා. ඒත් එවැනි කිසිවක් මෙතෙක් සිදු වී නැහැ. අපට සහයෝගය දැක්වූයේ සංස්කෘතික අමාත්‍යාංශයයි. ඔවුන්ගේ සීමා ඇතුළේ ටවර්හෝල් රඟහල පදනම මඟින් එල්ෆිනිස්ටන් රඟහල මේ නාට්‍ය උලෙළට ලබාදීමෙන්. ඊට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්තුමිය, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමිය ඇතුළු සියල්ලන්ට මෙහෙදි මා ස්තුති කළ යුතුයි. ඒ වගේම ඔවුන් අපට තවත් සහයෝගය දක්වන්නේ නම් මා වඩාත් කැමැතියි. ඒ අන් දෙයකට නොව මේ උලෙළ සාර්ථකත්වය රඳා ඇත්තේ අප ඇතුළු සියල්ලන්ම ඒකරාශී වීම මතයි. එය හුදු බලයට පත් වන රජයන්ගේ ද වගකීමක් විදියටයි මා දකින්නේ. මේ නාට්‍ය උලෙළ මගේ නාට්‍ය උලෙළක් පමණක් නොවෙයි. රටටම අයත් නාට්‍ය උලෙළක්.”

එම්. සෆීර් කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළට සහභාගි වීමට ආරාධනා කරන්නේ අපේ රටේ වගකිව යුතු ඒ ආයතනවලටයි. ඔහු එලෙස කරන්නේ අද ඊයේ නොවේ. මේ නාට්‍ය උලෙළ ආරම්භ කළ 2012 වසරේ පටන්මයි. එහෙත් එදා මෙන්ම කවදා ද සිදු වී තිබෙන්නේ එකම දෙයක්. ඒ නිසා මෙවරවත් ඒ සෆීර්ගේ ආරාධනය ඇසේවා ඔවුන්ට යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.