බඩගින්නත් සී සී කඩ...

අගෝස්තු 8, 2019

සිසුන් පිරිසක් එක්ව ප්‍රසිද්ධ වේදිකාව සඳහා නිර්මාණය කළ පළමු නාට්‍යය ‘පාර වසා ඇත’ වසර හතළිහ සපුරයි. මෙයට දශක හතරකට පෙර, 1979 වසරේ ජූලි මාසයේ එක් සන්ධ්‍යාවක සවස හයයි තිහේ හෝරාවට කොළඹ, හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ තුන්වැනි සීනුව නාද වූයේය. තිරය විවෘතව වේදිකාව ආලෝකවත් වෙද්දී පෙනී ගියේ දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක පිරිමි දරුවන් සිවු දෙනකු හා එක් දැරිවියක පාන් රාත්තලකට පොර කන ආකාරයයි. මොහොතකින් ඔවුහු හිස් ඔසොවා ප්‍රේක්ෂකාගාරය දෙස බැලූහ.

පාන් කෑල්ලත් සී.. සී.. කඩ... 
බඩගින්නත් සී.. සී.. කඩ... 
ජීවිතයත් සී.. සී.. කඩ... 
දරුවෝ හඬ නඟා පැවසූහ.

තුසිත ද සිල්වාගේ ‘පාර වසා ඇත’ නාට්‍යය ආරම්භ වූයේ ඒ ආකාරයෛනි. පර්යේෂණාත්මක විකාරරූපී රංග කාර්යයක් වූ, විරෝධාකල්ප සහිත ‘පාර වසා ඇත’ වේදිකා නාට්‍යයට ඓතිහාසික වැදගත්කමක් ද තිබිණි.

මෙරට පාසල් සිසුන් එක්ව සිදු කළ පළමු සිනමා නිර්මාණය බිහි වූයේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි. ඒ නිම්වළල්ලයි. එමෙන්ම මෙරට පාසල් සිසුන් එක්ව ප්‍රසිද්ධ වේදිකාව මතට ගෙන ආ පාසල් නාට්‍යයක් නොවන ප්‍රථම වේදිකා නාට්‍යය තුසිත ද සිල්වාගේ ‘පාර වසා ඇත’ බිහි වූයේ ද කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි. එවකට ආනන්දයේ විදුහල්පතිවරයාව සිටි අභාවප්‍රාප්ත කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මහතා පාසලේ පස් මහල් ගොඩනැගිල්ලක ඉහළම මහල නාට්‍යයේ පෙර පුහුණුවීම් සඳහා යොදා ගැන්මට ඉඩ දුන් බව ද කෘතඥතා පූර්වකව මෙහි සඳහන් කළ යුතුය.

‘පාර වසා ඇත’ නාට්‍යයේ මුහුරත් උළෙල 1979 වසරේ මුල් භාගයේ දිනෙක කොළඹ සුදර්ශියේදී පැවැත් වුණේ තවත් ආදි ආනන්දියකු වූ අභාවප්‍රාප්ත සම්මානනීය සිනමාකරු හා රූපවාහිනියේ මහත් පෙරළියක් සිදු කළ ටයිටස් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

අග නගරයේ මෙන්ම ප්‍රාදේශීයව ද ‘පාර වසා ඇත’ ප්‍රදර්ශනය වෙද්දී මෙරට ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද අවධානය ඒ වෙත යොමු විය. මෙරට ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු මෙන්ම අදීන විචාරකයකු ලෙස නමක් දිනා සිටි, අප අතරින් වියෝ වූ අජිත් සමරනායකයන් ඊඩඥ ජ්පභඵබපචබඪධදඵ ධට ඛ්ඩඪතඤපඥද - දරුවන්ගේ අපේක්ෂා භංගත්වය යනුවෙන් ‘ඔබ්සර්වර්’ පුවත්පතට විචාරයක් ලියමින් මෙසේ සඳහන් කොට තිබිණි.

“යොවුන් තුසිත ආනන්ද මහා විද්‍යාලයයේ උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන්නකු වන අතර ඔහු සමාජය පිළිබඳ මේරූ සර්වඥානක බවක් ‘පාර වසා ඇත’ නාට්‍යය හරහා දක්වා ඇත්තේ විමතිය දනවන ආකාරයෙනි. නාට්‍යකරුවාගේ වයස ද සමඟ සලකා බලන විට මෙම නාට්‍යයේ වඩාත් යහ ගුණය වන්නේ 1971 වසරේදී රට පුරා පැතිර ගිය සිත් කලකිරවන සුලු පුද්ගල චර්යා, සිතුම් පැතුම් සම්බන්ධ පූර්ණ පාලනය සියතට ගත් දේශපාලන ව්‍යුහයකට නාට්‍යය පුරාවටම දිගින් දිගටම විරෝධය පෑමයි.

එහෙත් මෙහි 1971 හමුදා දුර්භාග්‍යය හඟවන බූට් සපත්තු හමුදා විධානයන් හෝ වෙඩි හඬ නැත. සමකාලීන වේදිකා නාට්‍යයන් හි බහුල සටන් පාඨ ද නැත. තමන්ගේ වැඩිහිටියන් තමන් වෙනුවෙන් නිර්මාණය කර ඇති ජීවිතය, සමාජය හා සමාජ පිළිවෙළ පාසල් ශිෂ්‍යයකුගේ දෘෂ්ටි කෝණයෙන් නාට්‍යය පුරාවට විචාරයට ලක් වෙයි.”

‘පාර වසා ඇත’ නාට්‍යයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී සිටියේ පාසල් සිසුන්ය. තුසිත මෙන්ම ආනන්දීයයන් වූ අනුර බණ්ඩාර රාජගුරු, කුමාර සිරිවර්ධන, සමන්ප්‍රිය නානායක්කාර,අනුර කරුණාරත්න, අරුණ සන්දරගේ, ජනක ධර්මවර්ධන හා තර්ස්ටන් විද්‍යාලයයේ නිහාල් බණ්ඩාර මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළහ. සංගීතය නිර්මාණය වූයේ ආනන්දයේම ශිෂ්‍යයකු වූ රංජිත් රද්දල්ගොඩ අතිනි. රංගනය සඳහා ප්‍රසිද්ධ වේදිකාවෙන් රත්නා සුමනපාල, රෝහිනී වික්‍රමාරච්චි, නෙළුම් කළුබෝවිල හා අපෙන් වියෝ වූ නිහාල් සිල්වා යන අය එක්ව සිටියහ. එදා එහි අංග රචනා ශිල්පියා වූයේ අද ප්‍රකට පුවත්පත් කලාවේදියකු හා රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදකවරයකු වූ දයාරත්න රටගෙදරය.

පසුගිය දාවක ‘පාර වසා ඇත’ හතළිස් වසර සමරන්නට එදා පාසල් සිසුන් වූ අය මෙන්ම ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් ද එක් වූ සන්ධ්‍යාව ඉතා රසවත් එකක් වූයේය. නිහාල් සිල්වා හා නිහාල් බණ්ඩාර යන ශිල්පීන් දෙදෙනා එහි නොවූයේ ඔවුන් ජීවිත රඟ මඬලෙන් ද සමුගෙන සිටි හෙයිනි.

ආධුනික තරුණ තරුණියන් පිරිසක් කරළියේ කරන පෙරළියක් ලෙස ‘පාර වසා ඇත’ හැඳින්වීමට පුළුවන. නැඟී එන පිරිසකගේ හොඳ නිර්මාණයක් මෙන්ම සාර්ථක රඟපෑම් ද ‘පාර වසා ඇත’ හි දකින්නට ලැබිණි. “තුªසිත සිල්වා අනාගතයේදී ප්‍රතිභාපූර්ණ නාට්‍යකරුවකු වීම ගැන නම් සැකයක් නැත” දවස පුවත්පතට එදා එසේ ලියා තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හා ලේඛකයකු වූ අභාවප්‍රාප්ත ලාල් ප්‍රේම්නාත් ද මැල් මහතාය.

වසර හතළිහකට පසු තුසිත සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. ආදි ආනන්දීයයන් කිිහිප දෙනකු පමණක් තවම වේදිකා නාට්‍ය මාධ්‍ය හා රූපවාහිනී ක්ෂේත්‍රයන්හි නියැළෙති. තවත් අය වෙනත් ක්ෂේත්‍ර වෙත පිවිස සිටිති.

කෙසේ වෙතත් අර්ථපතියකුගේ දායකත්වයක් නොමැතිව පෙර පුහුණුවීම් සඳහා පැමිණෙන අයට තේ සපයන්නට රුපියල් දහයක් සොයා ගැනීම ද බරපතළ ගැටලුවක්ව තිබියදී ආනන්දයේ කොලු රෑනක් එක්ව ඒ දඩබ්බරකම කළේ ‘පාර වසා ඇත’ පාසල් සිසුන් පිරිසක මෙරට ප්‍රසිද්ධ වේදිකාවට එක් කරන පළමු නාට්‍යය ලෙස ඉතිහාසයට එක් වන බව නොදැන වග වසර හතළිහ සැමරූ සන්ධ්‍යාවේදී හෙළි වූ ප්‍රධානම කාරණය විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.